දවල්ට නිතර නිතර ඉන්න බැරි නිදිමතක් හැදෙනවානම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ඇතිවෙලා

health tips

සාමාන්‍යයෙන් රාත්‍රියට පැය 7- 8 ක නින්දක් ලබා ගත්තත් සමහරුන්ට දිවා  කාලයේදී නිතරම නිදිමත ඇති වෙනවා. ඉතින් ඒ නිසා දවසම ඉතාම අලසව තමයි ගෙවන්නට සිද්ධ වෙන්නේ. මේ නිසා ඔබේ එදිනෙදා වැඩ කටයුතු සියල්ලක්ම වගේ අඩාල වෙන්න පුලුවන්. ඉතින් මේ වගේ තත්ත්වයකදී ඔබ ඒ ගැටලුව නොසලකා හරිනවා නම් එය  වඩාත් බරපතළ සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න හේතුවක්.

 මොකද අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ නිරෝගිමත් ජීවිතයක් සුවපත් ජීවිතයක්. කවුරුවත් ලෙඩ වෙන්නට කැමති නැහැ ඒ වගේම ආයු කාලය අඩු කරගන්නටත් කැමති නැහැ. නමුත් ඉතින් ඒ වගේ ජීවිතයක් ගත කරන්නට නම් අපේ ශරීරයේ පෙන්නුම් කරන විවිධ ලක්ෂණ පිළිබඳව තරමක් සැලකිලිමත් වෙන්නට ඕන. මොකද මේ වගේ ලක්ෂණ මගහරින එක අපේ ජීවිතයට නොසිතනා විදිහෙ ගැටලු ඇති කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි අද කතා කරන්නේ අධිකව දවල්ට නිදිමත ඇති වෙන්න බලපාන හේතු පිළිබඳව සහ ඒ ගැටළු අපිට කල්තියා හඳුනා ගන්නට උදවු වෙන තවත් ලක්ෂණ  පිළිබඳව ඔයාව දැනුවත් කරන්නට. 

දවල්ට අධිකව නිදිමත ඇතිවීමට බලපාන මූලික හේතුවක් තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ. මේ ත්‍රයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිෂ්පාදනය වෙන හෝමෝන අපේ ශරීරයට සුවිශාල කාර්යභාරයක් සිදුකරන අපේ ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝනයක්. යම් විටක එහි යම් ගැටළුවක් ඇති වුණොත් එය අපේ ශරීරයට නොයෙකුත් අහිතකර බලපෑම් ඇති  වෙන්නට හේතුවක්  වෙනවා. 

තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා තියෙන්නේ බෙල්ලේ ඉදිරිපස කොටසේ. මේ ග්‍රන්ථිය කුඩා ග්‍රන්ථියක්.අන්තරාසර්ග පද්ධතියට (නාල රහිත )අයත් මේ ග්‍රන්ථිය මොළයේ ඇති හයිපොතැලමස සහ පිටියුටරිය කියන ග්‍රන්ථියේ පාලනය යටතේ තමයි පවතින්නේ.මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොක්සීන් කියන හෝර්මෝනය ශ්‍රාවය කරනු ලබනවා. මේ තයිරොක්සීන් හෝර්මෝනය අපේ ශරීරයේ ලොකු කුඩා සෑම අවයවයකම නිසියාකාර පැවැත්මට සහ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් වැදගත් වෙනවා. තයිරොක්සීන් හෝර්මෝනය අඩුවෙන් ශ්‍රාවය හෝ වැඩිපුර ශ්‍රාවය කියන තත්ත්වයන් දෙකම අපේ ශරීරයේ පැවැත්මට අහිතකර ලෙස බලපාන්නට පුළුවන් .

