සුව නොවන යටිපතුල් පැලීම පවා ඉක්මණින් සුව කර හැකි නා මල් සත්කාරය

health tips

මීටර් 30 ක් පමණ උසට වැඩෙන නා ශාකය ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයයි. එනම් රතු පැහැති අරටුවකින් යුක්ත වන නා ශාකයේ පිට පොත්ත ගැලවී යන අතර ශාක පත්‍ර කඩා හැලෙන සුළුවේ. ලා පත්‍ර  රතු පැහැති වන අතර මල් සුදු පැහැයෙන් යුතු සුවඳවත් මල් වේ. ඵලය සුදු පැහැති ඵලයක් වන අතර එහි බීජ එකක් හෝ දෙකක් පමණ පිහිටා ඇත.  බීජ මගින් හටගන්නා පැළ වලින් ශාක ව්‍යාප්තිය සිදු කර ගත හැකිය.නා ශාකය ඖෂධීය වශයෙන් ප්‍රයෝජන රැසක් ලබා දෙන ශාක විශේෂයකි. 

අතීසාරය සුව කිරීම සඳහා නා මල් පිපීමට මත්තෙන් එන පොහොට්ටු කෂායක් ලෙස සකස් කර  පානය කිරීමෙන් අතීසාරය සමනය කර ගත හැකිය.

යටි පතුල් දැවිල්ල සඳහා නාමල් ගෙන හොඳින් වියළා එළඟි තෙලෙන් අඹරා යටි පතුල්වල ආලේප කිරීමෙන් අධික රස්නය නිසා හෝ  ශරීරයේ උෂ්ණාධික ගතිය වැඩි වූ විටක  ඇතිවන යටිපතුල් දැවිල්ල සමනය කර ගත හැකිය.

ශරීරයෙන් රුධිරය පිටවන රෝග සඳහා නාසයෙන් රුධිරය ගැලීම, ආර්තවයේදී පිටවන රුධිරය, අර්ශස් රෝගයේ දී රුධිරය පිටවීම, ගර්භාෂගත රුධිර වහනය, මුත්‍රා සමඟ රුධිරය පිටවීම යන රෝග සමනය කිරීමට නා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.  එනම් මේ සඳහා නාමල් වල රේණු ගෙන ඒවා වියලා පත අට එකට සිදුවා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම යෝග්‍ය වේ.

සම පැහැපත් කිරීම සඳහා නාමල් රේණු කුඩු සහ පිණ්ඩ තෛලය මිශ්‍රකර දිනපතා සිරුරේ ආලේප කිරීමෙන් සමෙහි පවතින ලප කැලැල් ඉවත් කර සිරුර පැහැපත් කර ගත හැකිය.

දහඩිය දුගද  සඳහා නාමල් රේණු කුඩු සහ සැවැන්දරා කුඩු හොඳින් මිශ්‍රකර ඇල්දියෙන් අඹරා සිරුරේ ආලේප කර තබා පැය දෙකකින් පසුව සෝදා හැරීම මඟින් ශරීර උෂ්ණත්වය හා අධික දහඩිය දැමීම නිසාවෙන් ඇතිවන දුගඳ  ඉවත් කර ගත හැකිය.

එමෙන්ම ශරීරය සිසිල් කර ගත හැකිය.දරු ප්‍රසූතියෙන් පසු  ගර්භාෂය පිරිසිදු කිරීම සඳහා නාමල් කෂාය පානය කිරීම හෝ  ආහාර අතිරේකයක් ලෙස නාමල් රේණු භාවිතා කිරීම සිදු කළ හැකිය.  මේ සඳහා මද පවනේ වියළාගත් නාමල් රේණු කොටසක් ගෙන එය හොඳින් කුඩුකර ඊට තේජ පත්‍ර කුඩු සහ උළුහාල් කවලම් කර හුලං නොවදින ආකාරයට ඇසුරුම් කර තබා  මිශ්‍රණයෙන් කොටසකට කිරි මිශ්‍රකර උදෑසන ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

සෙම් රෝග සඳහා නාකොළ ගෙන කල්කයක් වන සේ අඹරා නලලෙහි තවරා තැබීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව මෙන්ම සෙම් රෝග නිසා උගුරේ ඇතිවන ආසාදන සුවපත් කර ගත හැකිය. ඊට අමතරව නාමල් රේණු සහ එනසාල් හොඳින් මිශ්‍රකර සූකිරි සමග ආහාරයට ගැනීම ද මේ සඳහා යෝග්‍ය වේ.මීට අමතරව

  • වමනයට
  • පෙනහලු රෝගයන්ට
  • රෝග සුව වීමෙන් පසු සිරුර ශක්තිමත් කිරීමට
  • අධික පිපාසයට
  • කාන්තා රෝගයන්ට 

යන රෝග සමනයට නා ශාකයේ පත්‍ර, මල් , රේණු ,එමඟින් සිදිනා තෙල් ආදිය භාවිතා කළ හැකිය.