අක්මා රෝග වළකන පරිප්පු

health tips

බොහෝදෙනා ආහාරයට ගන්නට ඉතා කැමති තවත් අයට දැක්කත් එපා වෙන ඕනෑම ආහාරයකට ගැළපෙන රසවත් අපූරු ආහාරය තමයි පරිප්පු කියන්නේ.අපේ ආහාර රටාව තුළ පරිප්පු අද නැතුවම බැරි ආහාරයක් බවට පත්වෙලා. බත් සමඟ පමණක් නෙවෙයි රොටී, ඉදි ආප්ප, පාන්, තලප, ආදී ඕනෑම ආහාරයක් එක්ක පරිප්පු අපි ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙවෙයි පිළියෙල කර ගත් ඉතා පහසුයි වගේම අඩු වියදමින් සකසා ගන්නටත් පුළුවන්. කිරට, මිරිසට, තෙලට ආදී විවිධ පුද්ගලයන්ගේ රුචි අරුචිකම්වලට අනුව පිළියෙල කර ගන්නා පරිප්පුවලටත් දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම නිවිති, සාරණ, කොහිල දළු හා පතෝල ආදී ආහාර සමඟ එකට කලවම් කර පිස ගැනීමටත් අපි පරිප්පු භාවිතා කරනවා. ඉතින් අපේ ආහාරවේල් අතර නිතරම ගන්නා පරිප්පු සතු ගුණ පිළිබඳව ඔබ සිතා බැලුවාද. ඉතින් මේ ඔබට කියන්නට සූදානම් වෙන්නේ හැමදාම කන පරිප්පු සතු අපූරු ගුණ පිළිබඳවයි. නමුත් පරිප්පු සතු ගුණයන් අපේ ශරීරයට නිසි පරිදි ලබා ගන්නට නම් එය නිවැරදි ක්‍රමවේදවලට අනුව සකස් කර ගන්නට සිදු වෙනවා. ලෙහෙසියට පහසුවට පිසගත් පමණින් එහි පෝෂණයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට විවිධ පෝෂණ ගැටළු රාශියක් ඇති වෙන්නට මං පෙත් විවර කරනවා.

වර්ණය, ප්‍රමාණය ආදිය අනුව පරිප්පු වර්ග කිහිපයකට වර්ග කෙරෙනවා. කොහොමනමුත් පරිප්පු කියන්නේ රනිල භෝග කාණ්ඩයට අයත් ප්‍රෝටීන බහුල ධාන්‍යමය ආහාරයක්. ඒ හැරුණාම පරිප්පුවල ෆෝලික් අම්ලය, විටමින් B1 B2, B3, සින්ක්, කැල්සියම්, පොස්පරස්, කාබෝහයිඩ්රේට්, පොටෑසියම්, යකඩ, කැරොටීන්, විටමින් B 5 B6 ආදී පෝෂක ද අන්තර්ගත වෙනවා.පරිප්පුවල තන්තු සහ සෙමින් අවශෝෂණය වන පිෂ්ටය ඇති අතර ඇමයිලෝස් ප්‍රමාණයත් වැඩියි. ඒ වගේම පරිප්පු සතුව ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළයි.

පරිප්පු සතු ගුණ 

  • පිළිකා වැළැක්වීමේ හැකියාව පරිප්පුවල අඩංගු වෙන ලෙක්ටීන්ස් සහ සැපොනින් යන සංකීර්ණ කාබෝහයිඩ්රේට් මගින් ආහාර මාර්ගයේ පිළිකා හා පියයුරු පිළිකා ආදිය මර්දනය කරනු ලබනවා.
  • දියවැඩියාව වැළැක්වීමේ හැකියාව පරිප්පුවල අඩංගු තන්තු දියවැඩියා තත්ත්වය වැළැක්වීමට හේතු වෙනවා.
  • රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාව 
  • උණ අඩු කිරීමේ හැකියාව 
  • වේදනා නාශක හැකියාව 
  • හදවත ආරක්ෂා කිරීමේ හැකියාව 
  • අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව 
  • අධි රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාව 

නමුත් වෙනත් ආහාර වර්ගවල වගේම පරිප්පුවලත් අපේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන්නට සමත් විවිධ  සංඝටකත් පවතිනවා.එනම් ට්‍රීප්සීන් එන්ඩිමිනීස් කියන්නේ අපේ ආමාශයේ තියෙන ප්‍රෝටීන ජීර්ණය සඳහා අවශ්‍ය වන එන්සයිමයක්. මෙය අක්‍රීය කිරීමට හැකියාව ඇති විවිධ ප්‍රෝටීන පරිප්පු සතු වෙනවා. ඒ අනුව ප්‍රෝටීන ජීර්ණය අඩපණවීමෙන් විවිධ ගැටළු ඇති වෙන්නට පුළුවන්. මේ ට්‍රීප්සීන් ඉන්ටිමිනීස් මගින් සිදු කරන ක්‍රියාවලිය නිසා පරිප්පුවල අන්තර්ගත වන ප්‍රෝටීන් ජීර්ණය පමණක් නොවෙයි ඒත් සමඟම අපේ ආහාර මාර්ගය තුළ පවතින  අනෙකුත් ප්‍රෝටීනවල අවශෝෂණය පවා අඩාල වන නිසා යම් විටෙක ප්‍රෝටීන ඌණතාවයක් ඇති වෙන්නට පුළුවන්. ඒ තත්ත්වයන් වළක්වා ගන්නට හොඳින් පිස ගැනීමයි කළ යුතු වන්නේ. 

