40 පනින්නත් කලින් වකුගඩු දෙක නරක් කර හැකි වැරදි පුරුදු 9 ක්

health tips

වර්තමානයේ දී වඩාත් බරපතළ සෞඛ්‍ය ගැටලු අතරින් එකක් විදියට වකුගඩු රෝග සඳහන් කරන්නට පුළුවන්. අධික ලෙස ග්ලයිෆොසේට් වල් නාශකය භාවිතා කිරීම නිසා වැඩි වශයෙන් උතුරු මැද පළාත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වකුගඩු රෝගීන් වැඩි වෙන්නට මූලික හේතුවක්. නමුත් වකුගඩුවල රෝග තත්ත්වයන් ඇතිවෙන්නට බලපාන එකම හේතුව මෙය නම් නෙවෙයි ඒ සඳහා විවිධ වූ හේතු බලපානවා. 

සාමාන්‍යයෙන් අපි බාහිරින් ශරීරයට ලබා ගන්නා දේවල් හේතු කරගෙන වගේම ශරීර අභ්‍යන්තරයෙන්   නිෂ්පාදනය වෙන අපද්‍රව්‍ය සියල්ලක්ම ශරීරයෙන් නිසි පරිදි බැහැර කරන්නට වකුගඩු විශාල මෙහෙවරක් ඉටුකරනවා. කුමක් හෝ ගැළුලුවක් නිසා වකුගඩුවල මේ කාර්යක්ෂමතාවයට බාධාවක් ඇති වුනොත් දවස් දෙකක් වගේ ඉතා කෙටි කාලයක් තුළදී රුධිරය දූෂණයට ලක් වෙලා අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකර විදිහට බලපෑම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා වකුගඩු කියන්නේ නිරෝගීව  තබාගත යුතුම ඉන්ද්‍රියක්.  ඉතින් ඔයාටත් වකුගඩු ආරක්ෂා කරගෙන නිරෝගීව ජීවත් වෙන්නට ඕන නම් මෙන්න මේ වැරදි ඔයාගෙන් සිදුවෙන එක ඔයා වළක්වා ගන්න ඕන.

නිතරම  වේදනා නාශක භාවිතා කිරීම අතිශය පීඩාකාරී රෝග තත්ත්වයකදී වේදනානාශක වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබනවා. නමුත් එවැනි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව සුළු හිසේ කැක්කුමකදී ඇඟපත වේදනාවක දී පවා වැඩි දෙනෙක් භාවිතා කරන පැරසිටමෝල් වගේ වේදනා නාශක ඕනෑ තරම් තියෙනවා. වෛද්‍ය නිර්දේශයක් නැතුව ගන්නා වේදනා නාශක වකුගඩුවලට හානි කරන්නට හේතුවක් වෙනවා.

අපේ ශරීරයේ තියෙන ස්නායු සංවේදක දුර්වල කිරීම මගින් වේදනාව දැනෙන එක අඩු කරන එක තමයි මෙයින් සිද්ධ වෙන්නේ. නමුත් මෙයින් මුළු සිරුරේම ස්නායු අඩපණ වීමක් සිද්ධ වෙනවා. වේදනාවට යම් සහනයක් ඔබට ලැබුණත් මේ ආකාරයට ස්නායු අඩපණ වීම වීම මගින් වකුගඩු මොළය සමඟ පණිවිඩ හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වෙනවා. නිසි ලෙස පණිවිඩ වකුගඩුවලට ලැබෙන්නේ නැති නිසා වකුගඩු නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ඒ නිසා නුසුදුසු ආකාරයට වකුගඩු විසින් පෙරීමේ ක්‍රියාවලිය සිදු කරන්නට යාම නිසා වකුගඩු සෛලවලට හානි සිද්ධ වෙනවා. එහිදී සෛල නැවත ප්‍රතිජනනය වන නිසා ගැටලුවක් නොවුණත් මේ තත්ත්වය නිතර නිතර සිදු වෙනවා නම් වකුගඩුවලට ස්ථිර වශයෙන්ම හානියක්. සිද්ධ වෙනවා. 

