මන්ද තයිරොයිඩ්තාවය හඳුනා ගත හැකි ලක්ෂණ 12 ක්

health tips

අද බහුලවම අපිට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයන් අසන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ගෙන් 12% ක් තමන්ගේ ජීවිත කාලය ඇතුළත තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ රෝගයකට  මුහුණ දෙනවා. වයස්ගතවීමත් සමඟ මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ලෙඩ රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. නමුත් අඩු වයසක අයෙකුට මේ තත්ත්වය බලපාන ආකාරයට වඩා වයස්ගත අයෙකුට මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයන් බලපාන ආකාරය වෙනස්. ඒ වගේම කාන්තා පාර්ශවයට මේ ග්‍රන්ථිය ආශ්‍රිත රෝග ඇතිවීමේ ඉඩකඩ පිරිමින්ට වඩා 8 ගුණයකින් ඉහළයි.තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝර්මෝන මගින් අපේ ශරීරයේ ඉතා වැදගත් කාර්යබාරයන් රැසක් ඉටු කරනවා. තයිරොයිඩ් හෝමෝන එනම් T3 සහ T4 හෝර්මෝන ප්‍රාථමික මට්ටමෙන් ශරීරයේ ශක්තිය වර්ධනය සහ පරිවෘත්තීය ක්‍රියා පාලනය කරනු ලබනවා. ඉතින් මේ හෝර්මෝනවල අඩුවීම හෝ වැඩිවීම හේතුකොටගෙන යම් යම් ගැටළු තත්ත්වයන් ඇතිවෙනවා. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත මන්ද තයිරොයිඩතාවය කියන තත්ත්වය පිළිබඳව.

මේ තයිරොයිඩ් ග්‍රන්ථිය සමනළයෙකුගේ හැඩයෙන් අපේ ස්වාසනාලය ඉදිරියෙන් පිහිටා තියෙන කුඩා ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියෙන් තයිරොක්සීන් හෝර්මෝන ශ්‍රාවය කරනවා. ඒ වගේම මොළය සමීපයේ තියෙන පිටියුටරි ග්‍රන්ථියෙන් TSH  කියන හෝර්මෝනය නිකුත් කරනවා. මෙයින් තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම පාලනය කරනු ලබනවා. ඇතැම් වෙලාවට TSH හෝර්මෝනය වැඩියෙන් නිකුත් කළත් තයිරොයිඩ් ග්‍රන්ථියට ඒ පණිවුඩයේ ප්‍රබලතාවය තරම් තයිරොයිඩ් හෝර්මෝන නිකුත් කරන්නට හැකියාවක් නැහැ. එය ප්‍රාථමික මන්ද තයිරොයිඩතාවය ලෙස හඳුන්වනවා. TSH හෝර්මෝනය නිකුත් කළත් තයිරොයිඩ් ග්‍රන්ථිවලට ප්‍රමාණවත් තරම් තයිරොක්සීන් නිපදවන්නට හැකියාව ලැබෙන්නේ නැහැ.එය ද්වීතීයික මන්ද තයිරොයිඩතාවය ලෙසයි හඳුන්වනු ලබන්නේ. මේ තත්ත්වය හඳුනා ගන්නට පහත සඳහන් වන ලක්ෂණ අපට වැදගත් වෙනවා.

අධික වෙහෙස පුද්ගලයෙකුගේ ශරීරයේ ශක්ති මට්ටම තීරණය වන්නේ තයිරොක්සීන් හෝර්මෝනය මගින් නිසා මන්ද තයිරොයිඩතාවයක් හඳුනා ගැනීමේදී මේ ලක්ෂණය මූලික වෙනවා. නිදා ගැනීම වගේම වැඩ කිරීම පවා තීරණය වන්නට මේ හෝර්මෝනය බලපානවා. වැඩ කටයුතුවලදී ක්‍රියාශීලී බවින් තොරවම, මන්දගාමී බව මේ තත්ත්වයේදී ඇති වෙනවා.විශේෂයෙන්ම කොතරම් නිදා ගත්තත් නිදිමත මහන්සිය සහ අලස බව ඇත්නම් එය මන්ද තයිරොයිඩතාවයේ ලක්ෂණයක් වන්නට පුළුවන් නිසා ඒ පිළිබඳව  සැලකිලිමත් වන්න.

ශරීරයේ බර වැඩිවීම ශරීරයේ තයිරොක්සීන් හෝර්මෝනය අඩු වූ විට අක්මාව, මාංශපේශී  සහ මේද පටකවල  කැලරි දහනය වන ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේම මේ තයිරොයිඩ් හෝර්මෝන ශ්‍රාවය අඩු වූ විට පරිවෘත්තීය ක්‍රියා වේගයත් අඩු වෙනවා.මූලික පරිවෘත්තීය ක්‍රියාවල වේගය අඩු වීම නිසා අපි ගනු ලබන ආහාර මේදය ලෙසයි ශරීරයේ තැන්පත් වන්නේ. ඒ නිසා තයිරොක්සීන් හෝර්මෝනය නිෂ්පාදනය අඩුවීම නිසා ශරීරයේ බර වැඩීමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් වසරකට කිලෝ 7 ක් තරම් ප්‍රමාණයක් මේ තත්ත්වයේදී වැඩි වෙන්නට පුළුවන්. හේතුවක් නොමැතිව සිදුවන බර වැඩිවීම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත හෝර්මෝන ශ්‍රාවය අඩුවීම නිසාවෙන් ඇතිවන තත්ත්වයක් විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

