පුද්ගලයෙකුගේ නීරෝගි බව පිළිබඳව කතා කරන විට කායික නීරෝගි බව පමණක් නොවෙයි මානසික වශයෙන් නීරෝගීව සිටීමත් ඉතා වැදගත්. වැඩි වශයෙන් කායික රෝග පිළිබඳව කතා කරත් මානසිකව ඇතිවන ව්‍යාකූලත්වයන් හේතුවෙන් මානසිකව පීඩා විඳින ප්‍රමාණයත් අති මහත්. විශාදය කියන රෝගය අද සුලභව අසන්නට ලැබෙන එක්තරා මානසික රෝගයක්. විශාදය එහෙම නැත්නම් Depression රෝගය ලංකාවේ වගේම ලෝකයේ රටවල් බොහොමයකම බහුලව දකින්නට ලැබෙන සමාජය තුළ ඉතා වේගයෙන් පැතිරී යන රෝගයක්. ඒ නිසාම “විසි එක්වන ශතවර්ෂයේ මහාමාරිය ” යන නමින් හඳුන්වනවා. විශේෂයෙන්ම දියුණු යැයි සැලකෙන බොහෝ රටවල මේ රෝගය අතිශයින් බහුලයි. කොරෝනා වගේම වේගයෙන් පැතිරෙන විශාදය ගැනයි අද අපි කතා කරන්නට සූදානම් වන්නේ.
අපිට එදිනෙදා ජීවිතය ගත කරද්දි බොහෝ අවස්ථාවල මානසික ආතතිය ඇති වෙනවා. එවැනි අවස්ථාවන් මගහැර මානසික සහනය සඳහා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. නමුත් විශාදය සාමාන්‍යයෙන් ඇතිවන ඒ මානසික ආතතියට වඩා වෙනස්. විශාදය කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිතේ පවතින ශෝකී බව. මෙය සතියක් මාසයක් හෝ ඊට වැඩි කාලයක් පවතින්නට පුළුවන්.නමුත් මානසික ආතතිය සහ විශාදය වෙන්කර හඳුනා ගැනීම ඉතා අපහසුයි. ඒ නිසාම විශාදය ඇති බොහෝදෙනෙක් තමන් විශාදයෙන් පෙළෙන බව නොදැනීම නිසා ගැටළු බොහොමයකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම තමන් විශාදයෙන් පෙළෙන බව නොදැනීම නිසා විශාදය සමඟ ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීමේ හා ජීවිතය කළමණාකරණය කර ගැනීමේ හැකියාව අහිමි වෙන්නට පුළුවන්. ඒ නිසා මේ රෝගය මුල් අවධියේදී හඳුනා ගැනීම ඉතා වැදගත්. නමුත් මෙවැනි රෝගීන් සමාජය විසින් පිස්සන් යැයි හංවඩු ගැසීම නිසා ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු නොවීම බරපතල ගැටළුවක්.
සාමාන්‍යයෙන් විශාදය වැඩිහිටියන් අතරේ අවුරුදු 60 ට වැඩි අය අතර ඉතා සුලභයි. නමුත් කුඩා දරුවන්ට පවා මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. වැඩිම අවදානමක් ඇත්තේ වයස අවුරුදු 20 දී. විශාදය ඇති අයෙක්ගේ රෝගී තත්ත්වය වයස අවුරුදු 24-25 සහ 30 ගණන්වලදී උච්චතම තත්ත්වයට පත්වෙන්නට හැකියි. නමුත් වයස අවුරුදු 50 පමණ වෙද්දි එය අවම වෙන්නට පුළුවන්. මේ රෝගය නිසා සියදිවි නසා ගැනීමේ හැකියාව ඉතා වැඩියි.
විශාදය ඇතිවීමට හේතුවිය හැකි සාධක

