සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ට වඩා දරුවෙක් කුස දරා ගෙන සිටින මවකට යම් රෝගයක් වැලදුණොත් එයින් මවට වගේම දරුවාටත් ඇති වෙන්නට හැකි බලපෑම ඉතා වැඩියි. ඒ නිසා ගැබිණි මවක් නිරන්තරයෙන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වා ගත යුතු වෙනවා තමන්ගේ දරුවාගේ යහපැවැත්ම වෙනුවෙන්. ඉතින් ගැබිණි මව්වරුන්ට ගැබිණි සමයේ ඇතිවන බොහොමයක් රෝග දරු ප්‍රසූතියෙන් පසුව සුවපත්භාවයට පත් වෙනවා. ඇතැම්විට යම් යම් රෝග දරුවාටත් බලපෑම් ඇති කරන්නට තරම් ප්‍රබල වෙන්නත් පුළුවන්. තවත් විටෙක දරු ප්‍රසූතියෙන් පසුවත් සුව නොවන රෝගත් පවතිනවා. ඉතින් දියවැඩියාව කියන්නේ අපි හැමෝම දන්නා රෝගයක්. ගැබිණි මවකට මේ දියවැඩියාව ඇති වුණොත් මොකද කරන්නේ. අද අපි කතා කරන්නේ මේ ප්‍රස්තුතය සම්බන්ධවයි.
රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම කියන මේ දියවැඩියාවේ එක් ආකාරයක් තමයි ගැබිණි සමයේ ඇති වන දියවැඩියාව. මේ ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව සාමාන්‍යයෙන් වැඩිහිටි වයසේ අයට ඇතිවන දියවැඩියාවට වඩා බොහෝසෙයින් වෙනස් වෙනවා. මේ තත්ත්වය බොහෝවිට දරු ප්‍රසූතියෙන් පසුව ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. මේ ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාවේ මූලිකම ලක්ෂණය වෙන්නේ මේ දියවැඩියා රෝග ලක්ෂණ එතරම් නොපෙන්වීමයි. ඒ නිසා ගර්භනී බවට පත් වී මාස 2 ක් 3 ක් ඇතුළත රුධිර සීනි පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත්.
ගැබිනි සමයේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීම සඳහා රුධිර සීනි පරීක්ෂාව වගේම ග්ලූකෝස් පානය මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම මැන බැලීමත් මෙහිදී අනුගමනය කෙරෙන ක්‍රමවේද අතර වෙනවා. මේ කිසිදු පරීක්ෂාවක් මගින් කුස තුළ වැඩෙන දරුවාට අහිතකර බලපෑමක් සිදු නොවන බව මතක තබා ගන්න. ගර්භනී වී සති 12 කට පසුව සිදුකරන රුධිර පරීක්ෂාව ප්‍රධාන ආහාරවේලෙන් පැය දෙකකට පසුව ලබාගන්නවා. එමගින් ගර්භනී සමයේ දියවැඩියා ඔබට ඇතිවිය හැකිද දැනටමත් වැලදිලා ද යන්න දැනගන්නට හැකියාව තියෙනවා. නමුත් ඒ බව 100% ක්ම තහවුරු කර ගන්නට අපහසු නමුත් ඒ සඳහා අවදානමක් ඇති ද යන්න දැන ගන්නට එමගින් හැකියාව ලැබෙනවා. ඉන්පසුව නැවත සති 24 ත් 28 ත් අතර කාලය තුළත් නැවත රුධිර පරීක්ෂණයක් (glucose tolerance test OGGT ) සිදුකර රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරවා ගත යුතු වෙනවා. මේ පරීක්ෂණයෙන් බොහෝදුරට ගැබිනි මවට දියවැඩියාව පවතීද ගන්න තහවුරු කර ගන්නට හැකියාව ලැබෙනවා.මෙසේ ගර්භනී මවකට දියවැඩියාව ඇති වෙන්නට බලපානු ලබන්නේ ඇය ගනු ලබන අහිතකර ආහාර පාන සහ වැරදි චර්‍යා පුරුදුයි .
දියවැඩියාව සඳහා වැඩි අවදානමක් ඇති කාණ්ඩ

- පෙර ගර්භනී සමයන්වලදී දියවැඩියාවට ලක් වූ මවක්
- අධික ලෙස බර වැඩි වී ස්ථුලතාවයට පත්ව සිටීම
- විශේෂයෙන් ඔබ දරුවන් සිටින මවක් නම් එකවර කිලෝ 4 ට වඩා බර වැඩි නම් එය දියවැඩියාව ඇති වෙන්නට වැඩි අවදානමක් පවතින බව මතකයේ තබා ගන්න.
