ඇස්වලින් කියවෙන අපේ සිරුරේ සැඟවුණු රෝග 8 ක්

health tips

වචනයෙන් කියා ගන්නට බැරි දහසක් දේ ඇස්වලින් කියන්න පුළුවන් නේ. ඉතින් ලෝකය දකින්නට තියෙන අපේ ඇස් පණ වගේ ආරක්ෂා කර ගන්නට ඕන වුණත් ඉතාම සංවේදී ඉන්ද්‍රියක් වන මේ ඇස් ආශ්‍රිතව ඇතිවන විවිධ රෝග තත්ත්වයන් සහ අපහසුතා බොහොමයි. ඉතින් ඇස් ආශ්‍රිතව ඇතිවන යම් යම් ලක්ෂණ අපේ ශරීරයේ සැඟවුණු ලෙඩ රෝග හඳුනා  ගන්නත් බෙහෙවින් උපකාරී වෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ ඒ ආකාරයට ඇස්වලින් හඳුනා ගන්නට හැකි ලෙඩ රෝග කිහිපයක් පිළිබඳවයි. 

අපි හැමෝටම වගේ ඇස් කැසීම, රතුවීම එක් පැත්තක් නොපෙනී යාම වගේ තත්ත්වයන් ඇති වෙනවා. නමුත් ඒ වගේ ලක්ෂණ බොහෝවිට අපි ඇසට විවේකයක් ලබාදීමෙන් ඉක්මනින්ම සමනය කර ගන්නට හැකියාව ලැබෙනවා. නමුත් තවත් අවස්ථාවල ඒ තත්ත්වයන් සුව නොවී පවතින්නටත් පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඇසේ රෝගයක් නොවුණත් සිරුරේ වෙනත් රෝගයක් නිසාවෙන් වුණත් එවැනි ලක්ෂණ හට ගන්නට පුළුවන්.  ඒ නිසා බොහෝදෙනෙක් ඒ ලක්ෂණ එතරම් ගණන් නොගත්තත් එයින් ඉතා බරපතල සෞඛ්‍ය ගැටළු ඇති වෙන්නට හේතුවක් වන නිසාවෙන් ඒ පිළිබඳව  සැලකිලිමත් වීම වැදගත්.

