ඇස්වල නිරෝගි බව ගැන අප නිරන්තරයෙන්ම සැලකිලිමත් වුණත් එදාට වඩා බාල මහලු හැමෝම වගේ පරිගණකය, ජංගම දුරකථනය සමග වේලාවක් රැඳී ඉන්නවා. විශේෂයෙන්ම නින්දට යද්දී පවා දුරකථනය අප අතින් මඟගහැරෙන්නේ නැහැ. ඒ විතරක්ම නෙවෙයි මේ නිසාම රාත්‍රියට හරියට නින්දක් ලබාගන්නේ නැහැ. මෙන්න මේ කාරණා නිසාම අඩු වයසින්ම බොහෝ දරුවන් වගේම තරුණ වයසේ අයත් ඇස් සම්බන්ධ විවිධ රෝගවලට ගොදුරු වෙනවා.
බාල තරුණ හෝ මහළු ඕනෑම වයසක පසුවෙන පුද්ගලයෙකුට ඇස්වල යම් යම් ආබාධ ඇත්නම් එයින් මිදෙන්නට ඇස් කණ්නාඩි භාවිතා කරන්නට සිදු වෙනවා. අද වෙද්දි ඇස් කණ්නාඩි විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා. නමුත් සැබැවින්ම ඇස්වල යම් යම් ගැටලු නිසා කණ්නාඩි පළදින පිරිස් අප අතරේ ඕනෑ තරම්. එයට වයස් භේදයක් නැහැ.
අපි අද කතා කරන්නේ අපිට ඇස් කන්නාඩි දෙකක් භාවිතා කරන්නට අවශ්‍ය බව හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ කිහිපයක් පිළිබඳව.මොකද ඇස්වල යම් යම් වෙනස්කම් හෝ අපහසුතා ඇති වුණාට බොහෝ දෙනෙක් ඒවා ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඔබේ මේ නොසැලකිලිමත් බව අන්ධභාවයට වුණත් හේතුවක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණ ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු ලක්ෂණයි.

හිසේ කැක්කුම අපි ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක හිසේ කැක්කුම් ඇතිවෙන්න පුළුවන්. ඔබත් එය අත්විදලා ඇති. බොහෝ රෝගයන්වල පොදු රෝග ලක්ෂණයක් විදියටත් මේ හිසරදය අපිට ඇති වෙන්නට පුළුවන්. නමුත් හිසේ කැක්කුමක් හට ගත් පමණින්ම එය යම් රෝගී තත්ත්වයක් නිසාවෙන් සිදුවන දෙයක් කියලා නිශ්චිතව කියන්නට අමාරුයි. නමුත් ඉරුවාරදය හෝ වෙනත් ප්‍රශ්නයක් නොවේ නම් දිගුකාලීන හිසරදයක් පවතිනවා නම් එය ඇස් සම්බන්ධ යම් ගැටලුවක් නිසා ඇතිවන තත්ත්වයක් වෙන්නට පුළුවන්.
ඇස් වල වෙහෙසකාරී බව දවස පුරාම යම් යම් දේවල් දිහා බලමින් අපි අපේ ඇස් දෙක බොහෝ වෙහෙසවනවා. ඇසට විවේකයක් ලැබෙන්නේ අපි නින්දට ගියාම විතරයි. පරිගණකය දිහා බලාගෙන දවස පුරාම වැඩ කරනවා නම් දුරකථනයත් එක්ක දවස පුරාම වැඩ කරනවා නම් එක දිගට පැය ගාණක් ධාවනය කරනවා නම් එහෙම නැත්නම් එකදිගට පොතක් පත්තරයක් කියවනවා නම් ඇසට වෙහෙසකාරී බවක් ඇතිවීම සාමාන්‍යයි. නමුත් මේ ක්‍රියාකාරකම්වල නොයෙදෙන අවස්ථාවන්වල ඇසට විඩාවක් වෙහෙසකර බවක් දැනෙනවා නම් ඒක බොහෝ වෙලාවට ඇස් කණ්නාඩි භාවිතා කරන්නට සිද්ධ වෙන යම් රෝගී තත්ත්වයක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඇසේ වෙහෙස සමඟ වේදනාකාරී බවක් දැනෙනවා නම් එය නොසලකා හැරිය යුතු තත්වයක් නෙමෙයි.
බොඳ වී පෙනීම අපි යම් වස්තුවක් දෙස බලද්දී එය පැහැදිලිව නොපෙනී බොඳ වුණු ස්වභාවයක් තියෙනවා නම් ඒක සුළු දෙයක් විදියට සිතා අමතක කරන්න එපා. සමහර අවස්ථාවල සුළු බොඳවීමක් පවතින්නට පුළුවන්.තවත් විටෙක ඉදිරියේ ඉන්න පුද්ගලයා වගේම ඉදිරියේ තියෙන වස්තුවක් හරිහැටි හඳුනා ගැනීමට නොහැකි තරමට ඇස් වල පෙනීම බොඳ වෙලා තියෙන්න පුළුවන්. දුරකථනය දිහා බලද්දි පරිගණකය දිහා බලද්දි පොතක් පත්තරයක් කියවද්දි මේ වගේ බොඳ වීමක් ඔබත් අත්විදිනවා නම් ඔබ වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවට යා යුතු වෙනවා.

