හැමදාම දවල්ට නිදාගන්න පුද්ගලයන්ට නොබෝ කාලයකින් හැදෙන දරුණුම ලෙඩේ මෙන්න

health tips

දහවල් ආහාර වේලට පස්සේ, නැතිනම් ඇඟට ටිකක් මහන්සි දැනුණු වෙලාවට දිවා කාලයේ ටික වෙලාවක් නිදාගැනීම ඇතැම් අය කරන දෙයක්. day time napping හෙවත් දහවල් නින්ද (කුකුළු නින්ද) සිරුරට හොඳ සැහැල්ලුවක් ගෙන දෙන,සිරුර ප්‍රාණවත් කරවන දෙයක් කියලා ඇතැම් අය විශ්වාස කරනවා.ඇතැම් අයට දහවල් නිදාගැනීමෙන් හිසරදය, අප්‍රාණිකබව හා රාත්‍රී නින්ද ඉතා බාධාකාරී එකක්වීම වැනි ගැටලු ඇතිවෙන බව පවසනවා.කෙසේවෙතත් අද අපි කතාකරන්නේ දහවල් නින්ද අපේ සෞඛ්‍යයට ඇතිකළ හැකි එක්තරා අවදානමක් ගැනයි.

දහවල් කාලයේ කොතරම් වේලාවක් නිදාගන්නේ ද යන්න අපේ සෞඛ්‍යයට බලපෑම් ඇතිකළ හැකි සාධකයක් බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.මිනිත්තු 5-30අතර කාලයක් නිදාගැනීම සිරුරට ප්‍රකෘතිමත් වීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් විවේකයක් ලබාදෙන බව පර්යේෂකයින් පෙන්වාදෙනවා. එම කාලයේදී ගැඹුරු නින්දකට පත්වීමේ ඉඩකඩ ඉතා අඩුයි. මිනිත්තු 30කට වඩා අධික කාලයක් නිදාගැනීම පැය කිහිපයක් ගත වන තුරුම සිරුරට අප්‍රාණිකබවක් අලසබවක් නිදිමතගතියක් දැනීමට හේතුවෙයි. එය නින්දේ ගැඹුරු අවධියකට පත්වීමට තරම් කාලයක් නිසා අතර මැදින් අවදි වීමෙන් සිරුරට මෙවැනි අපහසුතා ඇතිවිය හැකියි.මෙවැනි අපහසුතා ඇතිනොවන මිනිත්තු 5-10ක කෙටි නින්ද power naps හෙවත් සිරුර පණගන්වන කෙටි නින්දක් ලෙස හඳුන්වයි. එම නින්ද සිරුරට ප්‍රයෝජනවත්. ඇතැම් අයට රාත්‍රී කාලයේ එතරම් කාලයක් නිදාගැනීමට නොලැබෙන නිසා දවල් නිදාගැනීමට පුරුදු වී සිටිනවා.මෙය සෞඛ්‍යයට අයහපත් බලපෑම් ඇතිකළ හැකි ප්‍රධාන හේතුවක් බව විශේෂඥයින් පෙන්වාදෙනවා.සිරුර අළුත්වැඩියාවීමට  හා සිරුරේ නිරෝගී පැවැත්මට රාත්‍රී කාලයේ පැය 7-8ක නින්ද ඉතා වැදගත් වෙයි. දහවල් නින්ද රාත්‍රියේදි ඔබට නොලැබෙන නින්දට හිලව් කළ හැකි දෙයක් නොවෙයි.

දහවල් නින්ද අපේ සිරුරට බලපාන ආකාරය පිළිබඳ විවිධ අධ්‍යයන සිදුකර තිබෙයි. මෙහිදී නිතර නිතර දවල් කාලයේ නිදාගැනීම පුරුද්දකට යාම පුද්ගලයා තුළ ආඝාතය (අංශබාගය) ඇතිවීමේ අවදානම ඉහළ යාමට තුඬු දිය හැකි බව පර්යේෂකයින් විසින් පෙන්වාදෙනවා.දහවල් කාලයේ ඔබ අනුගමනය කරන නිදන පුරුදු ඔබේ හෘද සෞඛ්‍යයට බලපෑම් ඇතිකළ හැකියි.දහවල් කාලයේ නිතර නිදාගැනීමට පුරුදුව සිටින පුද්ගලයින් තුළ අධි ආතතිය(hypertension)  හා ආඝාතය (stroke) වැනි ගැටලු ඇතිවීමේ අවදානම ඉහළ බව පෙන්වාදෙයි. 