ඒ වගේම පරිප්පුවල අඩංගු වන රසායනික සංයෝග වන ක්ලෙක්ටීන් ,ටැනීන් අයිටික් ඇසිඩ් හේතුවෙන් පවා ආහාර ජීර්ණ පද්ධතිය තුළ විවිධ පෝෂක අඩාල කරමින් පෝෂණ ඌණතා ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්.

පරිප්පු ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය මුං, මෑ, කවුපි, කඩල ආදී ධාන්‍ය වර්ගවල වගේම පරිප්පුවලත් ස්වභාවිකවම ශාක පදාර්ථ වර්ගයක් පවතිනවා. ඒ ශාක පදාර්ථ විද්‍යාත්මකව ප්‍රතිපෝෂක ලෙස හඳුන්වනවා. ඒවා ශාකයේ ආරක්ෂාවට ඇති ස්වාභාවික සංඝටකයක්.මේ ප්‍රතිපෝෂකවලට හැකියාව පවතිනවා අප ගන්නා ආහාරවල ඇති අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කිරීමේ හැකියාව හීන කරන්නට. ඒ නිසා ඒ ආහාර රෝගවල ඇති ප්‍රතිපෝෂකවල බලපෑම අවම කර ගන්නට විවිධ ශිල්ප ක්‍රම අනුගමනය කළ යුතු වෙනවා. 

ප්‍රතිපෝශක ඉවත් කරගන්නා ආකාරය 

  • රනිල ඇට වර්ග ජලයේ පැය ගණනාවක් පොගවා තැබීම 
  • පැලවෙන්නට දැමීම 
  • සුදුසු උෂ්ණත්වයේ වැඩි වේලාවක් පිස ගැනීම 
  • ක්ෂුද්‍ර  ජීවීමය පැසවීමේ ක්‍රියාවලියට ලක් කිරීම 

නමුත් අද බොහෝදෙනා මේ ක්‍රියාවන් අනුගමනය කරන්නේ නැති තරම්. කොහොමවුණත් පරිප්පුවල පිට පොත්ත ඉවත් කර ඇති නිසා ප්‍රතිපෝෂක ඉවත් කර ගන්නට බොහෝවේලාවක් පොගවා නොගත්තත් පැය 3 ක් හෝ පොගවා ගන්න.ඒ ජලය ඉවත් කරන්න. ඒ වගේම පරිප්පු දෙතුන් වතාවක් ඉතා තදින් සේදීමත් වඩා වැදගත්. 

පරිප්පු ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා පරිප්පු ආහාරයට ගැනීමේදී එක්වර විශාල ප්‍රමාණයක් ආහාරයට නොගැනීම දිනකට අපේ ශරීරයට ඕන කරන කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් පවතිනවා. ඒ පුද්ගලයෙකුගේ ශක්ති අවශ්‍යතාවයෙන්  55 % ට ආසන්න ප්‍රමාණයක්.බත් වගේම පරිප්පු අධික ලෙස ආහාරයට ගැනීම ශරීරයේ  කාබෝහයිඩ්රේට් ප්‍රමාණය වැඩි වෙන්නට හේතු වෙන කාරණාවක්.එය දේහ බර වැඩි කරන්නට බලපාන හේතුවක් වෙනවා.ඒ නිසා දියවැඩියා රෝගියෙකු නම් ඔබ වෙනදා ගන්නා බත් කෝප්ප 1 ½ කින්  භාගයක් ඉවත් කර ඒ වෙනුවට පරිප්පු කෝප්ප භාගයක් එක්තු කර ආහාරයට ගැනීම වඩා සුදුසුයි.

පරිප්පු සමඟ එළවලු පලතුරු මස් මාළු කරවල හෝ හාල් මැස්සන් සහ හිතකර තෙල් වර්ගත් ආහාරයට එකතු කර ගැනීම සුදුසුයි.ඉතින් පරිප්පු කියන්නේ ශරීරයට හිතකර වගේම අහිතකර තත්ත්වයන් පවා ඇති කරන්නට සමත් ධාන්‍යමය ආහාරයක්. නමුත් ඒ අහිතකර බලපෑම්වලින් වැළකී සිටින්නට අපිට අනුගමනය කළ හැකි ක්‍රමවේදත් ඇති බව අමතක නොකල යුතුයි.

Leave a Reply

Your email address will not be published.