සාමාන්‍යයෙන් දින කිහිපයකට වතාවක් වත් කන් පිරිසිදු කිරීම සිදුකරනවා. කනේ එකතු වන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ කන් කලාදුරු යන නමිනි. මේවා අපද්‍රව්‍ය ලෙස සිතුවත් ඇත්තෙන්ම කලාදුරු කියන්නේ කනේ කන් බෙරය ඇතුලු සංවේදී කොටස් වල ආරක්ෂාව වෙනුවෙන් බාහිර කනේ ග්‍රන්ථි වලින් ශ්‍රාවය කෙරෙන ද්‍රව්‍යයකි. කනේ අභ්‍යන්තරයේ ඇති එවැනි ග්‍රන්ථීන් දෙකකින් නිකුත් වන ශ්‍රාවයන් එකට එක්වී මෙවැනි කලාදුරු සෑදීම සිදුවේ. මේවා කනේ ආරක්ෂාව සඳහා ඇති ආරක්ෂක ආවරණයක් බඳුය. මෙය ස්වභාවික ක්‍රියාවලියක්.
කෙසේවෙතත්,කන් අග්ගිසට පැමිණි කලාදුරු ඉවත් කිරීම කවුරුත් කරන දෙයක්. නමුත්, මේවා ඉවත් කිරීමට යාමේදී ඇතැම් අය භාවිතා කරන ඇතැම් අනාරක්ෂිත ක්‍රම නිසා මේවා කන ඇතුලටම තල්ලු වීම නිසා ආසාදන වැනි ගැටලු මතු විය හැකියි වගේම කන තුවාල වීම පවා නොසිතූ ලෙස සිදුවිය හැකියි.
කොණ්ඩ කටු,ට්වීසර්,පෑන්,බට කැබලි හෝ වෙනත් සිහින් උල් උපකරණ භාවිතයෙන් කන් පිරිසිදු කිරීමට ඇතැම් අය පෙළඹිලා ඉන්නවා. මේවා ඉතා අවදානම් ක්‍රම බවයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.කොටන් බඩ් (cotton swabs) කියන්නේත් තවත් ඒවගේම අනාරක්ෂිත ක්‍රමයක්.මේවායින් පිරිසිදුවීමකට එහාගිය හානි ඇතිවීමේ අවදානම වැඩි බව ඔවුන් පෙන්වාදෙනවා.මේවා භාවිතය නිසා ඔබේ කන් වලට මේවගේ හානි ඇතිවෙන්නට පුළුවන්!
කන ඇතුළත තුවාල විය හැකියි

කොටන් බඩ් කනට ඇතුල් කර පිරිසිදු කිරීමේදී මැද කන (middle ear) කොටසට තැලුම් තුවාල ඇතිවිය හැකියි.විශේෂයෙන්ම කන්බෙරය කොටස ඉරී හෝ පළුදු වී යා හැකියි.කනට සිදුවන අනතුරු වලට බහුලතම හේතුවක් වන්නේ කොටන් බඩ් වලින් කන් පිරිසිදු කිරීමට යාමෙන් ඇතිවන තුවාල අනතුරු බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.කුඩා ළමුන් තුළ මෙවැනි අනතුරු බහුලව ඇතිවී තිබෙන බව එහි දැක්වෙයි.
ඒවායින් කන් කලාඳුරු කන තුළ ගැඹුරට තල්ලු කරවයි

කන තුළ කලාඳුරු එකතු වීමෙන් කැසිල්ල ගතියක් ඇතිවන විට යමකින් ඒවා ඉවත් කිරීමට සිතෙනවා.ඊට කොටන් බඩ් එකක් භාවිත කිරීමේදී සිදුවන්නේ එම කන් ඉටි තවදුරටත් කන ඇතුළට තල්ලු වී යාමයි.එවිට ඒවා කන ගැඹුරේම රැඳෙයි.ස්වභාවික ලෙස බුරුල් වී කන් අග්ගිස්සට පැමිණ ඉවත්වී යාමක් සිදුනොවෙයි.මින් පීඩාකාරී තත්වයන් ද ඇතිවෙන්නට ඉඩ තිබෙයි. එවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු වෙත යොමු වී නිසි ක්‍රමවේදයකට අනුව කන් පිරිසිදු කරගැනීම කළ යුතුයි.
කන් ඉටි වැදගත් ඇයි?