දුර නොපෙනීම මයෝපියා කියන තත්ත්වය තමයි මේ දුර නොපෙනෙන තත්ත්වය වෛද්‍ය විද්‍යානුකූලව දි හඳුන්වනු ලබන්නේ. මේ තත්ත්වයේදී අපේ ඇස්වලට කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. සාමාන්‍ය වැඩකටයුතු සිදුකරගන්නට බාධාවක් වෙන්නෙත් නැහැ. නමුත් අපිට පේන තරමේ දුරකින් ඇති යම් වස්තුවක් දකින්නට හැකියාව නැත්නම් එය බොහෝ විට මේ දුර නොපෙනෙන තත්ත්වය වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ මේ සම්බන්ධව පරීක්ෂා කරවා ගන්නට අක්ෂි වෛද්‍යවරයෙකු හමුවට යා යුතු වෙනවා .
ලඟ නොපෙනීම වෛද්‍ය විද්‍යාවට අනුව හයිපරෝපියා කියන මේ තත්ත්වය මයෝපියා තත්ත්වයට වඩා හඳුනා ගැනීමට පහසු තත්ත්වයක්. මෙහිදී ඇතිවන මූලිකම ලක්ෂණය තමයි තමන් සමීපයේ ඇති දේවල් බොඳවී පෙනීම හා දුර තියෙන වස්තූන් එවැනි ගැටලුවකින් තොරව හොඳින් පැහැදිලිව දකින්නට හැකියාව ලැබීම. මේ තත්ත්වයට බොහෝ වෙලාවට හේතු වෙන්නේ අපේ අක්ෂි ගෝලය අවශ්‍ය ප්‍රමාණයට වඩා කෙටි වීම හෝ අක්ෂි කුනීතය අසාමාන්‍ය ලෙස පිහිටා තිබීම. මේ වගේ තත්ත්වයකට බොහෝ වෙලාවට වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ඇස් කණ්නාඩි පැළඳිය යුතු බවටයි .
හතලිස් ඇඳිරිය වැඩිහිටියන් අතර නිතර දකින්නට ලැබෙන අක්ෂ සම්බන්ධ රෝග තත්ත්වයක්. මෙය වයස්ගත වීමත් එක්ක වැඩිහිටියන්ට ඇතිවන සාමාන්‍ය තත්වයක්. ගොඩක් වෙලාවට අවුරුදු 38-42 ත් කියන වයස්වලදි මේ තත්ත්වය ඇති වෙන්නට හැකියාව තියෙනවා.වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රෙස්බ්යෝපියා යන නමින් මේ හතලිස් ඇඳිරිය හඳුන්වනවා. මේ හතළිස් ඇදිරිය කියන අක්ෂි අබාධය ඇති වුණාම පොත් පත්තර කියවීම, ඉදිකටුවට නූල දැමීම, මූර්ති නෙලීම ආදී සියුම් කටයුතුවල නිරත වීමේදී ඒ වස්තුව දෙස සාමාන්‍ය පුද්ගලයෙකු බලන දුර ප්‍රමාණයට වඩා වැඩිදුරකින් බලන්නට සිදු වෙනවා.එසේ නැත්නම් ඇතැම් විට ඇස් කුඩා බලන්නට උත්සාහ කරනවා. මේ නිසා ඇස්වල තදබල වේදනාවක් හට ගැනීම හා දැවිල්ලක් ඇතිවීමත් මේ තත්ත්වයේදී දකින්නට පුළුවන්.මේ උත්සාහයේ ප්‍රතිඵලය වන්නේ ඇස් තවදුරටත් විඩාවට මහන්සියට පත්වී ග්ලුකෝමා රෝගී තත්ත්වයට ළඟා වීම.ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත්විය යුතු වෙනවා.
- පෙනීම දෙකක් මෙන් පෙනීම
- රාත්‍රියේදී ඇස් පෙනීමේ දුර්වලතා
- පෙනීමේ තියුණු ස්වභාවය අඩුවීම
මේ වගේ ලක්ෂණ ඔබත් අත්විඳිනවා නම් එය එතරම් සැලකිල්ලට නොගෙන සිටින්නට එපා. වහාම අක්ෂි වෛද්‍යවරයකු හමු වුණොත් ඇස් පරික්ෂා කරවාගෙන ඒ සඳහා සුදුසු පිළියම්වලට ඉතා ඉක්මනින් යොමු වීමෙන් තත්ත්වය බරපතල නොවෙන්නට වග බලා ගන්න ඔබට පුළුවන්.