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම රෝගී තත්ත්වයක්. එය හඳුන්වන්නේ මන්ද තයිරොයිඩතාවය විදිහට. (hypothyroidism) 

මෙහිදී සැලකිලිමත් යුතු කාරණාව තමයි රෝගියාට අපහසුතා ඇතිවෙන්නේ ඉතාමත් සෙමින් බව. ඒ නිසයි  රෝගියාටවත්  රෝගියා සමීපව ඉන්න පුද්ගලයෙකුටවත් හඳුනා ගන්නට අපහසු වෙන්නේ. ඒ වගේම තවත් අය මේක සාමාන්‍ය දෙයක් විදිහටත් වයස්ගත වන විට ඇතිවෙන තත්ත්වයක් විදිහටත් සලකා නොසලකා හරිනවා.  

සුළු රෝග ලක්ෂණ වලින් ආරම්භ වන මේ මන්ද තයිරොයිඩතාවය දිගින් දිගටම තිබුණොත් එය ඔබ සම්පූර්ණයෙන්ම ඇඳට සීමා කරන්නටත් අවසානයේ රෝගියා මිය යන්නටත් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමෙන් මෙය ඉතා මුළුමනින්ම සුව කරන්නටත්  පුළුවන් බව මතකයේ තබා ගන්න.

 මේ රෝග තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකුට ඒ තත්ත්වය හඳුනා ගැනීමට උපකාරී වන ලක්ෂණ පහතින් සඳහන් කරන්නම්.

  • දිවා කාලයේදී දැනෙන අධික නිදිමත
  • අලස බව
  • මුහුණ පුරවා දැමීම
  • කාන්තාවන්ගේ සරු බව ආශ්‍රිත ගැටලු 
  • ඇග ඉදිමීම
  • කොණ්ඩය ගැලවී යාම, හිසකෙස්  වියළි වීම, කැඩෙන සුළු වීම 
  • ඇහිබැම තුනී වීම 
  • සම වියලීම 
  • සීතලට  ඔරොත්තු නොදීම
  • මල බද්ධය
  • හෘද ස්පන්දන වේගය මන්දගාමී වීම
  • හෘද සෞඛ්‍යයට ඇතිවන  බලපෑම් 
  • වාඩි වූ පසු නැගිටීමේ දී එකවරම දෙපා පණ නැති වීම 
  • රෙදි වනන විට පවා අත් එසවීම අපහසු වීම
  • අත් කකුල් සීතල වීම

තයිරොක්සින් මට්ටම අඩුවීම පරිවෘත්තීය මන්දගාමී කරවන  නිසා ශරීර උෂ්ණත්වය අඩුවීම හේතුකරගෙන වෙව්ලීම, උගුර  ඉදිමීම ආදී ලක්ෂණත් මේ සමඟම ඇති වෙන්නට පුළුවන්. 

  • අත් හිරිවැටීම
  • අත්ල කහ පාට වීම
  • ඔසප් වීමේදී රුධිරය පිටවීම සහ ලේ කැටි ලෙස රුධිරය පිටවීම
  • බුද්ධිය අඩු වීම 
  • නින්ද නොයාම 
  • කන් ඇසීම අඩුවීම

 ඇතැම් අවස්ථාවලදී දරුවන් උපදින විටම තයිරොක්සින් අඩුවන අවස්ථාත් තියෙනවා ඒ නිසා එවැනි අවස්ථාවක්ද දී ඉහත කී ලක්ෂණවලට අමතරව දරුවා මන්ද බුද්ධික වීම සහ ශරීර වර්ධනය බාලවීම සිදු වෙන්න පුළුවන්. 

