දවසට විනාඩි 5ක් ගැඹුරින් හුස්ම ගැනීමෙන් හදවත් රෝග පවා සුවවෙනවා

health tips

මෙලොවට බිහි වූ දා පටන්ම නිරන්තරයෙන්ම අපේ ශරීරයට සිදුවන ක්‍රියාවලියක් තමයි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. අඛණ්ඩව මුළු ජීවිත කාලය  පුරාම සිදු කරන මේ ශ්වසන ක්‍රියාවලිය  වඩාත් අවබෝධයෙන් සිදු කිරීම මගින් අපේ  ජීවිතයට විශාල වෙනසක් ළඟාකර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම දවස පුරාම කායික වගේම මානසිකව අතිශයින්  වෙහෙසට පත්වන කය සහ මනස ආතතියෙන් ගලවා  ගන්නට මේ ශ්වසන අභ්‍යාස හරිම වැදගත්. 

ඔබ රැකියා ස්ථානයේ සිටියදී රැකියාව එපා වී ඇති අවස්ථාවක එයින් මිදෙන්නට හුස්ම ගැනීම අභ්‍යාස භාවිතා  කරන්නට පුළුවන්. අපි හැමවෙලේම සාමාන්‍ය හුස්ම ගැනීමක් තමයි සිදු කරන්නේ. දවසකට යම්කිසි වේලාවක් වෙන්කරලා ගැඹුරින් හුස්ම ගැනීම සිදු කළොත් එයින් ඔබට ප්‍රතිලාභ බොහොමයක් ලබා ගන්නට පුළුවන්. කිසිදු මිල මුදලක් වැය වෙන්නේ නැති වැඩි කාලයක් වැය වෙන්නේ නැති මේ ස්වසන  අභ්‍යාසය ඔබට නිරෝගීව ජීවත් වෙන්නට ඉතාම වැදගත්. බලන්නකෝ විනාඩි කිහිපයක් වැය කරලා ගැඹුරින් හුස්ම ගැනීමෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා.

ආතතිය සහ කාංසාව දුරුවීම stress මේ වචනය අපි හැමෝම නිතරම කියනවා. ඒ වගේම නිතරම අපේ කනට ඇසෙනවා. මුලින් සඳහන් කලා වගේ අපි  කායිකව වගේම මානසිකවත් .දැඩි ලෙස වෙහෙස කර බවට පත්වෙන නිසා අපේ ශරීරයෙන් අහිතකර හෝමෝන නිදහස් වෙනවා. එය අපිට දැනෙන්නේ මානසික වෙහෙසක් විදිහට. මේ ආතතිය නැති කරගන්නට ඔබට මේ ගැඹුරු හුස්ම ගැනීම වැදගත් වෙනවා. මේ මගින් මොළයට හොදින් ඔක්සිජන් සැපයුම ලැබෙන නිසා වෙහෙසකර බව නැති වෙලා මනසට සැහැල්ලුවක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.

මාංශපේෂි ඉහිල් වීම -මාංශ පේශිවල තද ගතිය නිසා පීඩාවට පත්වෙන බොහෝ දෙනෙක්ට එයින් මිදිය හැකි  පහසුම ආකාරයක්  තමයි මේ ගැඹුරින් හුස්ම ගන්නා එක. මේ වේදනාවන් නැතිකර ගන්නට විවිධ පිළියම්වලට යොමු වුණත් උදේ සවස තත්පර කිහිපයක් ගැඹුරින් හුස්ම ගන්නට හැකියාව තියෙනවා නම්  මාංශ පපේශීවල මේ පීඩනය තද බව ඉවත් වෙලා ගිහිල්ලා හරි පහසුවක් ලබා ගන්න පුළුවන්. 

ශරීරයෙ වැදගත් ඉන්ද්‍රියන්ට හොඳ සත්කාරයක් -අපේ ශරීරයේ ඇති  ප්‍රමාණය කුඩා වුණත් විශාල වුණත් සෑම ඉන්ද්‍රියකගේම කාර්යභාරය අපේ නිරෝගී පැවැත්මට අතිශයින්ම වැදගත්. ඒ අතරින් අක්මාව, වකුගඩුව, ආමාශය, අග්න්‍යාශය වගේ අවයවයන්ට මේ ගැඹුරින් හුස්ම ගැනීම කියන කාරණාව හරිම වැදගත්. විශේෂයෙන්ම අක්මාව අප ශරීරයේ කාර්යන් බොහෝමයකට දායක වෙන අපේ ශරීරයේ තියෙන පෙනේරයක් වගේ ඉන්ද්‍රියයක්. අක්මාව ඇතුළු ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ගේ  නිසි ක්‍රියාකාරිත්වයට ඒවායේ  දුර්වලතා වළක්වා ගන්නට මේ ගැඹුරින් හුස්ම ගැනීම ඉතාම වැදගත්. 

