ආයුර්වේදයේ කම්පවාන ලෙස හඳුන්වන පාකින්සන් රෝගය කියන්නේ ඉතාම පැරණි රෝගයක්. ලෝකයේ වැඩිහිටි ජනතාව අතර ඩිමෙන්ෂියා රෝගයට පසුව වැඩිහිටි ජනතාව වැඩි වශයෙන් පීඩා විදින රෝගයක් තමයි මේ පාකින්සන් රෝගය. වයස්ගත වීමත් සමඟ විවිධාකාරයේ රෝග තත්ත්වයන්වලට වැඩිහිටි ප්‍රජාව ගොදුරු වෙනවා.සාමාන්‍යයෙන් වයස වුරුදු 60 ට වැඩි ජනගහනයෙන් 1% ට වඩා වැඩි පිරිසක් පාකින්සන් රෝගයෙන් පෙළෙන බව මෑතකදී පෙන්වා දී ඇති දත්ත මගින් පැහැදිලි වෙනවා. මේ රෝගයට ගොදුරු වන වැඩිහිටි ප්‍රජාවෙන් වැඩි අවදානමක් ඇත්තේ පුරුෂ පාර්ශවයට වන අතර මේ රෝගයට මූලිකම හේතුව ලෙස සලකනු ලබන්නේ වයස්ගතවීමයි.
මේ පාකින්සන් රෝගය මොළයේ ඇතිවන ස්නායු රෝගයක්.වෛද්‍ය විද්‍යාත්මකව මේ රෝගය ඇති වෙන්නට බලපාන මූලිකම හේතුව වෙන්නේ වයස්ගතවීමත් සමඟ මිනිස් මොළයේ බේසල් ගැන්ග්ලියා කියන ප්‍රදේශයෙන් නිෂ්පාදනය කෙරෙන ඩෝපමින් (Dopamine) නම් රසායන සංඝටකය මගින් නිපදවන සෛල ප්‍රමාණය අඩුවීමයි .මේ ඩෝපමින් කියන රසායනිකය පුද්ගලයාගේ ශරීරයේ ස්නායු සහ මාංශ පේශීන් සමායෝජනයෙන් ඉරියව් ක්‍රියාකාරකම් නිසි ආකාරයෙන් පවත්වා ගන්නට උපකාරී වන රසායනිකයක්. ස්නායු පද්ධතිය හා සම්බන්ධව ඇතිවන රෝගයක් වන පාකින්සන් රෝගයේදී මේ ඩෝපමින් නම් ස්නායු සම්ප්‍රේශකය සිඳී යාම නිසා එම නිශ්පාදන 60%- 80% ක් පමණ අඩු වීමෙන් මේ රෝගයට අදාල ලක්ෂණ මතු වෙනවා.
පාකින්සන් රෝගය ඇතිවීමට බලපාන හේතු

රෝගීන් අතුරින් බහුතර පිරිසකට මේ රෝගය ඇතිවීමේ හේතුව තවමත් නිවැරදිව හඳුනා ගෙන නැහැ.නමුත් සුළු කොටසකට මේ රෝගය ඇතිවෙන්නට බලපාන හේතු කිහිපයක් හඳුනා ගෙන තියෙනවා.
- ජානමය හේතු
- ස්නායු ආබාධිත තත්ත්වයන්
- හිසට තදපහරවල් වැදීම
- විෂ රසායනික වර්ග ශරීරගත වීම
- ඇතැම් ඖෂධ වර්ග (මානසික රෝග සඳහා භාවිතා කරන ලාගැක්ටිල්, ස්ටෙලසින් )
රෝග ලක්ෂණ
- සිරුරේ එතෙක් සිදු කළ සාමාන්‍ය චලනයන් නතර වී අලුත් චලනයන් ඇතිවීම
- අත්පාවල සියුම් වෙව්ලීමේ තත්ත්වයක් ඇතිවීම
- ක්‍රමයෙන් තම එදිනෙදා කටයුතු තනිව කර ගැනීමේ හැකියාව නැතිවී යාම
- අත් පාවල සියුම් වෙව්ලීමක් ඇතිවීම
මේ වෙව්ලීම ශරීරයේ එක් පැත්තකින් ආරම්භ වෙලා පසුව සිරුරේ අනෙක් පැත්තෙන් ද දකින්නට ලැබෙන වෙව්ලීමක්
- සෙමෙන් ඇවිදීමට සිදුවීම
- ශරීරයේ සමබරතාවය ගිලිහීයාමෙන් වැටීමට ලක්වීම
- අත් පා හෝ ශරීරයේ තද ගතියක් ඇතිවීම
- ඇඟිලි උපයෝගී කර ගනිමින් සියුම් කටයුතු කිරීමේ හැකියාව නැතිව යාම
- අත්පා වගේම හකු පාඩා වෙව්ලීම ඒ නිසා කතා කිරීමේ හා ආහාර ගැනීමේ අපහසුතා ඇතිවීම
- මුහුණේ හැඟීම් නැති ස්වභාවය
- කාලයක් ගතවෙද්දි ශරීරය ගල් ගැසුණු තත්ත්වයක් ඇතිවීම
මේ ලක්ෂණවලට අමතරව දිගුකාලයක සිට විවිධ අවයවවල විවිධ අපහසුතා ආදිය ඇතිවීම දකින්නට පුළුවන්

- නින්ද නොයාම
- මල බද්ධය
- ගඳ සුවඳ නොදැනීම
- මානසික අවපීඩනය
- ස්වසන අපහසුතා
- ගිලීමේ අපහසුතා
- විකාර සිහින පෙනීම
- ආතතිය සහ අසහනය
පාකින්සන් රෝගීන් අනුගමනය කළ යුතු නිවැරදි පුරුදු
- රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් විවේකීව සිටීම නොකළ යුතුයි. එයින් ශරීරය ගල් ගැසීමට හැකියාව ඇති නිසා තමාගේ දෛනික කටයුතු කරගැනීමට කටයුතු කළ යුතුයි.