බැක්ටීරියා රඳවාගැනීම සහ බැහැර කිරීමට අමතරව කෘමින්, කුණු දුහුවිලි වැනි දේවල් කන් තුළට ඇතුල්වීම වැළැක්වීමට ද කන් ඉටි ක්‍රියාකරනවා.කන් වියළී යාම වළකන ස්වභාවික ලිහිසිකාරකයක් ලෙසත් ක්‍රියාකරයි.සිරුරේ ක්‍රියාශීලීබවත් එක්ක මේවා සෙමින් සෙමින් බුරුල් වී කන් අග්ගිස්සට (බාහිර කනට) පැමිණ ඉවත්වී යාම සිදුවෙයි.ස්නානය කරන විට කන් පිරිසිදු කරගැනීම පහසුයි.
කන් කලාඳුරු නිසා කන් තුළ වේදනාව දැනෙයි නම් කළ යුත්තේ කුමක් ද?

කන් වේදනාව එතරම් ප්‍රබල නොවේ නම්, වේදනානාශකයක් ගැනීම හෝ එමඟින් වේදනාවට සහනයක් ලැබේදැයි බලන්න.කෙසේවෙතත් කන් වේදනාව දිගින් දිගටම පවතියි නම් , ඒත් සමඟ කන් ඇසීමේ යම් දුර්වලතාවක් හෝ කන් තුළ යම් ශබ්දයක් නැගෙයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.බොහෝ විට එය කනට සිදු වී ඇති වඩාත් බරපතල අනතුරක් හෝ යම් බරපතල රෝගයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි.
ආරක්ෂාකාරීව කන් පිරිසිදු කරගන්නේ කොහොමද?

නිවසේදී කන් පිරිසිදු කරගැනීමට වඩාත් ආරක්ෂාකාරීම ක්‍රම දෙකක් තිබෙයි:
‘ඉයර් ඩ්‍රොප්ස්’ (ear drops) භාවිතය බේබි ඔයිල්, මිනරල් ඔයිල් හෝ ග්ලිසරින් වලින් බිංදු කිහිපයක් ප්‍රවේසමින් කනට වත්කරගන්න.ඉන් කන් කලාඳුරු බුරුල් වීම සිදුවෙයි.දින දෙකකට පසු, උණුසුම් වතුර පුරවාගත් සිරින්ජරයකින් කනට වතුර ස්වල්පයක් වත්කරගන්න. මිනිත්තුවකින් පමණ හිස අනෙක් පැත්ත හරවා කනේ වතුර ඉවත් වී යාමට සලස්වන්න.පිරිසිදු තුවායකින් බාහිර කන තෙත මාත්තු කරන්න.
පිරිසිදු ටිෂු කඩදාසියක් භාවිත කරන්න ස්නානය කරන විට කන් කලාඳුරු ඉබේම දියවී ඉවත් වී යයි.කන් අග රැඳෙන කොටස් පහසුවෙන් පිරිසිදු කරගැනීමට වියළි ටිෂු කඩදාසියක් භාවිත කරන්න. වතුර ස්වල්පයක් දමා පොඟවාත් ටිෂු කඩදාසියෙන් බාහිර කන පිසදමා පිරිසිදු කරගන්න.
වැළකී සිටිය යුතු ක්‍රම මොනවාද?
ඉයර් කැන්ඩ්ල්ස් (ear candling)- කන් කලාඳුරු ඉවත් කරන ඉටි පන්දම් භාවිතය ඇතැම් අය අතරේ ප්‍රචලිතයි.කෙසේවෙතත් වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ මෙය සාර්ථක ක්‍රමයක් නොවන බවයි.මෙය බොහෝ අවදානම් මෙන්ම පිලිස්සුම් පවා ඇතිකළ හැකි ක්‍රමයක්.
වෙනත් උල් උපකරණ භාවිතය- පෑන් ක්ලිප්,යතුරු,කොණ්ඩ කටු, හැට්ට කටු වගේ උල් උපකරණ වලින් කන් පිරිසිදු කිරීම ද සුදුසු ක්‍රමයක් නොවේ. මේවා කන් තුළ සිරවීමෙන් හෝ සීරීම් තුවාල ඇතිවීමෙන් බරපතල හානි ඇතිවිය හැකියි. විශේෂයෙන් කන් බෙරය සිදුරුවීයාමේ අවදානම ඉතා වැඩියි. මෙවැනි ක්‍රම වලින් වළකින්න!