- ජානමය නැඹුරුව
- මුහුණදීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම් දිගුකාලීනව අත්දකින කරදර හා පීඩා (සැමියාගේ බීමත්කම හෝ කායික රෝගාබාධ )
- තමන්ට අවශ්‍ය ලෙස දේවල් සිදුවිය යුතු යැයි සිතීම
- කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ සිදුවන වෙනස්කම්
- මාසික ඔසප්වීම නිසා සිදුවන හෝර්මෝනවල වෙනස්වීම
- දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන කායික හා මානසික වෙනස්වීම්
රෝග ලක්ෂණ
ඉක්මනින් මහන්සි දැනීම මානසික පීඩනය සංකීර්ණ සමාජ ක්‍රමයත් සමඟ සෑම අයෙක්ම පාහේ තමන්ට දරා ගන්නට නොහැකි තරමේ වැඩ කන්දරාවක් දිනපතාම කරනවා. අද වැඩ කොටස අවසන් වුණාම ඊළග දවසේ වැඩ කටයුතු කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය සොයා ගන්නවා. නමුත් කාලයක් තිස්සේ තමන්ගේ කටයුතු කරගන්නට අවශ්‍ය ශක්තිය නැති බව දැනෙනවා නම් එය විශාදයේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්.
ජීවත් වීමේ කැමැත්ත නැතිවීම ජීවිත් වෙන්නට ආසාවක් නෑ කියන්නේ මරණයට බයක් නැහැ කියන කාරණාව. අද ලෝකයේ සිදුවෙලා තියෙන මරණවලින් වැඩි ප්‍රමාණයක් විශාදයේ බලපෑම නිසා සිදුවුණ මරණ. ඒ නිසා කෙනෙකුට තමන්ව කිසිවෙකුට වටින්නේ නැහැ ජීවිතේ එපා වෙලා වගේ හැඟෙනවා නම් එය ඇතැම් විට විශාදය ඇති බව පෙන්වන ලක්ෂණයක් වෙන්නට පුළුවන්.
නින්ද සම්බන්ධ ගැටළු විශාදය ඇති කෙනෙක්ට රාත්‍රියට නින්ද නොයාම වගේම අධික නිදිමත ඇතිවීමත් දකින්න ලැබෙනවා.මුලු රෑම නිදාගත්තත් පසුවදාටත් නිදිමත අධිකව තිබීම හා උදාසීන බව එවැනි අයෙකුට අත්දකින්නට සිදු වෙනවා.
මතක තබා ගැනීමේ අපහසුව විශාදය ඇති අයෙකුගේ මනස එකතැන් කරගෙන තබා ගන්නට ඉතා අපහසුයි. ඒ නිසාම විශාදයෙන් පෙළෙන කෙනෙක්ට පොතක් කියවීම වගේම දෙයක් අහගෙන සිටීමත් ගොඩක් අපහසු වෙනවා.ඒ විතරක් නෙවෙයි ඉතා පහසුවෙන් අමතක නොවෙන හුරුපුරුදු දේවල් පවා අමතක වෙන්නත් පටන් ගන්නවා.

බර වෙනස්වීම මේ විශාදය නිසා ආහාර රුචිය අඩුවීම හෝ අධික ලෙස ආහාර ගැනීමත් සිදු වෙනවා. ඇතැම්විට බඩගින්න නොදැනීම හෝ කොතරම් කෑවත් බඩගින්න නැති නොවීම ආදියත් වෙන්නට පුළුවන්. ඒ නිසා විශාදය පුද්ගලයාගේ බර වෙනස් වෙන්නට බලපානු ලබනවා.
සතුට නැතිවීම කාලයක් තිස්සේ සිතේ සතුට ඇති කළ ගමන් බිමන් මිතුර ඇසුර ආදී සැම දෙයක්ම නීරස ලෙස දැනීම හා ඒවායින් සතුටක් නොලැබීම විශාදය ඇති අයෙකුගේ ලක්ශණයක්.
මනස නිතරම අවුල් වීම විශාදය ඇතිවිට හේතුව නොමැතිව තරහ යාම දුක ඇතිවීම සිදු වෙනවා.
ශරීර සෞඛ්‍යය පිරිහීම මනස ලෙඩ වෙද්දි කයත් රෝගී වෙනවා. විශේෂයෙන්ම සෑමවිටම ඔවගේ ශරීරයේ තැන් තැන්වල වේදනාවන් සාධාරණ හේතුවක් නොමැතිව ඇතිවීම විශාදයේ රෝග ලක්ෂණයක් වෙන්නට පුළුවන්.

- යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීම
- මල බද්ධය
- බලාගත් අත බලා සිටීම
- හිසකෙස් නොපීරා රැවුල නොකපා තමන්ගේ පිරිසිදුකම පිළිවෙල ගැන නොසිතීම
- ලිංගික ආශාව අඩුවීම
- ඔසප් චක්‍රය වෙනස් වීම
- හිසේ කැක්කුම
- තමාට පිළිකාවක් ඇතැයි සිතීම
- තමා මියයන බව නිතර සිතීම
- අපේක්ෂාභංගත්වය
- මළගිය පුද්ගලයන් කතා කරන බව ඇසීම
- නිවසේ කිසිවෙක් නොමැතිවිට අඩි ශබ්ද ඇසීම
- සියදිවි නසා ගැනීමට සිතීම
- තමාට වැරදි පවරා ගැනීම
- තමන්ට බොහෝ රෝග ඇතිවී ඇති බව සිතීම
- අනාගතය දෙස අශුභවාදීව බැලීම
ප්‍රතිකාර විශාදය යැයි හැඟෙන රෝග ලක්ෂණ ඇතිවිට හැකි ඉක්මනින් මනෝ වෛද්‍යවරයෙක් හමුව උපදෙස් ලබා ගත යුතු වෙනවා. එහිදී කළ යුතු ව්‍යායාම, සුරතල් සතුන් ඇති කිරීම ආදී අමතර ක්‍රියාකාරකම්වලටත් යොමු කරනවා. ආහාර රටාව හා නින්දේ වෙනස්කම් ඇති කරන්නට උපදෙස් ලබාදෙමින් අවශ්‍ය නම් ඖෂධ නියම කරනු ලබනවා.
මේ විශාදය මාස 6 සිට අවුරුදු කිහිපයක් පුරා තිබෙන්නට පුළුවන්. මේ රෝගය ඉතා දරුරුණු මානසික රෝගයක්. එහි අවසන් ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම නිසා මුල් අවදියේදී රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්.