- ඇවිදීමේදී එකවර හැරීම සුදුසු නොවෙයි. බෑගයක් ගෙන යන්නේ නම් එය අතේ එල්ලාගෙන යනවාට වඩා පිටේ එල්ලාගෙන යාම සුදුසුයි.
- ඇවිදින විට කලිසම් දෙකේ අත්දෙක බහා ඇවිදීමෙන් වැළකිය යුතුයි.
- පහසුවෙන් ගැළවෙන පාවහන් පැළදිය යුතු අතර අඩි උස පාවහන් නොපැළදිය යුතුයි.
- ආහාර ගැනීමේදී කතා නොකළ යුතුයි.ඒ සඳහා පමණක් අවධානය ලබාදිය යුතු වෙනවා.
- ව්‍යායාම් කිරීම
පාකින්සන් රෝගීන් අනිවාර්යෙන්ම දිනපතා ව්‍යායාම්වල නිරත විය යුතු වෙනවා.එහිදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.ව්‍යායාම මගින් රෝගියාගේ රුධිර සංසරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්න වන අතර හන්දිපත් රුදාව ,මාංශපේශී විඩාව නැතිවී අතපය තදවීම ආදිය අඩු කරගන්නට උපකාර වෙනවා.මාංශ පේශී ශක්තිමත් වීම වගේම සිරුරේ සමබරතාවය රැක ගන්නටත් එය උපකාර වෙනවා.
- සමබල ආහාරවේලක් ලබා ගැනීම
- මානසික ආතතියෙන් වැළකී මානසික සැහැල්ලුව ඇති කර ගැනීම
- වේගයෙන් කතා නොකළ යුතුයි.එක හුස්මකට වචනයක් හෝ දෙකක් පිට කළ යුතුයි.
- ඇවිදීමට අපහසු රෝගීන් සැරයටියක් භාවිතා කළ යුතුයි. එය අපහසු රාමුවක් භාවිතා කිරීම වැදගත්.
මේ පාකින්සන් රෝගය මුළුමනින්ම සුව කරන්නට හැකියාව නැතිවුණත් මුල් කාලීනව මේ රෝග තත්ත්වය හඳුනා ගැනීම මගින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබීමෙන් මේ රෝගය ලක්ෂණය පාලනය කරගන්නට හැකියාව ලබෙනවා. ඒ වගේම එයින් ඇතිවිය හැකි සංකූලතා අවම කර ගන්නටත් එයින් හැකියාව ලැබෙනවා. මේ රෝගයට වෛද්‍යවරුන් ලබාදෙන ඖෂධ අතුරු ආබාධ අවම වන පරිද්දෙන් ලබාදෙනු ලබනවා.
මෙවැනි රෝගියෙකුට සිදු කරන ප්‍රතිකාරවලදී සෑම පුද්ගලයෙකුට එක් පොදු ප්‍රතිකාර ක්‍රමයක් දැක ගන්නට හැකි වන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ ඒ රෝගියාගේ වයස රෝග ව්‍යාප්තිය වගේම රෝග ලක්ෂණ සැලකිල්ලට ගනිමින් ඒ ඒ රෝගියාට වෙනස් ආකාරයේ ප්‍රතිකාර සිදු කරනු ලබනවා. ඖෂධ හැරුණාම ව්‍යායාම, භෞතික චිකිත්සක ක්‍රම ආදියත් මේ රෝගීන් සඳහා ලබාදෙනු ලබනවා.ඇතැම්විට ඖෂධවලින් සුව කළ නොහැකි රෝගීන් කලාතුරකින් ස්නායු ශලය ප්‍රතිකාර සඳහාත් යොමු කරනු ලබනවා.
සෑම වයස්ගත පුද්ගලයෙකුම මේ රෝගයට ගොදුරු නොවන අතර රෝගීන් අතරින් සමහර කෙනෙකුට සුළු වශයෙන් හෝ තවත් අයෙකුට වැඩි වශයෙනුත් රෝග ලක්ෂණත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා සෑම වැඩිහිටියෙකුටම මේ රෝගය ඇතිවීමේ අවදානමක් නොමැති බව වටහා ගත යුතුයි.