වැසි සමයත් එක්ක යළි යළිත් හිස ඔසවන මාරයෙක් තමයි ඩෙංගු කියන්නේ. කොරෝනා වසංගතය එක්කම අපි වටේ නිතරම ගැවසෙන වඩාත් භයානක මේ ඩෙංගු රෝගය අපිට අමතක වෙලා ගිහින්. ලොකු පොඩි භේදයක් නැතිව හැමෝම ගොදුරු කරගන්නා වෛරසයක් මගින් බෝවන මේ රෝගය ආසාදිත මදුරුවෙක් වාහකයෙක් විදියට ක්‍රියා කිරීමෙන් පැතිරෙනවා. ඩෙංගු ආසාදනය නිසා ඇතිවන රෝග තත්ත්වයන් ඉතා විශාල පරාසයක විහිදෙනවා. ඇතැම් පුද්ගලයන්ට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. තවත් අයට කොරෝනා රෝග ලක්ෂණ හා සමාන ලක්ෂණ හෝ වෛරස් උණ ලක්ෂණ මේ තත්ත්වයේදී පෙන්නුම් කරන්න පුළුවන්.
ඩෙංගු උණ තත්ත්වයේදී

- එකවර ඇතිවන තද උණ
- අධික හිසරදය
- ඇස් පිටුපස වේදනාව
- අධික හිසරදය සහ පේශිවල වේදනාව
- සමේ රතු පැහැති ස්වභාවය
- ලේ ගැලීමේ තත්වයන්( විදුරුමස්, ශ්ලේෂ්මල පටල සහ සෙම )ඉතාම බරපතලම තත්ත්වයක් වෙන ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී මීට වඩා වෙනස් රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
- උණ අඩු වී යාම
- නොනවත්වා වමනය
- තද පිපාසය
- බඩේ කැක්කුම
- අධික නිදිමත සහ සිහි මද ගතිය
- ආහාර ප්‍රතික්ෂේප කිරීම
- අසාමාන්‍ය ලෙස ලේ ගැලීමේ තත්ත්වයන්
(උදාහරණ ලෙස ඔසප් චක්‍රයේ දී අධික රුධිර වහනය, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදුවීම)
- සමේ පැහැය වෙනස් වීම
- මුත්‍රා පිට නොවීම හෝ මුත්‍රා පිටවීම අඩු වීම
- අත් පා සුදුමැලි වී සීතල වීම
- නොසන්සුන් බව සහ කලබලකාරී බව
දින දෙකක් ගතවන විටත් අඩු නොවන උණ සමග මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ වෛදයවරයෙකු කරා ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. මුල් අවස්ථාවේදී නිසි ප්‍රතිකාර කළොත් රෝගය මාරාන්තික නොවී සුවපත්. කරගන්න පුළුවන් .
ඩෙංගු රෝගය තවත් එක් වෛරස් රෝගයක් පමණක් ලෙස සිතා කටයුතු නොකළ යුතු තත්ත්වයක්. මොකද ඇතැම්විට ඩෙංගු රෝගය වැළඳී සුවය ලැබුවත් දීර්ඝකාලීනව විවිධ අතුරු ආබාධ ඇතිවෙන්න හැකියාව තියෙනවා. අපි බලමු ඒ අතුරු ආබාධ මොනවද කියලා.
හිසකෙස් ගැලවී යාම -හිසකෙස් ගැලවී යන්නට නොයෙකුත් හේතු තිබුණත් එයින් එක් හේතුවක් තමයි ඩෙංගු රෝගය. ඩෙංගු වැලඳී සුවය ලැබූ කෙනෙක්ට හිසකෙස් ගැලවී යාමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කාන්තා පාර්ශවය සඳහා මෙහි වැඩි බලපෑමක් පවතිනවා. වෛද්‍යවරුන් සඳහන් කරන විදියට ඩෙංගු රෝගය වැළඳීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ ශරීරය දුර්වල වීම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නමුත් කාලයක් ගත වෙද්දී මේ ගැටළුව යථා තත්ත්වයට පත්වීමේ හැකියාව තියෙනවා.
විවිධ ඌණතාවන්ට ගොදුරු වීම-ඩෙංගු රෝගයට ගොදුරු වුණු පුද්ගලයන් තුළ විටමින් සහ ඛනිජ ලවණ ඌණතාවයන් ඇති වීම දකින්න පුළුවන්. ඔවුන් තුළ බහුලවම විටමින් d, විටමින් b12 සහ විටමින් E වගේ ශරීරයට අත්‍යවශ්‍ය වන විටමින් සහ පෝෂක අඩු වීමක් වෙන්න පුළුවන්. මේ ඌණතාවයන් ඔබව විවිධ රෝගවලට ගොදුරු කරන්නට හේතුවන නිසා ඩෙංගු රෝගයට ගොදුරු වුණු පුද්ගලයෙක් තමන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
මස්පිඩු වේදනාව-මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට වැඩි හැකියාවක් තියෙන්නේ දියවැඩියාව, වකුගඩු හෝ අක්මාව ආශ්රිත සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳින අයට. ඒ රෝගවලින් පෙළෙන පුද්ගලයන් ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් පසුව, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මාංශ පේශිවල හන්දිපත්වල වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙවැනි රෝගවලින් පෙළෙන අය හැරුනහම අනෙකුත් පුද්ගලයන්ටත් ඩෙංගු රෝගය වැළදීමෙන් පසු දීර්ඝකාලීනව මස්පිඩුවල වේදනාව, ඉක්මනින් වෙහෙසට පත්වීම සහ මහන්සිය ආදී ගැටළුවලට මුහුණ දෙන්න සිද්ධවෙනවා.

මානසික අවපීඩනය-Dengue shock syndrome තත්ත්වය බොහෝ රෝගීන්ට ඇති වෙන්නේ ඩෙංගු රෝගය සුව වීමෙන් පසුව. ඒ පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා නැවත ඩෙංගු රෝගය ඇති වුණොත් රුධිර පීඩනය අඩුවෙලා තත්ත්වය තවත් බරපතළ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඩෙංගු රෝගයට ගොදුරු වෙලා අසාධ්‍ය තත්ත්වයට පත් වී නැවත සුවය ලැබීමේ බලාපොරොත්තුව අඩුවුණු පුද්ගලයන්ට දිගුකාලීනව මානසික අවපීඩනය සාංකාව වගේ තත්ත්වයන් ඇති විය හැකි බව වෛද්‍යවරුන් සදහන් කරනවා.
ඩෙංගු රෝගය අපේ ජීවිතයට ඇති කරන බලපෑම සුළුපටු නොවන වග ඔබට වැටහෙනවා ඇති. ඉතින් ඒ නිසා ඩෙංගු මදුරුවන්ට බෝ විය නොහැකි පරිසරයක් සකසා ගැනීම පිළිබඳව ඔබට විශේෂ වගකීමක් තියෙන බව අමතක කරන්න එපා.