විශේෂයෙන්ම NSAID යන නමින් හඳුන්වන ඖෂධ පරිභෝජනය අඩුකළ යුතුමයි. සිරුරට අහිතකර මේ ඖෂධ ප්‍රමාණයට වඩා අධි මාත්‍රාවෙන් ලබා ගැනීමත් කුඩා ප්‍රමාණයක් දීර්ඝකාලයක් ගැනීමත් වකුගඩුවලට හානිදායකයි. ඉතාම ආරක්ෂාකාරී ලෙස හඳුන්වන Tylenol නම්  පැරසිටමෝල් විශේෂයෙන් පවා  වකුගඩුවලට හානි සිදු වෙන්නට පුළුවන්.

අධික ලුණු පරිභෝජනය-අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන සෝඩියම් ලවණ ලබාදෙන ප්‍රධානතම සංඝටකය  ලුණු . නමුත්  අපි නිතර ගන්නා ආහාරපානවලින් දෛනිකව අවශ්‍ය‍ වන සෝඩියම් ලවණ ප්‍රමාණය ලැබෙනවා. ඒ නිසා  ආහාරවලට වැඩිපුර ලුණු එකතු කර ගැනීමත් ලුණු අධිකව යොදා සකස් කරන ලද මස් වර්ග බයිට්ස් වර්ග ආදියත් සීමා කළ යුතු වෙනවා. 

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන ලුණු ප්‍රමාණය 1500 mg  – 2000 mg තරම් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය අපි ගනු ලබන ආහාරවලින් ප්‍රමාණවත්ව සැපයෙන නිසා ලුණු අධිකව පරිභෝජනය ඔබ අත්හල යුතුම වෙනවා.අධිකව ලුණු පරිභෝජනය කිරීමෙන් වකුගඩු වලට විතරක් නෙවෙයි හදවත් රෝග ඇති කරන්නටත් තරබාරුව ඇති කරන්නටත් බලපානවා .ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි.

පිපාසයට පමණක් ජලය පානය අපේ ශරීරයට ජලය කොතරම් වැදගත් ද කියන කාරණාව ගැන ඔබ දැනුවත් වෙලා ඇති. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම දෛනිකව අපේ ශරීරයට අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත්ව ලබා ගන්නට ඕන. නමුත් ඔබ ජලය පානය කරන්නේ ආහාරයක් ගැනීමෙන් පසුව සහ පිපාසයක් ඇති වුණු අවස්ථාවකදී පමණක් නම් වයස්ගත වෙද්දී අනිවාර්යෙන්ම වකුගඩු ගැටලු ඇති වෙන්නට එය මූලික හේතුවක් වෙනවා.

 වකුගඩුවලින් ඉවත් කෙරෙන අපද්‍රව්‍ය මුත්‍රා මගින් පිට කරන්නට නම් අපේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නට ඕන. ජලය ප්‍රමාණවත් ලෙස ලැබෙන්නේ නැත්නම් මේ විෂ ජලයේ දිය නොබී අවක්ෂේප විදිහට වකුගඩුවල තැන්පත් වෙලා වකුගඩු ආශ්‍රිතව ගල් ඇති වෙනවා. ඒ නිසා වකුගඩුවලට සිය රාජකාරිය කරන්නට අවශ්‍ය ඉන්ධනය වෙන්නේ ජලය. ඒ සඳහා ප්‍රමාණාත් තරම් ජලය නොලැබීම ඒ කටයුත්තට විශාල බාධාවක්. ඒ නිසා දිනකට අවශ්‍ය තරම් ජලය පානය කිරීමට පුරුද්දක් ඇතිකර ගත යුතු වෙනවා. 

මුත්‍රා  පිට කිරීම කල්දැමීම යම් ශාරීරික අවශ්‍යතාවයක් සඳහා සංඥා ලබාදුන් විට එයට එවිගසම ප්‍රතිචර දැක්වීම අත්‍යවශ්‍ය  වෙනවා. අපට මුත්‍රා  පිට කිරීමේ  අවශ්‍යතාවය ඇති වූ විට එය කල්දමන්නේ නම් එය වකුගඩුවලට ඉතාමත් අහිතකර ලෙස බලපානු ලබනවා.විශේෂයෙන්ම එහි ඇති බැක්ටීරියා ක්‍රියාකාරී වීම මගින් නොසිතන දරුණු තත්වයන් ඇති වන්නට හැකි අතර මුත්‍රාශයේ මුත්‍රා  බොහෝ වේලාවක් රඳවා තබා ගැනීම නිසා වකුගඩුවලටත් අනවශ්‍ය පීඩනයක් එල්ල කරනු ලබනවා. ඒ නිසාවෙන් නිතරම ශාරීරික අවශ්‍යයතා කල්දැමීම හානිදායක පුරුද්දක් බව මතකයේ තබා ගන්න. 