මේ මන්ද තයිරොයිඩතාවය රුධිර පරීක්ෂණයක් මගින් රුධිරයේ තයිරොක්සින් මට්ටම පරික්ෂා කිරීමෙන් තහවුරු කරගන්න පුළුවන්. ඒ හෝමෝනය අඩු වන විට ඉහත කී ආකාරයෙන් TSH නම් වූ පිටියුටරි ග්‍රන්ථියෙන් නිකුත් කරන පරිපාලන හෝමෝනය වැඩිපුර  නිෂ්පාදනය වීමත් හඳුනාගන්න පුළුවන්. මේ තත්ත්වය හඳුනා ගැනීමෙන් පසු ජීවිත කාලය පුරාම හෝර්මෝනය පෙත්තක් වශයෙන් ලබා ගන්නට සිද්ධ වෙනවා. මෙය ශරීරයට අවශ්‍ය කරන හෝමෝනයක් බාහිරින් ලබා ගැනීමක් පමණක් නිසාවෙන් අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක් නැහැ. 

hypothyroidism  අධි තයිරොයිඩතාවය

 මේ තත්ත්වයේදී ඉහත සඳහන් කළ ලක්ෂණවලට ප්‍රතිරෝධී ලක්ෂණ දකින්නට ලැබෙනවා.  මේ සඳහා වන අලුත්ම ප්‍රතිකාරය තමයි විකිරණ මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය විනාශ කර දැමීම. මෙය පිළිකා තත්ත්වයක් නොවුනත් මේ සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දෙන්නේ  පිළිකා රෝහල තුළදී. කොහොම වුණත් මේ රෝගය නොසලකා හැරියොත් රෝගියා මිය යාම දක්වා දක්වාම වර්ධනය වෙන්නට පුළුවන්.

  • අධි ක්‍රියාශීලී බව
  • රස්නය  ඔරොත්තු නොදීම
  • ශරීරය කෙට්ටු වීම  

 තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩිවීම නිසා මේ වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. පරිවෘත්තීය වේගය ඉහළ යාමත් සමග ශරීරය විසින් කැලරි භාවිතයට ගන්නා ප්‍රමාණය වැඩි වී වේගයෙන් ශරීර බර අඩු වී යන්නට පටන් ගන්න  පුළුවන්.

  • නිතර මලපහ පිටවීම
  • ශරීරය ගැහෙන ස්වභාවයක් ගැනීම
  • හිසකෙස් ගැලවී යාම, හිස්කෙස් තුනී වී යාම,  හිස්කබල අධිකව වියලීම 
  • අත් පා පණ නැති වීම 
  • හෘද ස්පන්දන වේගය අධික වීම 
  • මනෝභාවය වෙනස් වීම

 මනෝභාවය එහෙමත් නැත්නම් මූඩ් එක නිතර වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. නිතර දුක්ඛිත බව කාන්සා ස්වභාවයක් ගැනීම නුරුස්සනා ගතිය, තරහ නොසන්සුන් බව දැනෙනවා නම් එය තයිරොයිඩ් හෝමෝන මට්ටම් අධික  වීම නිසා ඇතිවන තත්ත්වයක් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ හෝමෝන මට්ටම අධික වීම විෂාදීය රෝග ලක්ෂණ වර්ධනය වීමට හේතු වෙනවා. 

බෙල්ලේ  සම අඳුරු වීම තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය නිසා මුඛ කුහරයේ මෘදු සම, ඇස් අවට, බෙල්ල, ප්‍රජනන අවයව කිහිලි ආශ්‍රිත සම කලු වීමට පටන් ගන්නවා. මේ නිසා සමේ කැසීම් පවා ඇති වෙන්න පුළුවන්. 

මේ ලක්ෂණ නොසලකා හැරීම වඩාත් බරපතළ සංකූලතා ඇති කරන්නට හේතු වෙන තත්වයක් නිසා මෙවැනි ලක්ෂණයකින් හෝ කිහිපයකින් ඔබ පීඩා විඳිනවා නම් අනිවාර්යෙන්ම ඒ  සැකය තහවුරු කර ගන්නට ඔබ වෛද්‍යවරයකු හමු වෙලා අදාළ පරීක්ෂණ කරවාගෙන කල් නොයවා ප්‍රතිකාර ලබා ගන්න.