- රෝගය සම්බන්ධ පවුල් ඉතිහාසයක් තිබීම
- ගර්භනී සමයේ දියවැඩියාව පාලනය සඳහා ගත යුතු ආහාර ගර්භනී මවක් ඒ සමයේ දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගන්නට දියවැඩියාව සාර්ථක ලෙස පාලනය කළ යුතු වෙනවා. ඒ සඳහා වෛද්‍යවරවයෙකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම නිවැරදි ආහාර රටාවකට හුරුවීමත් අත්‍යවශ්‍ය වෙනවා.
- ප්‍රධාන ආහාර වේල් තුන සහ ඒ ආහාර වේල් දෙකක් අතර අමතර ආහාරයක් ලෙස ආහාර රටාව සකස් කර ගන්න. ඉන්සියුලින් ලබා ගන්නා ගැබිනි මවක් නම් රාත්‍රී ආහාරයෙන් පසුව අමතර ආහාරය අනිවාර්යෙන්ම ගත යුතු වෙනවා. අමතර ආහාර ලෙස සීනි රහිත කිරි තේ, සීනි රහිත කිරි තේ සමඟ හැලප, ආප්ප හෝ රටකජු ආමන්ඩ් ආදී දෙයක් තමන්ගේ බර අනුව ආහාරයට එකතු කර ගන්නට පුළුවන්.
- සීනි අධික (රස කැවිලි, බේකරි කෑම ) ආහාරවලින් වළකින්න.
- එළවලු වැඩි වශයෙන් ආහාරයට ගන්න.
- සුදු සහල් වෙනුවට රතු සහල් සහ පාන් පිටි වෙනුවට ආටා පිටි ආහාරයට ගන්න.
- ගැබිනි මවකගේ උදෑසන රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක පවතින නිසා උදෑසන ඔබ ගන්නා පිෂ්ඨය සහිත ආහාර ප්‍රමාණය බොහෝසෙයින් අඩු කරන්න.
ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා

- දියවැඩියාව නිසිලෙස පාලනය නොකළොත් මව දීර්ඝකාලීන දියවැඩියා රෝගියෙක් බවට පත්වීමේ ඉඩකඩ ඇතිවීම .
- මවට මුත්‍රා ආසාදන , යෝනි මාර්ගයේ කැන්ඩිඩා කියන ආසාදන ඇතිවීමේ හැකියාව
- දරුවා බිහිකළ පසුව ඇතිවන තුවාලවල ආසාදන ඇතිවීම හා ඒවා සුවවීමට වැඩි කාලයක් ගතවීම
- දරුවාගේ බර වැඩි වී දරුවා විශාල වීමට වැඩි ඉඩකඩක් පැවතින නිසා එය දරු ප්‍රසූතියේදී ගැටළු ඇති කරන්නට පුළුවන්. ඒ වගේම දරුවා වටා ඇති තරලයේ වැඩීවීමක් ද සිදු වෙන්නට පුළුවන්.
- දරුවාගේ අසාමාන්‍ය වර්ධනය නිසා නියමිත කාලයට පෙර දරු ප්‍රසූතිය සිදුවීම
- දරුවාගේ අසාමාන්‍ය ඉන්සියුලින් නිපදවීම නිසා දරුවා බිහි වූ පසු දරුවාගේ සීනි මට්ටම වේගයෙන් පහළ බැසීමට වැඩි ඉඩකඩක් පැවතීම .
- දරුවාගේ බර වැඩි නිසා මවට සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීමට සිදුවීම.
- දරුවා කහ වීම සහ දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම.
- දරුවා අනාගතයේදී දියවැඩියාව වගේම තරබාරුව ආදී රෝගවලට ගොදුරු වීමේ හැකියාව
ඉතින් ගැබිනි මවක් ගැබිනි සමයේදී දියවැඩියාව නිසි පරිදි පාලනය නොකළහොත් එය මවට වගේම දරුවාටත් අනාගතයේදි ගැටළු බොහොමයක් ඇති කරන්නට හේතු වෙන නිසා එය වෛද්‍ය උපදෙස් අනුව නිසි පරිදි පාලනය කරගන්නට කටයුතු කරන්න.එය නීරෝගී දරුවෙක් බිහි කරන්නටත් මවක් ලෙස නීරෝගීව අනාගතයට මුහුණ දෙන්නටත් ඔබට හැකියාවක් ලැබෙනවා.