  • ඇස් බැම හැලීයාම පුද්ගලයෙකුගේ ඇස්වල සුන්දරත්වයට මුහුණේ අලංකාරයට ඇහි බැම ඝනව පිහිටීම උපකාරී වෙනවා. නමුත් සෑම අයෙකුගේම ඇස් බැම ඝනව පිහිටන්නේ නැහැ. ඇස් බැම තුනී ආකාරයට උපතින්ම යම් අයෙකුට පිහිටනවා. මේ තත්ත්වයන් ස්වාභාවිකව අපිට උරුම වෙන තත්වයන්. නමුත් යම් අයෙකුගේ එක් ඇස් බැමක් හෝ ඇස් බැමි දෙකම ක්‍රමයෙන් හැලීයාම තුනී වීම එක්තරා ගැටළුකාරී තත්ත්වයක්. මෙය සුළු වශයෙන් වගේම ඇතැම් අයගේ ඇස් බැම සම්පූර්ණයෙන්ම හැලී යන්නත් පුළුවන්.මේ තත්ත්වය වයස්ගත වීමත් සමඟ බොහෝදෙනෙක් අත් විදින තත්ත්වයක්. ඒ හැරුණාම තවත් අයට මානසික ආතතිය. වෙනත් ආසාදන තත්ත්වයන් වගේම පෝෂණ ඌණතා සහ සමේ රෝග නිසාවෙන් පවා මේ  ගැටළුව ඇති වෙන්නට පුළුවන්. මේ අතුරින් ඉතා කලාතුරකින් ඇති වෙන්නට හැකි ඇලෝපේෂියා ඇවියාටා කියන තත්ත්වය වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ ගැටළු නිසාවෙන් වුණත් මේ ඇස් බැම හැලීයාම සිදු වෙන්නට පුළුවන්.
  • ඇස් දැවිල්ල පරිඝනකය, ස්මාට් ජංගම දුරකථනය නිතර භාවිතා කිරීම නිසාවෙන් බොහෝදෙනෙක්ට ඇස්වල දැවිල්ලක්, පෙනීම බොඳවීමක් ඇති වන්නට පුළුවන්. ඒ තත්ත්වයන් මගහරවා ගන්නට පරිගණකය වගේම දුරකථනයත් හොඳින් ආලෝකය ඇති ස්ථානයක තබා භාවිතා කිරීමත් ප්‍රමාණවත් දුරකින් ඒවා තබා ගැනීමත්, ඇසට සෑම විනාඩි 20 ට වරක්ම තත්පර 20 ක විවේකයක් ලබාදීමත් වැදගත්.  ඒ වගේම night mode භාවිතයත් ඇස්වල සෞඛ්‍යයට හිතකරයි. නමුත් ඇතැම් විටෙක මේ ඇස්වල දැවිල්ල දිගුකාලීනව පවතින්නට හැකියාව පවතිනවා. එවන් අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවට යාම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මෙය ඇස සම්බන්ධ නොවන තත්ත්වයකදී වුණත් ඇති වන්නට ඉඩකඩ  පවතින නිසා. විශේෂයෙන්ම රුධිර කැටි ගැසීම, ඉරුවාරදය ආදී රෝග තත්ත්වයන් හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වන්නට පුළුවන්. 
  • ඇස් පිහාටු ඉදිමීම ඇස් පිහාටු ඉදිමීමක් අපිට බොහොම පීඩාවක් බව නොරහසක්. මෙසේ ඇස්වල ඉදිමුම ඇති වෙන්නේ මේද  ග්‍රන්ථි අවහිරවීමක් නිසා. සාමාන්‍යයෙන් ඒ ඉදිමුම දින 3 – 4 කින් මගහැරී ගියත් තවත් අයෙකුට ඒ ඉදිමුම බොහෝ කාලයක් යථා තත්ත්වයට පත් නොවී තිබෙන්නටත් පුළුවන්. එවැනි තත්ත්වයකදී ඇස් පිහාටුවේ වේදනාවට අමතරව ඇසේ වේදනාව, කදුළු පැමිණීම, ඇස්පිය ගැසීම, අපහසුවීම ආලෝකයට සංවේදී වීම යන ලක්ෂණයන් ද ඇති වන්නට පුළුවන්. ඉතින් ඒ වගේ ඉදිමුම් නිතර ඇතිවීමත් එකම ස්ථානයේ ඒවා නිතර ඇතිවීමත් ඒවා බොහෝ කාලයක් සුව නොවී තිබීමත් සිබේෂියස් ග්‍රන්ථි පිළිකාවක ලක්ෂණයක් වන්නට පුළුවන්.  ඒ නිසා එය කුරුළෑවක් යැයි  සිතා මිරිකීමක් පොඩි කිරීමක් සිදු නොකර වෛද්‍යවරයෙකු හමුවට යාම ඉතා වැදගත්.
  • ඇස් ඉදිමීම සාමාන්‍යයෙන් ඇසට යම් දෙයක් ඇතුල් වුණාම ඇස් පොඩි කිරීම නිසා හෝ ප්‍රමාණවත් නින්දක් ලබා  නොගැනීම වගේ හේතු නිසා සාමාන්‍යයෙන් ඇසේ ඉදිමුමක් ඇතිවී නැතිව යන්නට පුළුවන්. නමුත් නිතරම ඇසේ යම් ඉදිමුම්කාරී ස්වරූපයක් ඇත්නම් එය සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. එය තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇතිවන තත්ත්වයක් වීමේ ඉඩකඩ  බොහොම වැඩි නිසා වෛද්‍යවරයෙකු කරා යාමයි නුවණට හුරු.මේ රෝගයේදී ඇස වියළි වීම ,ඇසේ තාරා මණඩලය හා ඇස් පිහාටු අතර සුදුවීම සහ වේදනාව ඇසේ ඉදිමුමට අමතරව ඇති වන්නට පුළුවන්.
  • නොපැහැදිලි ඇස් බොහෝවිට දියවැඩියාව නිසි පරිදි පාලනය නොකිරීමේ අහිතකර ප්‍රතිඵලයක් ලෙසයි මෙසේ නොපැහැදිලි ඇස් ඇති වන්නේ. එහිදී ඒ රුධිර වාහිනීවලට හානිවීම සිදු වෙනවා. මෙහිදී ඇස්වල නොපැහැදිලි බවට අමතරව කරකැවිල්ල, සම සුදුමැලිවීම ,මහන්සිය දුබල බව ආදියත් ඇති වෙන්නට පුළුවන්.
  • ඇසේ එක් පැත්තක් නොපෙනී යාම ඇසේ විවිධ පැති එකවර නොපෙනී යාමක් ඔබ අත්දකින්නේ හිසරදයක් සහිතව නම් ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. එය බරපතල සෞඛ්‍ය ගැටළුවක පෙර නිමිත්තක් වීමේ ඉඩකඩ වැඩි හෙයින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
  • ඇස් කහවීම අක්මාව ආශ්‍රිතව ඇතිවන සෞඛ්‍යය ගැටළු හේතුවෙන් ඇස් වගේම මුළු ශරීරයම කහ පැහැයට හැරීම මූලික ලක්ෂණය වන කහ උණ ඇති වෙනවා. එසේ ඇස් කහ වීමකදී ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීම වැදගත්.
  • ඇස් පෙනීම දුර්වල වීම ඇස්වල පෙනීම වයස්ගත වීමත් සමඟ දුර්වල වීම සාමාන්‍ය  දෙයක් වුණත් වයස්ගතවීමක් නොමැතිව ඇස්වල පෙනීමේ ගැටළු ඇතිවීම නොසලකා හැරිය යුතු තත්ත්වයක් නම් නොවෙයි. විශේෂයෙන්ම එකවර  පෙනීම නැතිව යාම, බොඳ වී යාම, යම් වේලාවක් පවතින්නේ නම් එය වෛද්‍ය  ප්‍රතිකාර ලබාගත යුතුම තත්ත්වයක්. මේ ලක්ෂණය බොහෝවිට ඇති වෙන්නේ හෘදයාබාධයක් ඇතිවීමේ මූලික පෙර නිමිත්තක් ලෙසයි. ඒ නිසාවෙන් එවැනි ලක්ෂණයක් ඇති විගසම වෛද්‍ය  ප්‍රතිකාර කරා යොමු වෙන්න.ලෝකය දකින ඇස්වලින් අපේ සමස්ත සිරුරේම නීරෝගී පැවැත්ම දෙසා විශේෂ දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා බොහොමයක් ලෙඩ රෝග ඉතා පහසුවෙන් කලතියා හඳුනා ගන්නට ඇස්වල ඇතිවන  ඒ ලක්ෂණ පිළිබඳව  සැලකිලිමත් වෙන්න.