අධි ප්‍රෝටීන ආහාර නිතර පරිභෝජනය අද වැඩි දෙනෙක් ශාරීරික කාය වර්ධනය සඳහා මාංශපේෂි ඉතා ඉක්මනින් වර්ධනය කරන පිටි වර්ග ඇතුළු ආහාරමය අතිරේක ලබා ගන්නට පුරුදු වෙලා ඉන්නවා. මේවා පරිභෝජනයට ගැනීමෙන් ශරීරයට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ යනවා. මේ ප්‍රෝටීන් වියෝජනය වෙලා හැදෙන ඇමෝනියා ප්‍රමාණයත් ඉහළ යනවා. ශරීරයේ ඇමෝනියා ප්‍රමාණය වඩා වැඩිපුර එක්රැස් වීමෙන් ලේ පෙරීමේදී වකුගඩුවලට හානි සිදුවීමේ අවදානමක් නිර්මාණය වෙනවා. 

විටමින්  b6 අඩංගු ආහාර ප්‍රමාණවත් තරම් නොගැනීම විටමින් b6 කියලා කියන්නේ වකුගඩුවල නිරෝගී බවට සහ යහපත් ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපාන විටමින් වර්ගයක්. පහසුවෙන් ජලයේ දියවෙන මේ විටමිනය පෙරා ඉවත් කරන විෂ ‍ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වෙලා ඒවා මුත්‍රාවල දියවෙන්නට උදව් කරනවා. දිගුකාලීනව විටමින් ශරීරයට අවශ්‍ය තරම් ලැබෙන්නේ නැති වුනොත්  අපද්‍රව්‍ය මුත්‍රාවල දිය නොවී ඒවා වකුගඩුවල තැන්පත් වෙන්නට බලනවා.

 කාලයත් සමඟ මේවා වකුගඩුවල ගල් බවට පත් වෙනවා. ඉතා සුළු ප්‍රමාණයක් අවශ්‍ය වුණත් අනිවාර්යෙන්ම මේ විටමිනය අවශ්‍ය ප්‍රමාණයට  ලබාගත යුතුයි. ඒ සඳහා පරිප්පු, මස්, මාළු, කැරට්, බෝංචි, අර්තාපල් වගේ ආහාර එකතු කර ගැනීමට වග බලා ගන්න. 

කෝපි ඇතුළු ශක්තිජනක පානයන් නිතර ගැනීම  බහුතරයක් දෙනා අද ගත කරන කාර්යබහුල බවත් එක්ක ශරීරයට දැනෙන විඩාව තෙහෙට්ටුව මඟහරවා ගන්නට කෝපි කෝප්පයක් හෝ වෙනත් ශක්තිජනක පානයන් ගන්නට පුරුදු වෙලා ඉන්නවා. මේවා පානය කරපු සැනින් අපේ ශරීරයට හොඳ ප්‍රබෝධමත් බවක් ලැබෙනවා මොළය උත්තේජනය වීම හේතු කරගෙන. ඒ විදියට මොළය උත්තේජනය වී පවතින අවස්ථාවකදී ස්නායු සංඥා , හදගැස්ම සහ රුධිර පීඩනය පවා ඉහළ යන්නට පටන් ගන්නවා. 

මේ නිසා වකුගඩු වඩාත් හොඳින් පෙරා හැරීම සිදු කරන වේගයට වඩා රුධිරය පොම්ප වීම වැඩිවීම නිසා වකුගඩුවලට වැඩි වෙහෙසක් දරන්නට සිද්ධ වෙනවා.  ඒ වගේම මේ පාන වර්ගවල මුත්‍රා වර්ධක ගුණය නිසා වකුගඩු ක්‍රියා  කිරීම තවත් වේගවත් වෙනවා. ඒ නිසා මේ වගේ පානයන් සීමා සහිතව ගත යුතුයි. 

