සිනහව අපේ මුහුණට එකතු කරන්නේ හරි අපූර්වත්වයක්. නමුත් මේ සිනහව තවත් සුන්දර වෙනවා අපේ මුහුණේ සමේ ඇති පැහැදිලි බව අනුව. ඔබේ මුහුණෙත් නොයෙක් කුරුලෑ ආදිය නිසාවෙන් හටගත් අඳුරු ලප කැලැල් ඇත්නම් එය ඔබේ සිනහවට ඔබේ මුහුණේ සුන්දරත්වයට විශාල බාධාවක් එල්ල කරනවා. මේ නිසාම කාන්තා පිරිමි දෙපාර්ශවයම මානසික සිත් තැවුලට පත්වෙලා සිටිනවා. මේ ගැටළුවෙන් මිදෙන්නට නොයෙක් ආකාරයේ වෙළදපොලේ ඇති කෘතීම නිෂ්පාදන භාවිතයටත් පෙළෙබෙනවා. නමුත් ඇතැම් විට ඒ නිෂ්පාදන භාවිතය නිසාම මේ ලප කැලැල් තවත් වැඩි වෙන්නටත් ඉඩකඩ තියෙනවා.
අපි හැමෝම අනෙක් අයට ප්‍රියමනාප විදියට ලස්සනට ඉන්නට කැමතියි නේ. කෙනෙක්ගේ මුහුණ කියන්නේ වැඩි වශයෙන් බාහිරින් අවධානය යොමු වෙන අංගයක් නේ. ඔන්න ඒ නිසාම ඔබත් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ලප කැලැල්වලින් තොර සුපැහැදිලි සමක් බව අපි දන්නවා. ඒ නිසාමයි ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔබට නිවසේදීම සකසා ගෙන භාවිතයට ගන්නට හැකි මේ අපූරු අත් බෙහෙත් හඳුන්වා දෙන්නේ. පාරම්පරිකව අපිට දායාද වෙලා තියෙන වෙදහෙදකම් සෑම කාලයකදී අපිට භාවිතා කරන්නට හැකියාව තියෙනවා. ඉතින් අපි අද කතා කරමු මුහුණේ ලප කැලැල් දුරු කරන මේ අත් බෙහෙත් මොනවද කියන කාරණාව පිළිබඳව.
අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හදුන් කුඩු අභ්‍යයන්තර රෝග සඳහා වගේම බාහිරව විවිධ ආලේපන සඳහා බහුලවම භාවිතා වෙන විශේෂ ඖෂධයක් තමයි මේ සුදු හදුන්. විශේෂයෙන්ම සමේ පැහැය වැඩි කරගන්නට, ලප කැලැල් දුරු කර ගන්නට වගේම වෙනත් සමේ රෝග සඳහාත් බහුලවම භාවිතා වෙනවා.
වෙනිවැල් ගැට කුඩු විෂබීජනාශකයක් ලෙසට වැදගත්කමක් උසුලන මේ ඖෂධය උණ රෝගය සඳහා සහ සමේ රෝග සඳහා ප්‍රතිකාරවලදීත් භාවිතයට ගන්නවා. ඒ හැරුණාම දියවැඩියාව, රුධිරය ආශ්‍රිත රෝගාබාධ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග බොහොමයකටත් මේ වෙනිවැල්ගැට බොහෝසෙයින් ප්‍රයෝජනවත් වෙනවා.
කොකුම් පොතු කොකුම් පොතු කුඩු සමේ වියළි බවට සමේ කැලැල් ඉවත් කර ගන්නට කදිම ඔසුවක් ලෙසට වැදගත්කමක් උසුලනවා.
රත් කීරිය කුඩු කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා වූ රෝග බොහොමයකටම අවශ්‍ය වන ඖෂධයක්. රුධිරය පිසිදු කරන මේ ඖෂධය සමේ රෝග සඳහා වගේම සම පැහැපත් කරන්නටත් බාහිරව භාවිතයට ගන්නා වටිනා ඔසුවක්.
