කරදරකාරී ඉකිලි කැසීමේ රෝග සදහටම සුව කර ගැනීමට කර යුතු දේවල් 14 ක්

health tips

ඉකිලි කැසීමේ රෝගය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ අයට වැළදෙන පීඩාකාරී රෝගී  තත්ත්වයකි. නමුත් වැඩි වශයෙන් මෙම තත්ත්වය වැඩිහිටි හා තරුණ වයසේ පිරිමින් අතර දැකිය හැකිය. කායිකව මෙන් ම මානසිකව ද පීඩා ගෙනදෙන, පිරිසක් ඉදිරියේ ද අපහසුතා ඇති කරවන රෝගී තත්ත්වයක් ලෙස මෙය හදුනාගත හැකිය. එමෙන් ම මෙය බොහෝ අය ලැජ්ජාව නිසා සඟවා ගෙන සිටින රෝගී තත්ත්වයකි. තරඟකාරී සමාජ ක්‍රමයක ජීවත්වෙන බැවින් සනීපාරක්ෂාව සඳහා වූ කටයුතු නිසි ලෙස ක්‍රමවත්ව සිදු කරගැනීමට වේලාවක් නොමැතිකම මෙවැනි රෝග තත්ත්වයන් ඇති වීමට මූලිකව බලපායි. එබැවින් මෙවැනි රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමට ඇවතුම් පැවතුම් නිසි පරිදි පවත්වාගත යුතුය. 

ඉකිලි කැසීමට මූලිකම හේතුව වෙන්නේ “දිලීර” කාණ්ඩයට අයත් විෂබීජ වර්ධනයයි. ලෙඩ රෝග ඇති කරන විෂබීජ වර්ග, වෛරස, බැක්ටීරියා, දිලීර, ප්‍රොටසෝවා, හෙමටෝඩා පණුවන් ආදී ලෙස වර්ග කිහිපයක් දැකිය හැකිය. ඉකිලි කැසීම Tinea Cruris යන රෝගී තත්ත්වයේදී ඉකිලිය ප්‍රදේශයේ කලවා ප්‍රදේශය උඩට වන්නට හා ලිංගික අවයව දෙපස ප්‍රදේශයේ තදබල කැසීමක් ඇතිවෙයි. මේ තත්ත්වයට හේතුවෙන් Dermatophyte දිලීර කාණ්ඩයට අයත් පුස් වර්ගය වර්ධනය වීමයි. මේ පුස් වර්ග වර්ධනයට අවශ්‍යය වන්නේ තෙතමනය, අඳුර සහ යම් පෘෂ්ඨයකි. එහිදී ඉකිලිය ප්‍රදේශය පුස් වර්ධනයට අවශ්‍ය සාධක සපයයි. ඉකිලි කැසීම සඳහා හේතුවන දිලීර විශේෂය වන්නේ  ringworm ය. 

ඉකිලි කැසීම ඇති රෝගියෙකුගේ සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ලෙස ඉකිලිය ප්‍රදේශයේ, කලවා ප්‍රදේශයේ උඩට වන්නට හා ලිංගික අවයව දෙපස ප්‍රදේශයේ තදබල කැසීමක් විශේෂයෙන් දහඩිය දමන විට ඇතිවන කැසීමක් හෝ රවුම් ආකාරයෙන් කුඩා ප්‍රදේශයක පැතිරී ගිය Rash එකක් හෙවත් තද පැහැති සමේ රෝග තත්ත්වයක් සහිත රෝග ලක්ෂණ සමුහය “ඉකිලිය කසනවා” හෝ ඉකිලියේ Rash එකක් ලෙස හඳුන්වනු ලබයි. මෙම  තත්වය දැඩි පීඩාකාරී වන අතර පුස් ආකාරයට හඳුනාගනු ලබන දිලීර ආසාදනය වේගවත් ය.

ඉකිලි කැසීමෙ යන රෝගී තත්ත්වය ඇතිවීම සඳහා බොහෝ හේතු බලපානු ලබයි. ප්‍රධාන වශයෙන් සනීපාරක්ෂක පහසුකම් නිසි පරිදි නොමැති වීම සහ පිරිසිදු බවක් නොමැති කම යන හේතූන් බලපානු ලැබුවද ඊට අමතරව පහත සඳහන් හේතුන් ද බලපායි. 

01) පොදු සනීපාරක්ෂක පහසුකම් භාවිත කිරීම. 

02) තදට යට ඇදුම් ඇදීම නිසා ඉකිලි ප්‍රදේශය කැපීම. 

