තෙඹු කොළ මැල්ලුම් ආහාරයට ගැනීමෙන් සුව කරගත හැකි රෝග 14 ක්

health tips

දියවැඩියාව සඳහාම වෙන් වූ පලා වර්ගයක් වේ නම් ඒ තෙඹු කොළය. එනම් ඈත අතීතයේ සිටම තෙඹු කොළ සම්බෝලයක් ,මැල්ලුමක් ලෙස ආහාරයට ගෙන තිබේ. Costus Speciosus උද්භිද කුලයට අයත් තෙඹු තිත්ත කසාය රසයෙන් යුතු ශීත වීර්යයෙන් හා අම්ල විපාකයන් ද විරේචන ගුණයෙන්ද යුතුවන  ඖෂධයක් බව ආයුර්වේදය තුළ සඳහන්වේ.

දියවැඩියා රෝගය සඳහා මෙම ශාකය වැඩිවශයෙන් භාවිතා කළ ද වෙනත් රෝග සුව කිරීම සඳහා ද තෙඹු ඖෂධයක් ලෙස යොදා ගත හැකිය.  එනම් තෙඹුවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.

  • ප්‍රෝටීන්,තන්තු,පොටෑසියම්,කාබෝහයිඩ්‍රේට්,
  • ලිපිඩ,සෝඩියම්,යකඩ,මැග්නීසියම්,කැල්සියම්
  • ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගුවේ. 
  • තෙඹු කොළ සලාදය සකස් කරන ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය

  • තෙඹු කොළ දෙමිටක්
  • පොල් ස්වල්පයක් 
  • අමුමිරිස් කරල් 2
  • රතුලූනු ගෙඩි 2
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක් 

සෝදා පිරිසිදු කර ගත් තෙඹු කොළ  සිහින්ව ලියලා ගන්න. ඉන් පසු අමුමිරිස් ,ලූණු සිහින්ව ලියලා ගෙන ඊට, සිහින්ව ලියාගත් තෙඹු කොළ,පොල්,  ගම්මිරිස් කුඩු ,ලුනු  යන සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කර කෑමට ගැනීමට මොහොතකට පෙර දෙහි යුෂ ස්වල්පයක් එක් කර ගන්න. මෙම තෙඹු කොළ සම්බෝලය බොහෝ රෝග සුව කිරීම සඳහා ආහාරයට ගැනීම සුදුසු වේ. 

තෙඹු කොළ ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ. 

ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීම පාලනය කරයි.ගැස්ට්‍රයිටීස් රෝගය වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින රෝගයක් බවට පත්ව තිබේ. එනම් එම රෝගය පාලනය කර ගැනීම සඳහා තෙඹු කොළ ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් තෙඹු පලා මැල්ලුමක් ලෙස හෝ සම්බෝලයක් ලෙස සකස්කර  ආහාරයට ගැනීමෙන් උදරගත ආම්ලික තාවය පාලනය කරගත හැකිය. 

හෘද රෝග ඇතිවීම පාලනය කරයි.හෘද රෝගය ඇතිවීම වළක්වා ගැනීමට තෙඹු කොළ ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් තෙඹු ආහාරයට එක් කර ගැනීමෙන් හෘද රෝග ඇතිවීමට හේතුවන දියවැඩියාව පාලනය කිරීම සිදුකරනු ලැබේ. එමෙන්ම තෙඹු කොළ වල අඩංගු පොටෑසියම් අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වා ක්‍රමවත්ව රුධිරය හෘදයට සැපයීම සිදුකරනු ලැබේ. එනම් ඉන් හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය. 

ශරීරගත දාහය සමනය කරයි දේශගුණික විපර්යාස නිසා හෝ ගනු ලබන ආහාර නිසා හෝ ශරීරගත දාහය ඇති වනු ලැබේ. එනම් එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා තෙඹු මුල් වල යුෂ පානය කිරීම සුදුසුවේ. එනම් ඉන් ශරීරය සිසිල් කර ගැනීමට හැකියාව ලැබේ. 

දියවැඩියාව පාලනය කරයි. දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම සඳහා තෙඹු කොළ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් තෙඹු කොළ සම්බෝලය හෝ පලා මැල්ලුම ආහාරයට එක්කර ගැනීමෙන් එහි  අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සිදුකරයි. මේ නිසා දියවැඩියා රෝගීන්ට සුදුසු පලා වර්ග අතර ප්‍රධාන තැනක් තෙඹුවලට හිමිවේ. නමුත් දියවැඩියා රෝග සඳහා ඖෂධ භාවිතා කරන විට තෙඹු කොළ ආහාරයට ගැනීම සුදුසු නොවේ. එමෙන්ම දිනපතා තෙඹු කොළ ආහාරයට ගැනීම ද සුදුසු නොවේ. එනම් ඉන් රුධිරගත සීනී මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය. වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය උපදෙස් මත තෙඹු කොළ ආහාරයට එක් කර ගැනීමය.

ශරීරයේ විෂ ඉවත් කර ගත හැකිය.ශරීරගත විෂ ඉවත් කර ගැනීම සඳහා තෙඹු කොළ ඖෂධයක් ලෙස ආහාරයට ගත හැකිය. එනම් තෙඹුවල අඩංගු තන්තු හා ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරගත විෂ ඉවත් කිරීම සිදු කරනු ලබයි. එනම් තෙඹු සම්බෝලය හා තෙඹු කලවම් පලා මැල්ලුම මේ සඳහා වඩාත් ගුණදායකවේ.

රක්තහීනතාවය සමනය කරයි.රක්තහීනතාවය හෙවත් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් ඇතිවන මෙම රෝග තත්ත්වය සමනය කර ගැනීමට යකඩ අඩංගු තෙඹු ආහාරයට ගැනීම ගුණදායකය. එනම් ඉන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වර්ධනය වී රක්තහිනතාවය සමනය වීම සිදුවේ. 

මළබද්ධය සමනය කර ගත හැකිය.බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා තෙඹු පලා මැල්ලුම ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් තෙඹු වල අඩංගු තන්තු මලබද්ධය ඇතිවීම වලක්වනු ලබයි. මීට අමතරව 

  • පණු රෝග සමනය කිරීම සඳහා 
  • ලාදුරු රෝගය සඳහා 
  • සෙම් රෝග සඳහා 
  • ශරීර විඩාව නිවා ගැනීම සඳහා 
  • ඇදුම රෝගය සඳහා 
  • චර්ම රෝග සඳහා 

මේ ආදී රෝග ගණනාවකට තෙඹු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. නමුත් තෙඹු ආහාරයට ගැනීම ස්ත්‍රි , පුරුෂ දෙපක්ෂයේම මදසරුභාවයට හේතුවන බව සඳහන් වේ. එනම් තෙඹු කොළ සතියකට එක් වතාවක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය.