තෙත හිසකෙස් පිටින් නිදා ගැනීමෙන් ඇතිවන බලපෑම් 6 ක්

health tips

උදෑසනින් පටන් ගන්නා දවසේ වැඩකටයුතු බොහොමයක් අවසන් වෙද්දි අපිට අපේ සනීපාරක්ෂක කටයුතු ටික ගන්නටවත් වේලාවක් ඉතිරි වෙන්නේ නැහැ. රැකියාව, නිවසේ වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු සමඟ කාර්යබහුල වෙන අපි හැමෝම වගේ රාත්‍රියේ දී තමයි ස්නානය කරන්නේ. ඉතින් හිසකෙස් හොඳින් වේලා ගන්නේ නැතිව නිදා ගන්නට මේ නිසාම බොහෝදෙනෙක්ට සිදු වෙනවා. රාත්‍රියට පමණක් නෙවෙයි ඇතැම් විට දහවල් කාලයේදීත් බොහෝදෙනෙක් මේ වැරැද්ද සිදු කරනවා. මේ කටයුත්ත කාන්තා පිරිමි දෙපාර්ශවයම සිදු කළත් මෙයින් වැඩි අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ කාන්තාවන්ට. ඉතින් ඔබත් මේ වැරැද්ද කරන අයෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න.මොකද එයින් ඇතිවන බලපෑම ඉතාමත් භයානක වෙන්නටත් පුළුවන් නිසාවෙන්.

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ කොණ්ඩය දිග නිසා වගේම ගොඩක් තියෙන නිසා කාන්තාවකගේ හිසකෙස් වියලීමට සැලකිය යුතු වේලාවක් ගත වෙනවා. ඒ නිසා ඔබ නිදා ගන්නා කොට්ටය හා ඇඳ ඇතිරිලි තෙත්වීම නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල වගේම ඔබ බෙහෙවින් ආදරය කරන ඔබේ  කොණ්ඩය ගැලවී කැඩී යාමටත් ඔබට  මුහුණ දෙන්නට සිදු වෙනවා. නැවත තෙත හිසකෙස් පිටින් නින්දට යාමට වඩා හිසකෙස් වියළාගෙන නින්දට යන එක කොතරම් වටිනවාද කියලා අද ඔබ මේ ලිපිය කියවීමෙන් පසුව වැටහේවි.

  • හිසකෙස් අග පැලීම හිසකෙස් අග පැලීම බොහෝ කාන්තාවන්ට තමන්ගේ කොණ්ඩය සම්බන්ධයෙන් පවතින ගැටළුවක්.මේ සඳහා විවිධ සත්කාර කාන්තාවන් භාවිතා කරනවා. හිසකෙස් අග පැලීමට හේතු ගණනාවක් බලපාන අතරේ එයින් එක් හේතුවක් විදියට තෙත හිසකෙස් සමඟ නින්දට යාම සඳහන් කරන්නට පුළුවන්. තෙත හිසකෙස් පැලීම හෙවත් බිඳීමේ අවදානම වැඩි කරනවා. හිසකෙස්වලට හැකියාව පවතිනවා එහි බරෙන් 45% ක් වනතුරුම ජලය අවශෝෂණය කර ගන්නට. ඒ වගේම නින්දේදී කෙස් සහ කොට්ටයේ කොණ්ඩය ඇතිල්ලීම නිසා කොණ්ඩය පැලීමට ලක් වෙන්නටත් පුළුවන්.
  • හිසකෙස් කැඩීයාම වියළි හිසකෙස්වලට වඩා තෙත හිසකෙස් පැටලීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසා ගැට ගැසීමටකට ලක්වෙලා ඒවා ඉතා පහසුවෙන් කැඩීයනවා. ඒ විතරක් නෙවෙයි මේ නිසා හිසකෙස් දිරායාමත් සිද්ධ වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා මේ අවුල්වීම නැතිකර ගන්නට දැති ලොකු පනාවක් භාවිතයෙන් හිස කෙස් සෙමින් පීරීම හෝ ඇඟිලිවලින් පිරිමැදීමත් සුදුසුයි. එමගින් හිසකෙස් කැඩීයාමේ ප්‍රවණතාවය අඩු කර ගන්නට හැකියාව පවතිනවා.
  • හිසකෙස් දුර්වර්ණ වීම කෙස් කළඹක දීප්තිය සහ අලංකාරය සඳහා එහි තද වර්ණය හේතුවෙනවා. නමුත් තෙත හිසකෙස්  සමඟ නින්දට යාමේදී හිසකෙස්වල තෙතමනය සාපේක්ෂව වැඩි නිසා  හිස් කබලෙ  ඇති තෙල් ස්වභාවයත්  හිසකෙස්වලට ලබා ගැනීම වැඩි වෙනවා.මේ කාරණය නිසා හිසකෙස් පතුල විජලනයට ලක්වෙලා හිසකෙස් අඳුරු පැහැයක් ගන්නවා.
  • හිස්සොරි ඇතිවීම කාන්තා පිරිමි දෙපාර්ශවයම පීඩාවට පත්වෙන හැමදාමත් එකසේ කතාබහට ලක්වෙන ගැටළුවක් තමයි හිස්සොරි කියන්නේ. මේ සඳහා විවිධ  ෂැම්පු වර්ග අපි භාවිතා කළත් ඒ හිස්සොරි ඇති වෙන්නට බලපාන අපේ වැරදි පුරුදු ගැන නම් බොහෝදෙනෙක් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඉතින් තෙත හිසකෙස් පිටින් නින්දට යාමෙන් හිස්සොරි ඇතිවෙන්නට තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. තෙත සහිත පරිසරයක් සහිත හිස් කබල මත ඉතාම වේගයෙන් ඊෂ්මාවන් සහ දිලීර  වර්ධනය වෙනවා. මේ දිලීර උණුසුම්, තෙතමනය සහිත අඳුරු ස්ථානවල වැඩීමට වැඩි ප්‍රියතාවයක් දක්වන නිසාවෙන් අපේ හිස් කබලේ හිස්සොරි ඇතිවීම සිදු වෙනවා.
  • හිසරදය විවිධ හේතු නිසා හිසරදය ඇතිවුණත් ඒ හේතු අතරින් තෙත හිසකෙස් සමඟ නින්දට යාමක් හේතුවක් වෙනවා. මේ හිසරදයට ප්‍රධාන හේතුව වෙන්නේ හිසකෙස් මත සම කොට්ටයේ බැක්ටීරීයා වර්ධනය වීම.
  • බැක්ටීරියා ආසාදන මේ බැක්ටීරියා වර්ධනය සඳහා කොට්ටය මත ඉතා හොඳ පරිසරයක් නිර්මාණය වෙන්නේ අපේ තෙත හිසකෙස් හේතු කරගෙන. දහදිය, සමෙන් නිකුත්වන තෙල් සහ මැරුණු සෛල කොට්ට උරය මත තැවරුණු නිසා කොට්ටය මත බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය ඉතා ඉක්මනින් සිදුවෙනවා. තෙත් වූ  හිසකෙස් නිසා තෙත්වන කොට්ටය මත බැක්ටීරියා සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනවා.මේ නිසා හිසකෙස් කැඩීයාමට වගේම සමට විවිධ ආසාදන තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

මේ අහිතකර තත්ත්වයන් ගෙන් වැළකෙන්නට නින්දට යාමට පෙර හොඳින් හිසකෙස් වියළා ගැනීමත්, නිදා  ගැනීමට යොදා  ගන්නා කොට්ට උරය කපු රෙද්දෙන් සකස් කර ගැනීමත් ඉතා වැදගත්.