2006 සහ 2019 වසර දක්වා කාලයේදී සහභාගී වූ 5000කට අධික පිරිසකගේ දහවල් කාලයේ නිදන පුරුදු නිරික්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නිගමන වලට පර්යේෂකයින් පැමිණ තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට කිසිදාක දහවල් නිදානොගන්නා අයට සාපේක්ෂව නිතිපතා දහවල් නිදාගැනීමට පුරුදුව සිටින්නන්ගේ අධි ආතති අවදානම 12%කින් ද ආඝාත අවදානම 24%කින් ද පමණ වැඩි බව නිරීක්ෂණය කළ හැකි වූ බවයි. සහභාගි වූවන්ගෙන් වයස අවුරුදු 60ට අඩු අය අතර අධි රුධිර පීඩන අවදානම 20%කින් පමණ වැඩි බවක් ද නිරික්ෂණය වි තිබිණි. අධි ආතතිය අවදානමක් ඇති දියවැඩියා,අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල්,නින්ද ආශ්‍රිත රෝග වළින් පෙළෙන හා රාත්‍රී වැඩමුර වල යෙදෙන පුද්ගලයින් හැර අනෙකුත් පුද්ගලයින් ඇසුරෙන් මෙම දත්ත ලබාගෙන තිබිණි.කෙසේවෙතත් පෙර ප්‍රතිඵල වල කිසිඳු වෙනසක් දක්නට නොලැබුණු බව ඔවුන් පෙන්වාදෙනවා.

රාත්‍රී කාලයේ නින්ද නොයන අය, අනිද්‍රාව හෙවත් ඉන්සොම්නියා තත්වයෙන් පෙළෙන අය,දහවල් නින්දෙන් පසු අලසබවක් නිදිමතක් දැනෙන අය දහවල් නිදාගැනීමෙන් වළකින්න උත්සහ කරන්න.තරුණ වයසේ හා මැදිවියේ පසුවන අය අධික වෙලාවක් දහවල් කාලයේ නිදාගැනීම නුසුදුසුයි. කෙසේවෙතත් මහළු වයසේ පිරිස් සඳහා දිවා නින්ද ඉතා වැදගත් විය හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.නිදිමතගතිය දුරුවීමට හා ප්‍රජානන හැකියාවන් දුර්වල නොවීමට  සහ චිත්තාවේග නියාමනයට දහවල් කාලයේ මද වෙලාවක් නිදාගැනීම ප්‍රතිලාභ දෙන බව සඳහන්. කෙසේවෙතත් මහළු වයසේ පුද්ගලයින් පැයකට වඩා නිදාගැනීම දියවැඩියාව,හෘද රෝග හා විශාදයීය ලක්ෂණ වර්ධනය වීමේ ඉහළ අවදානමක් ඇතිවීම කෙරෙහි සම්බන්ධතා පෙන්නුම් කරන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙයි. දිගු දිවා නින්ද ඔවුන්ගේ රාත්‍රී නින්දේ ගුණාත්මක බවට බලපෑම් කළ හැකියි. අඩ නින්ද හෝ රෑ මැද විටින් විට නින්දෙන් අවදිවීමට මෙය හේතුවිය හැකියි. ඇතැම් විට කිසිලෙසකින් හෝ නින්ද නොයාමට පවා හේතුවිය හැකියි.

දහවල් නිදාගැනීම ඇතැම් පුද්ගලයින් තුළ දියවැඩියාව වැනි රෝග අවදානම් ඉහළ යාමට හේතුවිය හැකියි. ඊට අමතරව නිද්‍රා ඇප්නියාව (sleep apnoea) හෙවත් රාත්‍රි නින්දේදි හුස්ම ගැනීමට බාධා වීමෙන් විටෙන් විට නින්දෙන් අවදිවන රෝගයේ පූර්ව ලක්ෂණයක් ලෙසත් දිවා කෙටි නින්ද හඳුන්වයි.මේ තත්වයේදී රාත්‍රියේ අඩ නින්ද නිසා දහවල් කාලයේ සිරුරට අධික තෙහෙට්‍ටුවක් දැනී නිතර නිදිමතින් පෙළීම සිදුවෙයි.මෙම තත්වයට ප්‍රතිකාර ලැබීම අත්‍යවශ්‍යයි.

දිවා කාලයේ නිදාගැනීමේදි සිරුර ක්‍රියාශීලීව පවතින කාලය අඩුවෙයි. සිරුරට ව්‍යායාම නොලැබෙයි.මේ නිසා ඔබේ සිරුරේ සෞඛ්‍ය අවදානම් ඉහළ යයි.මෙවැනි සෞඛ්‍ය අවදානම් වළක්වාගැනීමට දිවා කාලයේ නිදාගැනීම හැකිතාක් සීමා කරන්න.