නියබිරිත්තාව කියන්නේ අද කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝදෙනෙක් පීඩා විදින නියපොතු ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක්. මේ තත්ත්වය අත්වල වගේම පාදයේ නියපොතු ආශ්‍රිතවත් ඇතිවීම දකින්නට පුළුවන්.මේ තත්ත්වය එක් ඇඟිල්ලක හෝ ඇඟිලි කිහිපයක වුණත් ඇති වෙන්නට හැකියි. නියබිරිත්තාව නිසා ඇතිවන වේදනාව වගේම පෙනුමට එයින් වන හානියත් අති මහත්. එබැවින් මානසිකවත් බොහෝසෙයින් කනස්සල්ලෙන් ගත කරන්නට අද බොහෝදෙනාට සිදුව තියෙනවා.
පාදයට අපහසුතා ගෙනදෙන පාවහන් භාවිතා කිරීම, අනවශ්‍ය ලෙස නිය අලංකරණය සඳහා නියමල අධික ලෙස පිරිසිදු කිරීම, සබන් වර්ග හෝ සබන් කුඩුවලින් අනවශ්‍ය ලෙස අත් හා පාද පිරිසිදු කිරීම, නිය ආලේපන වර්ග නිතර භාවිතය හා නිතර ඒවා ඉවත් කරන දියර වර්ග භාවිතය ,අධික ලෙස ජලය ආශ්‍රිත කටයුතුවල නිරත වීම රක්ත දෝෂ ආදී හේතු ගණනාවක ප්‍රතිඵලයක් ලෙස මේ නියබිරිත්තාව හටගන්නට පුලුවන්. මේ තත්ත්වයේදී නිය මල රත් පැහැ වී සිනිදු සම ගැලවී යාම, නිය මල සැරව සහිත වීම, දැවිල්ල, අධික ලෙස වේදනාවක් ඇතිවීම, නියපොත්ත දෙපස කළු පැහැවීම, නියපොත්ත කැඩීයාම, ඉදිමීම ආදී අපහසු තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් මේ පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්නට කළ හැකි ප්‍රතිකාර පිළිබඳව අද අපි කතා කරන්නට සිතුවා.
නියබිරිත්තා රෝගීන්ට නිවසේදී කළ හැකි ප්‍රතිකාර

නියබිරිත්තාවට අත් බෙහෙත් කිසිවක් කිරීමට පෙර මුලින්ම අත් සහ පාද ඉතා හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුයි. ඉන්පසු වියළි රෙදි කඩකින් හොඳින් පිසදා වියළා ගැනීමෙන් පසුව බෙහෙත් කළ යුතුයි. විශබීජ නසා නියමුල් සේදීමට පහත ද්‍රව්‍ය භාවිතා කළ හැකියි.
නියමුල් සේදීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය
- අමු කහ වෙනිවැල්ගැට තැම්බූ ජලය
- ගංසූරිය කොළ තම්බන ලද ජලය
- වෙනිවැල් ගැට තම්බන ලද ජලය
- පින්න කොළ, අරත්ත කොළ, නිදිකුම්බා කොළ කහ කොළ සම් ප්‍රමාණවලින් තම්බා හොඳින් නියපොතු පිරිසිදු කරගන්න.
- නින්දට පෙර මද රස්නය ඇති උණු වතුර ස්වල්පයක් ගෙන එයට කහ දමා කොහොඹ දළු හෝ කොහොඹ පොතු දමා දෑත් සහ දෙපා සෝදා පිරිසිදු රෙදිකඩකින් වියළා ගන්න.
- පල්ලමානික්කම් අළු, බිම් දුම්මල පොල් තෙල් එක පමණට ගෙන කකාරා පහන් තිරයක් ගා නියමලට වත්කරන්න.
- එළබටු ගෙඩියක් උණු අලු පල්ලේ දමා තම්බා අඹරා බඳින්න.

- සියඹලා පල්ලමානික්කම් කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍රකර බඳින්න.
- සූදුරු පල්ලමානික්කම් සමඟ අඹරා බඳින්න.
- ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක ප්‍රමාණයක් ගෙන එයට ටී ට්‍රී ඔයිල් බිංදු 8 ක් පමණ දමා එකතු කර මිශ්‍රකර කොට්න් බට්න් එකක් ආධාරයෙන් නියපොත්තේ තවරා ගන්න. මෙය දිනපතා දිනකට 6 වතාවක් පමණ සිදු කරන්න.
- හොඳින් පිරිසිදු කරගත් පාද බ්ලීච්වල ගිල්වා විනාඩි 3-4 ක් තබා ඉවත් කර පිරිසිදු කර ගන්න. මෙය දින 7-10 ත් අතර කාලයක් දිනකට වරක් කිරීම ප්‍රමාණවත්.
- ඇඹුල් කෙසෙල් ගසේ දළු හා කැපුම් කිරීය කොළ සම ප්‍රමාණවලින් ගෙන හොඳින් කොටා මලවා දිනකට දෙවරක් ආසාදිත නියපොතුවල බදින්න. මෙය මලවා ගන්නේ නැත්නම් දිනකට එක් වරක් බැදීම ප්‍රමාණවත්.
- කවඩි පුළුස්සා ගත් අළු හිරියල් සමඟ අනා ආලේප කරන්න.
- හීන්ගෙද කොළ, ඉදුණු කෙසෙල් ගෙඩි සමඟ අඹරා ආලේප කරන්න.
- හිරිගල් වරා කිරෙන් අඹරා ආලේප කරන්න.
- ගම්මිරිස්, එම මුල් කහ ලුණු අබ සමඟ කොටා මලවා බදින්න.
- හකුරු, වල්ලා දළු, මිල්ල දළු, පුපුල දළු පොල් හුණු කොටා මලවා බඳින්න.
- දිය කිරිල්ල කොළ, පොතු කොටා මලවා බඳින්න.
- දෙහි දලු, අමු කහ, උදුපියලිය සමව ගෙන සිහින්ව අඹරා ගෙන එය රාත්‍රියට රෝගී නියපොත්තේ ආලේප කරන්න. පසුව බුලත් කොළයකින් වසා තබා පසුදින උදෑසන නියපොත්ත සෝදා හරින්න. මෙය නොකඩවා දින 21 ක් සිදු කරන්න.
මෙවැනි රෝගයකදී ප්‍රතිකාර ලෙස සිදු කරන බෙහෙත් ගැල්වීම හැරුණාම ඒ තත්ත්වය තවත් තීව්‍ර කිරීමට හේතුවන චර්යාවන්ගෙන් වැළකීමත් අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන් පහසු පාවහන් පැළදීම, නිතර සැර සබන් හෝ සෝදන ද්‍රව්‍ය සමඟ නොගැටීම, අත් පා පිරිසිදුව තබා ගැනීම, උෂ්ණ ආහාර ගැනීමෙන් වැළකීම ආදි කාරණා පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.