හදවත නිරෝගීව වීම -අද වෙද්දි අසන්නට ලැබෙන මරණ බොහොමයක් අතරින් හෘදයාබාධ නැත්නම් හදවත ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගාබාධ නිසා සිදුවන මරණ ගණන ඉතා ඉහළයි. මේ සඳහා තාම හොඳ පහසු විසඳුමක් තමයි මේ ගැඹුරින් හුස්ම ගන්නා එක. සාමාන්‍යයෙන් හදවතේ ස්පන්දන වේගය වැඩිවීම රෝග තත්ත්වයක් විදිහට තමයි සළකන්නේ.  එවැනි හදවතේ ගැටළු සුවපත් කරන හදවත නිරෝගී කරන අපූරු සත්කාරය තමයි මේ මේ ගැඹුරින් හුස්ම ගැනීම. 

ආහාර වේල් දිරවීමේ පහසුව-ජීවත් වෙන්නට අපිට ආහාර අත්‍යවශ්‍යයි. නමුත් අප ගන්නා ආහාරය නිසි පරිදි ජීර්ණයට ලක් වෙන්නේ නැත්නම් එය ගැටළු බොහොමයක් සඳහාම හේතුවක්. නිසිපරිදි ආහාර ජීර්ණය නොවීම නිසා නොයෙකුත් විෂ කොටස් ශරීරයේ එකතුවීමත්, අනවශ්‍ය විදිහට මේදය ගබඩා වීමත්, ශරීරයට නිසි ලෙස පෝෂණ කොටස් අවශෝෂණය කර නොගැනීමත්  ආදී බොහොමයක් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ  ගැටලු නැති කරලා හොඳ කාර්යක්ෂම ආහාර ජීරණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නට නම් අපි අද මේ කියන ගැඹුරින් හුස්ම ගන්නා එක ඔබට වැදගත්.

රුධිරය පිරිසිදු  කිරීම-රුධිරය අපේ ශරීරයේ ප්‍රධාන නියමුවෙක්. ඉතින් ඒ නිසා රුධිරය ලෙඩ වීම කියන්නේ අපි බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා කියන එක. විවිධ හේතු  නිසා අපිරිසිදු වෙන රුධිරය පිරිසිදු කර ගන්නට ගැඹුරින් හුස්ම ගැනීම ඉතාම වැදගත්. රුධිරය පිරිසුදු වෙනවා කියන්නේ අපට හොඳ නීරෝගී ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලැබෙනවා කියන එක. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න .

ගැඹුරු  ස්වසන  ලිහිලන  අභ්‍යාසය 

  • ඔබේ ශරීරය සෘජුව පිහිටුවා ගන්න.
  • සම්පූර්ණයෙන්ම හෝ අඩක් හෝ ඔබට පහසු පරිදි දෙඇස් වසා සූදානම් වෙන්න.
  • සාමාන්‍ය පරිදි ස්වසනය කරමින් ඉහළ සිට පහළට ඔබේ හිස, බෙල්ල, බාහු, පපුව ඔබේ අත් ආදී වශයෙන් ඔබේ අවයව වෙත අවධානය යොමු කරන්න. මෙලෙස විනාඩි දෙකක් තුනක් පමණ සාමාන්‍ය ස්වසනය සිදු කරන්න. 
  • ඔබේ උදරය හොඳින් පිරෙන ආකාරයට හුස්ම ඇතුළට ගනිමින් සහ උදරය තුළ ඇති වාතය හොඳින් පිටවන සේ   හුස්ම ඉහළ පහළ යවන්න.
  • සාමාන්‍යයෙන් ස්වසනය කරන්නෙ පපු ප්‍රදේශයෙන් වුණත් ගැඹුරු ස්වසන අභ්‍යාසවල දී අප හුස්ම ඇතුළට ගන්නේ සහ පිට කරන්නේ උදරය හොඳින් පිරෙන ආකාරයෙන්. මෙය විනාඩි දෙක තුනක් පමණ සිදු කරන්න.
  • දැන් ඔබේ දෙ අත්  පහසු ආකාරයෙන් තබාගෙන සාමාන්‍ය පරිදි ස්වසනය කරමින් අවසාන කරන්න.

මෙයින් ඔබට කායික වගේම මානසිකවත් ඉතා හොඳ සැහැල්ලු බවක් සහ ප්‍රබෝධමත් බවක් අත්විඳින්නට ලැබෙනවා නිසැකයි. මෙය දවසේ ඕනෑම වේලාවක දී ඔබට සිදු කරන්නටත්  පුළුවන්.