වරින්වර ඇහැරෙමින්  ලබා ගන්නා නින්ද  සුවදායි නින්දක් ශරීරයේ සෑම අංගයකටම  හිතකර විදිහට බලපානවා. නමුත් දෛනිකව අවශ්‍ය පමණට නින්දක් ලබාගන්නේ නැත්නම් එය අක්මාවට වගේම වකුගඩුවලටත්  අහිතකර ලෙස බලපානවා. විශේෂයෙන්ම ඔබ ලබාගන්නා නින්ද අඛණ්ඩව ලබා ගන්නේ නැතිව වරින්වර වර ඇහැරෙනවා නම් එය වකුගඩුවල හානි වූ සෛල නැවත අලුත්වැඩියා කරන්නට බාධාවක් වෙනවා. අපි නින්දේ සිටියදී වකුගඩු සාමාන්‍ය විවේකයකින් කටයුතු කරන නමුත් අපි නැවත හැරෙද්දි වකුගඩු පෙර පරිදිම කටයුතු කරන්නට පෙළඹෙනවා. ඉතින් නිතරම හොඳ නින්දක් ලබාගන්නට ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැත්තම් හානි වූ සෛල අලුත්වැඩියාවට අවස්ථාවක් නොලැබෙන නිසා  වකුගඩු දුර්වල වෙන්නට පටන් ගන්නවා.

ඉඟ සිහින් කර පෙන්වන ඇඳුම් නිතර ඇඳීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් හැඩැති සිරුරක් පවත්වා ගෙන යන එක අමාරු නැහැ. නමුත් අද ඒ වෙනුවට විකල්ප විදිහට ඉදිරියට නෙරා ආ උදරය බාහිරට අලංකාරයට පෙනෙන්නට උපකාරී වෙන විවිධාකාරයේ  බඳ පටි සහ හිර ඇඳුම් ආදිය වෙළඳපොළට පැමිණ තියෙනවා. ඉතින් මේවා නිතර නිතර අඳින එක නම් ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ.  මෙවැනි තාවකාලික විසඳුම් නිසා වකුගඩුවල පෙරීමේ ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. ඒ නිසා ‍අවශ්‍යම අවස්ථාවක දී හැර මෙවැනි හිර ඇඳුම් ඇදීමෙන් වළකින්න. 

රසායනික අධිකව අඩංගු ආහාර ගැනීම ආහාර නිෂ්පාදනයේදී ඒවාට යොදන වර්ධක හෝමෝන කෘමිනාශක සහ වල් නාශක ආදිය හේතු කරගෙන ආහාර මඟින් එකතු වන විෂ ප්‍රමාණය අධික නිසා එය වකුගඩුවලට පෙරා ඉවත් කරන්න තරම් හැකියාවක් නොමැති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම  ග්ලයිෆොසෙට් වැනි වල්නාශක අඩංගු ආසනික් ඇතුළු බැර ලෝහ වර්ග ඉතා සුළු ප්‍රමාණයක් පවා පෙරන්නට වකුගඩුවලට දැඩි වෙහෙසක් දරන්නට සිද්ධ වෙනවා. කාලයක් තිස්සේ මේ විදිහට සිද්ධ වුණොත් වකුගඩු අක්‍රිය වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් කාබනික ආහාර වලට මාරු වෙන එක තමයි වඩාත් සුදුසු. 

ඒත් හැරුනහම දුම්පානය සහ මත්පැන් පානයත් වකුගඩුවල සෞඛ්‍යයටත් ඉතාම හානිදායකයි. වකුගඩු දුර්වල වුණාට  පස්සේ සතියකට දෙවතාවක් මැෂින් එකක් ආධාරයෙන් රුධිරය පිරිසුදු කිරීම කර ගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ජීවත් වෙන්නට යන වියදමත් අධික වෙනවා. මේ වකුගඩු ගැටලු හේතු කරගෙන ශරීරයේ තවත් ඉන්ද්‍රියන් ලෙඩ වෙන්නත් පුළුවන්. ඒ නිසා වකුගඩු රැකෙන විදියට ඔබේ ජීවන පුරුදු සහ ආහාර පුරුදු සකස් කර ගන්න.