සීතල දැනීම මන්ද තයිරොයිඩතාවය නිසා ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය අඩුවීම නිසා ශරීරයේ නිපදවෙන තාප ප්‍රමාණයත් ඒ හා සමානවම අඩු වෙනවා. ශරීරයේ  දුඹුරු මේදය කියන්නේ තාපය නිපදවන්නට අවශ්‍ය කරන මේද වර්ගයක්. මන්ද තයිරොයිඩතාවයේදී  මේ මේදවල ක්‍රියාව අඩු කරනවා. ඒ නිසා අඩු තයිරොයිඩ් ප්‍රමාණයක්  නිකුත් කරන අයට  අනෙක්  අයට දැනෙනවාට වඩා සීතල දැනෙනවා. මන්ද තයිරොයිඩතාවයෙන් පෙළෙන  අයගෙන් 40% ට තරම්  වැඩි සීතලක් ශරීරයට දැනෙන බවයි සොයා ගෙන ඇත්තේ.

මාංශපේශී වේදනාව තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම අඩුවුණාම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා අපවෘත්තීය ක්‍රියා බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා පේශී පටක ආදීය කැඩී බිඳී ශක්තිය නිපදවෙනවා.අපවෘත්තීය ක්‍රියා සිදු වෙද්දි  මාංශ පේශීවල ශක්තිය අඩුවී තමන් දුර්වල බව දැනෙනවා. ඒ වගේම මාංශපේශීවලත් සන්ධිවලත්  යම් යම් වේදනාවන් ඇතිවෙනවා. 

කොණ්ඩය ගැලවී යාම ශරීරයේ සෛල සහ කෙස් කුහරවල සෛල පාලනය වන්නෙත් තයිරොක්සීන් හෝර්මෝන තුළින්.කේශ කුහර අතර ඇති සෛලවලට තියෙන්නේ අඩු ආයු කාලයක් වගේම වේගවත් වර්ධනයක්. ඒ නිසා තයිරොක්සීන් හෝර්මෝනය අඩුවීම කෙරෙහි කේශ කුහර අතර ඇති සෛල බෙහෙවින් සංවේදියි.තයිරොක්සීන් හෝර්මෝන නිකුත් කිරීම අඩු වූ විට කේශ කුහරවල ඇති සෛල  නැවත නිපදවීම නතර වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් කොණ්ඩය ගැලවී යනවා. 

වියළි සම සහ නිතර කැසීම සමේ සෛල අලුතින් ඇතිවීම බිදවැටුණු විට  නැවත අලුතින් සෛල නිපදවෙන්නට  කාලයක් ගත වෙනවා.සමේ පිටතින්ම ඇති  මැරුණු සෛල තට්ටුව ඉවත් වෙන්නටත් යම් කාලයක් ගත වෙනවා. මන්ද තයිරොයිඩතාවය ඇති අයෙකුට වගේම එවැනි ගැටළුවක් නැති අයෙකුටත් වියළි සමක් පවතින්නට පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණයෙන් පමණක් තයිරොක්සීන් හෝර්මෝනය ශ්‍රාවය අඩු බව දැන ගන්නට බැහැ.

  • නිතර ඇතිවන කනස්සලු ස්වභාවය 
  • අවධානය යොමු කිරීමේ අපහසුතාවය 
  • මුහුණ කට ඉදිමුණු ස්වභාවයක් ගැනීම 
  • දෙපා ඉදිමුණු ස්වභාවයක් ගැනීම 
  • මල බද්ධය 
  • ඇස් පෙනීම හා කන් ඇසීමේ දුබලතා ඇතිවීම 
  • ස්නායුවලට මේ තත්ත්වය බලපෑම මත අත් පා  හිරි වැටීම, මතක ශක්තිය අඩුවීම හා මානසික ආතතිය ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.

ඉහත සඳහන් කළ යම් යම් රෝග ලක්ෂණ ඇති විට ඒ පිළිබඳව සැකහැර දැන ගන්නට රුධිර පරීක්ෂාවන් සිදු කරගත යුතු වෙනවා. තයිරොක්සීන් ඌණතාවයේදී සිදු කරන පරික්ෂණ කිහිපය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. රුධිර පරීක්ෂාවන් වගේම ස්කෑන් පරීක්ෂාවන් වෛද්‍ය නිර්දේශය මත සිදු කරන්නට වෙනවා. රුධිරයේ තයිරොක්සීන් ප්‍රමාණය මැනබැලීමට TSH හෝර්මෝන මට්ටම හා T4 මට්ටම පරීක්ෂා කරන රුධිර පරීක්ෂණවලින් නීර්ණය කරගනු ලබනවා.