සෑම දවසකම උදේට අපි මුලින්ම ආමාශයට දා ගන්නා ආහාර පාන මුළු දවස පුරාම නිරවුල් මනසින් වගේම කායික සුවයකින් තමන්ගේ වැඩකටයුතු ටික කරගෙන යන්නට විශාල වශයෙන් බලපානවා. නමුත් අපි හැමෝම කලබලයෙන් වැඩට යන්නට පිටත් වෙන අපි ගන්නා ආහාරයේ පෝෂ්‍යදායි බව ගැන නම් දක්වන්නේ අඩු සැලකිල්ලක්. රාත්‍රී නින්දේ සිට උදෑසන වෙද්දි දීර්ඝ පැය ගාණක් ආහාර මාර්ගය පුළුවන් තරම් පිරිසිදු කරන්නට උත්සාහ ගන්නා අවස්ථාවක් .
ඒ වගේම රාත්‍රිය පුරා අපේ ශරීරයේ ගෙවී ගිය පටක ඇතුළු වෙනත් අවයව ආදියත් අලුත්වැඩියා කිරීම සිදු වෙනවා. උදේ කාලය වෙද්දි දේහයේ අපද්‍රව්‍ය බැහැර කළ යුතු ස්ථාන වෙතට ස්ථානගත කිරීම සිදු කරනවා. ඒ වගේ අවස්ථාවක උදේ පාන්දර නැවත වස විස සහිත පානයන් හෝ ආහාර වර්ග ශරීරයට ඇතුල් කිරීම ඉතාම හානිකර දෙයක්. ඒ නිසා හිස්බඩ ශරීරයට ලබාගත යුතු හොඳම පානයන් මොනවද කියලා අපි දැනුවත්ව සිටීම වැදගත්. අද අපි කතා කරන්නේ හිස්බඩ ලබාගත යුතු එවැනි සෞඛ්‍ය සම්පන්න පානයන් කිහිපයක් පිළිබඳවයි.

කෝපි අවස්ථාවට අනුව රසවත් පානයක් වෙන කෝපි පානය කරන ආකාරය අනුව යම් අවස්ථාවල අපිට අහිතකර වුණත් කෝපි උදේ හිස්බඩ පානයෙන් ප්‍රතිලාභ බොහොමයක් ලබා ගන්නත් හැකියාව තියෙනවා.
- මහන්සිය අඩුවෙන් දැනීම
- යම් දෙයකට අවධානය යොමු කිරීමේ හැකියාව වැඩිවීම
- විඩාපත් ගතිය කම්මැලි ගතිය නැති කරනවා.
- මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම
- ස්නායු ආශ්‍රිත ඇල්ෂයිමර් පාකින්සන් ආදි රෝග පාලනය
- දේහ බර අඩු කිරීම
මේ සම්බන්ධව පවතින පර්යේෂණ එතරම් ප්‍රමාණවත් නැතත් කෝපි පානය මගින් ශරීරය උණුසුම් වී ශරීරය නැවත යථා තත්ත්වයට පත් කරන්නට ශක්තිය වැයවීම නිසා කැලරි දහනය වීමෙන් දේහ බර අඩුවීමක් වෙන්නට පුළුවන්. ඒ හැරුණාම අධි රුධිර පීඩනය, දියවැඩියාව ඇතිවීමේ ආදී අවදානම අඩු කරන්නටත් කෝපිවලට හැකියාව ඇති බවට සඳහන් වෙනවා.
පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට හිස්බඩ කෝපි පානය කිරීමෙන් ආමාශයේ අම්ල ශ්‍රාවය උත්තේජනය කරනවා. එය ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට උපකාරී වෙනවා. නමුත් හිස්බඩ කෝපි පානයෙන් ආමාශ බිත්තිවලට යම් හානියක් විය හැකි බවට මතයක් ද තියෙනවා. ඒ වගේම රුධිර පීඩනය ඉහළ යාම හෘදයේ ක්‍රියාකාරිත්වය වරින් වර ඉහළ යාම වගේම මල බද්ධය වගේ තත්ත්වයන් පවා කෝපි පානයෙන් ඇති වෙන්නට හැකියි.
කෝපිවල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන්ස් වන නිසා එහි ගැටළුකාරී තත්ත්වය පවතින්නට හැකි නමුත් ගැබිනි මව්වරුන්, අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය සහ ඉරුවාරදයෙන් පෙළෙන අයට කෝපි පානය එතරම් සුදුසු නැහැ.
ඉතින් කෝපි උදේ හිස්බට ගැනීම ඔබේ කැමැත්ත , සෞඛ්‍ය තත්ත්වය සහ වයස අනුව තීරණය වෙන දෙයක්.
තේ ලංකාවේ ජනතාව අතර ජනප්‍රියම පානයක් වෙන තේ බොහෝදෙනෙක්ගේ උදෑසන පානය බවට පත්වෙලා තියෙනවා. තේ පානයෙන් අපේ දේහයට බලපෑම් කිහිපයක්ම ඇති වෙනවා. හෘදයාබාධ ඇතිවීමේ ඉඩකඩ අවම කිරීම.
- පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීම
- අධි රුධිර පීඩනය ඇතිවීම වැළැක්වීම
- විවිධ රසායන නිසා ශරීරයේ දිරාපත්වීම වැළැක්වීම
කෝපි හා තේවලින් දේහයට ලැබෙන බලපෑම අවධානයට ලක් කළොත් ඒ කරුණුවලට අනුව කෝපිවලට වඩා තේ උදෑසන පානය සඳහා සුදුසු වෙනවා.
උණු වතුර මද රස්නය සහිත වතුර එකක් උදෑසන හිස්බඩ පානයට ගන්නට හැකි නම් එය අපේ දේහයට ලබාදෙන ප්‍රතිලාභ ඉතා ඉහළයි.
- ආහාර මාර්ගය සෝදා පිරිසිදු කිරීම
- උදරයේ වේදනා සහ අපහසුතා දුරු කරන්නට උපකාරී වීම
- දේහ බර අඩු කිරීම
- ශරීරය ප්‍රබෝධමත් කිරීම
- රුධිර ගමනාගමනය සහ රුධිර පීඩනය වැඩි වී සෑම පටකයකටම රුධිරය මැනවින් ගමන් කරවීම මගින් අවයවවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රකෘතිමත් බව ආරක්ෂා කිරීම .
උණු ජලය පානය පමණක් නෙවෙයි උණු ජලයට ලෙමන් පෙත්තක් එකතු කිරීම, ඇපල් සයිඩර් විනාකිරි බින්දු කිහිපයක් එකතු කිරීම හෝ ලුණු ස්වල්පයක් එකතු කරන්නටත් වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මේ පානය සෑම අතින්ම අපේ දේහයට වාසිදායක ප්‍රතිලාභ ලබාදෙනවා. එය නීරෝගීව බොහෝ කාලයක් ජීවත් වෙන්නට බෙහෙවින්ම වැදගත් වෙනවා.

ඉඟුරු ලාංකීය අපිට ඉඟුරු කියන්නේ ආගන්තුක ඔසුවක් නෙවෙයි. එදා පටන්ම විවිධ අත් බෙහෙත් ආදිය සඳහා ඉඟුරු භාවිතා වුණා. ඉඟුරු තේ අපි හැමෝම වගේ ආසාවෙන් ගන්නා පානයක්. නමුත් කෝපිවලට ඉඟුරු එකතු කර පානයට ගන්නේ නැහැ. ඒ වගේම පොඩි ඉඟුරු කෑල්ලක් තලා එය උණු වතුරට එකතු කර මද වේලාවක් තැම්බෙන්නට තියලා මද රස්නයෙන් පානය කරන්නත් පුළුවන්.මෙය සීනි හෝ හකුරු කැබැල්ලක් එක්ක වුණත් පානය කරන්නට පුළුවන්.
ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා වෙනවා වගේම ඉඟුරුවල ඉතා අධිකව කැල්සියම් සහ යකඩ අන්තර්ගත වෙනවා. ඒ නිසා මෙයින් අතිරේක පෝෂණයක් අපේ දේහයට ලබා ගන්නත් හැකියාව තියෙනවා. පිලිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා වගේම ප්‍රතිඔක්සිකාරක බහුල නිසා පටක ඉක්මනින් දිරායාමත් වළක්වනු ලබනවා.
- ශරීරයේ විෂ නැසීම
- වමනය බඩ පෙරලීම ආදී අපහසුතා දුරු කිරීම
- හික්කාව ඇතිවීම වළැක්වීම
- බඩේ දැවිල්ල සමනය කිරීම
- ආහාර අවශෝෂණය කිරීම හොඳින් සිදු කිරීම
- ආහාර මාර්ගයේ ලේ ගෙඩි වැළැක්වීම
- කැස්ස ආදිය සමනය කිරීම
- වේදනා නාශක හැකියාවෙන් යුක්තයි.
- විෂබීජනාශක හැකියාවෙන් යුක්තයි.
ඉතින් මේ පානයන් 4 න් කෝපි මලබද්ධය ඇති කරන ඇබ්බැහි වෙන සුළු පානයක් නිසා එය පානයට වැඩිදෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ හැරුණාම උදෑසන හිස්බඩට සුදුසු පානය සඳහා තේ, උණු වතුර වගේම ඉඟුරුත් ඔබට ගන්නට පුළුවන්. නමුත් එකදිගට හිස්බඩ මේ පානයන් නොගෙන මාරුවෙන් මාරුවට මේ එක් එක් පානයන් ඔබට ගන්නට පුළුවන්. වස විස සහිත කිරිපිටි වෙනුවට මේ පානයන් ඔබේ නීරෝගි බව සඳහා වගේම බොහෝ කාලයක් ජීවත් වෙන්නටත් අත්වැලක් වේවි.