03) දහදිය උරා නොගන්නා යට ඇදුම් භාවිතය 

ඉකිලි කැසීම රෝග ලක්ෂණ ලෙස, 

  • ඉකිලි ප්‍රදේශය දැඩි ලෙස කැසීමට ලක්වීම සහ පසුව එම කැසීම කලවා ලිංගික අවයව වලට මෙන්ම ගුදය දක්වා ව්‍යාප්ත වීම. 
  • එම ප්‍රදේශය ආශ්‍රිතව සම මතුපිට රතු පැහැ ගැන්වී කුඩා බිබිලි මතු වීම. 
  • කසන ප්‍රදේශයේ මතුපිට සම ඉරි තැලී ගිය ආකාරයක් දැකගත හැකිවීම සහ කසන විට කුඩු කුඩු ආකාරයේ කොටස් දැකගත හැකිවීම. 
  • ඉකිලි ප්‍රදේශයේ Candida නම් දිලීරය ප්‍රති ආසාදනය වීම. 
  • කාලයක් ගත වීමත් සමග එම කසන ලද ඉකිලි ප්‍රදේශය අවපැහැ ගැන්වී කලු වීම. 
  • සම පුපුරා ගිය ආකාරයක් දකින්නට ලැබීම.   
  • ක්‍රමයෙන් ඉකිලිය කළු පැහැයක් ගැනීම.
  • ඉකිලි ප්‍රදේශයට වැඩිපුර දහදිය දැමීම. වැනි ආසාදන 

තත්ත්වයන් හදුනාගත හැකිය. මෙම ඉකිලි ආශ්‍රිතව ඇතිවන කැසීම් තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය උපදෙස් ලබා නොගෙන මිලදී ගත හැකි වානිජ මට්ටමේ විෂබීජ නාශක වර්ග සමේ තැවරීම නුසුදුසු ය. භයානකම කාරණය වෙන්නේ ඒ ආලේපන තුළ ඇති අසාත්මික හෝ රසායනික බලපෑම් මගින් තවදුරටත් කැසීම් වැඩි කිරීමයි. එනිසා කැසීම් තත්ත්වයකදී මුලින්ම එයට හේතුව සොයා බැලිය යුතුය. එමෙන් ම මෙවැනි කැසීම් සඳහා වැඩි වශයෙන් දිලීර හේතුවන නිසා  ඇතැම් ඒවා තාවකාලික දිලීර ආසාදන ද විය හැකිය. 

දිගුකල් ඉකිලි ආශ්‍රිත කැසීම් තත්ත්වය පවතින විට වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. ඇතැම් විට සරල දිලීර නාශක ආලේපනයකින් සිදු කළ හැකි ප්‍රතිකාර විවිධ විෂබීජ නාශක වෛද්‍ය උපදෙස් නොමැතිව ආලේප කිරීමෙන් සංකීර්ණ තත්ත්වයක් දක්වා වර්ධනය විය  හැකිය. එමෙන් ම කැසීම් තත්වයත් තවදුරටත් වැඩිවිය හැකිය.

මෙම රෝග තත්වය කෙටිකාලීනව සුව නොවන තත්ත්වයක් නිසා වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන ඖෂධ  සතියක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් වුව ද භාවිතයට සිදුවිය හැකියි. 

කුෂ්ඨය දිගින් දිගටම පැතිර ගියහොත් එය ඉකිලි ප්‍රදේශය, කලවා සහ තට්ටම් ප්‍රදේශයට ආසාදනය විය හැක. 

ඖෂධ ගැනීමෙන් පමණක්ම මේ රෝගී තත්ත්වය සුවකරගත නොහැකි නිසා තමන්ගේ ශරීරයේ පිරිසිදු බව තම යට ඇදුම් කොට්ට මෙට්ට ආදියේ පවා පිරිසිදුභාවය ඉතා වැදගත්ය. ඉකිලි ඉතා හොඳින්ම පිරිසිදු කර පිරිසිදු වියළි තුවායකින් පිසදැමීමත් එය සිරුරේ අනෙක් ප්‍රදේශ පිසදැමීමට භාවිතා නොකිරීමත් ඉතා වැදගත් වේ. 

නොපමාව ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස 

•ඉකිලිය අවට සම අළු පැහැවීම.

•කැසීමේදී ඇතිවන බිබිලි පුපුරායාමෙන් ඒ මත විෂබීජ වර්ධනය වීම.

•ඉකිලිය ප්‍රදේශයේ කුද්දැටි විශාල වීම 

•ගුදය දක්වා සහ කලවා ප්‍රදේශය දක්වා දිලීරය වර්ධනය වීම.  

•ආසාදනය ශරීරයේ වෙනත් ස්ථාන කරා පහසුවෙන් පැතිර යාමෙන් සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා ද වර්ධනය වීම.ආදී තත්ත්වයන් ඇති විය හැකිය. 