කහ කුඩු විෂබීජ නාශක ගුණයෙන් යුත් කහ මුළුතැන්ගෙට නැතුවම බැරි කුළු බඩුවක්. ඒ හැරුණාම පිළිකාවලින් ආරක්ෂා වෙන්නට ඉතාම සුදුසු ඔසුවක්. ඒ හැරුණාම වෙනත් රෝග බොහොමයකින් වැළකී සිටින්නටත් සමේ ගැටළු බොහොමයකට පිළියම් ලෙසත් මේ කහ අපිට ප්‍රයෝජනවත් වෙනවා.
කෝමාරිකා කෝමාරිකා සතු ගුණ කියා නිම කරන්නට බැහැ. දේහයේ අභ්‍යන්තරිකව ඇති රෝග බොහොමයක් සඳහාත් බාහිර රූපය අලංකාර කරගන්නත් විශාල මෙහෙයක් කෝමාරිකා සිදු කරනවා.
සාදා ගන්නා ආකාරය සුදු හදුන්, වෙනිවැල් ගැට , රත් කීරිය, කහ කුඩු යන වර්ග හතර සමාන ප්‍රමාණවලින් ගත යුතුයි. කොකුම් පොතු කුඩු ගත යුත්තේ ඒ ප්‍රමාණයෙන් ¼ ක ප්‍රමාණයක්. මේ ද්‍රව්‍ය සියල්ලම වංගෙඩියකට දමා එයට සූරා ගත් කෝමාරිකා මදය ද එකතු කර ආලේපනයක් වන ලෙස කොටා ගන්න.
මේ ආලේපනය ඕනෑම සමකට ඉතාම සුදුසු ආලේපනයක්. මෙය සකසා ගෙන දින 3 ක පමණ කාලයක් ශීතකරණයේ තබාගෙන භාවිතයට ගන්නට පුළුවන්. මෙය මුහුණේ පමණක් නෙවෙයි සමේ ඕනෑම ස්ථානයක ආලේප කරන්නට හැකියාව තියෙනවා. මෙය මුහුණේ ආලේප කරන විට එය සියුම්ව සම්බාහනය කර වියළුණු පසුව සෝදා ඉවත් කිරීම කළ යුතුයි.

2. අවශ්‍ය ද්‍රව්‍ය
- වෙනිවැල් ගැට
- සුවඳ කොට්ටන්
- කලාදුරු අල
- කොත්තමල්ලි
මේ සියල්ල එක සමාන ප්‍රමාණවලින් ගෙන සෝදා වේලා කුඩුකර ගන්න. පසුව වාතයට නිරාවරණය නොවන සේ තබාගෙන රාත්‍රී නින්දට යාමට පෙර පිපිඤ්ඤා යුශවලින් මුහුණ සෝදා සකසාගත් මිශ්‍රණය මුහණේ ආලේප කරන්න. පසුදා උදෑසන සෝදා හරින්න.
3. අවශ්‍ය ද්‍රව්‍ය
- සියඹලා කොළ
- අමු කහ
- කොහොඹ කොළ
සියඹලා කොළ සහ කොහොඹ කොළ සමාන ප්‍රමාණවලින් ගෙන එයට අමුකහ ස්වල්පයක් දමා කොටා වණ්ඩුවේ තම්බා ගන්න. පසුව එයින් උදේ සවස කැලැල් ඇති ස්ථාන තවන්න. මෙය දින කිහිපයක් සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
අපේ මුහුණේ සුන්දරත්වයට බාධා ගෙන දෙන අඳුරු ලප ඉවත් කර ගන්නට ඔබට ඉත පහසුවෙන් මේ ආලේපනයන් නිවසේදීම සාදාගෙන භාවිතයට ගන්නට පුළුවන්. මේ සඳහා කිසිදු කෘතීම ද්‍රව්‍යයන් භාවිතා නොවෙන නිසා එයින් සම හොඳින් පිරිසිදු වී සමට හොඳ පෝශණයක් ද ලබා දෙනවා.