ඉකිළි කැසීමේ රෝගය ඇති වූ විට එම රෝගය පාලනය කර වළක්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි. 

•ස්නානය කිරීමෙන් අනතුරුව, සේදීමෙන් අනතුරුව සහ දහඩිය දැමීමෙන් පසුව පිරිසිදු වියලි රෙදි කැබැල්ලකින් හෝ තුවායකින් එම ප්‍රදේශය වියළි බව ඇති කිරීම. 

•ඉකිලි ප්‍රදේශය පවුඩර් දමා නිරන්තරයෙන් වියලි බව ආරක්ෂා කර ගැනීම. 

•හොඳින් දහඩිය උරා ගන්නා සිරුරට හිර බවින් අඩු කපු වැනි රෙදි වලින් නිමවන ලද යට ඇඳුම් භාවිතා කිරීම. 

•යට ඇඳුම් සේදීමේදී ජීවානුහරනය කිරීම. 

•එකම යට ඇදුම වැඩි වේලාවක් නොඇඳ සිටීම හා දහඩිය දැමූ විට ඒවා මාරු කිරීම. 

•දිනපතා යට ඇඳුම් සේදීම, ස්නානය කිරීම හා ලිංගාශ්‍රිත ප්‍රදේශය නිරන්තර පිරිසුදුව තබා ගැනීම. 

•අධික තරබාරු බව හා දියවැඩියාව වැනි තත්ත්වයන් පාලනය කර ගැනීම. 

•යට ඇඳුම් ඇතුළු සනිපාරක්ෂක ද්‍රව්‍ය පොදුවේ පරිහරණය නොකිරීම. 

•කොමඩ් වැනි වැසිකිලි භාවිත කිරීමේදී ඒවා මතුපිට හොඳින් පිරිසිදු කර ගැනීම හෝ toilet papers කොමඩ් එක මතුපිට අතුරා භාවිත කිරීම. 

•තද යට ඇදුම් භාවිතා නොකිරීම. 

•දිනපතා ඇදුම් සේදීම. 

•දිනපතා ස්නානය කිරීම. 

•ඉකිලිය අවට කැසීම ඇති කරන යට ඇදුම් භාවිත නොකිරීම. 

•තෙත ඇදුම් ඇදීමෙන් වැළකීම. 

මෙම රෝගය ඇතිවූ විට ඇතිවන අධික ලැජ්ජාශීලී බව හේතු කොටගෙන වෛද්‍යවරයකු මුණගැසී ඖෂධ ලබා ගැනීම සඳහා බොහෝ දෙනකු මැලිකමක් දක්වයි. 

පුද්ගලයාගේ සනීපාරක්ෂක පහසුකම්වලට ළඟාවීමට ඇති අපහසුතා සහ පිරිසිදු කමක් නොමැති බව යන හේතු ප්‍රධාන වශයෙන්ම මෙම රෝගය ඇතිවීමට බලපායි.  

මෙම රෝගයට ප්‍රධාන හේතුව දිලීර සම්භවයක් ආසාදනයක් බැවින් සමහර අවස්ථාවල දී රෝග කාරක සමීප සම්බන්ධතා, ලිංගික සංසර්ගය, තුවා හෝ ඇඳ ඇතිරිලි බෙදා හදා ගැනීම සහ පිහිනුම් තටාක භාවිතය ආදිය රෝගී පුද්ගලයාගෙන්  වෙනත් අයෙකුට රෝගය සම්ප්‍රේෂණය කරයි. එමෙන් ම දිලීර ආසාදනයට ප්‍රතිශක්තිය අඩු නිසා ද සෙම කිපීම වැනි තත්ත්වයන් ද හේතු විය හැකිය. 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සාර්ථක ප්‍රතිකාර තුළින් මේ තත්ත්වය ඉක්මනින් සුව කළ හැකිය . ඒ සදහා ආසාදිත චර්මයේ බාහිරින් යෙදීමට ලේපන වර්ග, ඖෂධීය තෙල් වර්ග යනාදියත් ස්වාභාවික ආයුර්වේද ඖෂධ වර්ග අභ්‍යන්තර ශරීරයට අවශ්‍යතාව අනුවත් යෙදීමත් සිදුකරයි. එසේම රෝගයේ පැතිරීම අනුව ඖෂධීය ජලයෙන් නෑමට, ඉකිලි ප්‍රදේශය සේදීමට හෝ ඖෂධීය ජලයේ වාඩිවී සිටීමට ( අවගාහ ස්වේද ) රෝගියාට උපදෙස් ලබා දෙයි.