ගමේ හැදෙන වැඩෙන දූ දරුවන්ගේ වගේම අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ ඉතා ජනප්‍රිය පළතුරක් තමයි වෙරළු කියන්නේ. ප්‍රමාණයෙන් කුඩා වුණාට එහි තියෙන පෝෂණ ගුණය නම් සුළුවට නොගත යුතුයි. ඇතැම් අය මේ ඉදුණු වෙරළු ආහාරයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් බහුතරයක් කෙනා වෙරළු අච්චාරු කන්නට නම් කැමති බව අපි දන්නවා. වෙරළු ගෙඩි ඉදෙන්නටත් කලින් කඩාගෙන තම්බා හදන මේ වෙරළු අච්චාරු නිවස ඇතුලේ තම්බන්නට හොඳ නෑ කියලා කතාවක් අපි හැමෝම අසා තියෙනවා.
ඇත්තටම වෙරලු නිවස තුළ තැම්බීමෙන් නිවස පාලුවට යනවද කියන කාරණාවට වඩා වෙරලු අපේ ශරීරයට කොතරම් හිතකර බලපෑමක් කරනවාද කියන කාරණාව ගැන අප දැනුවත් වීම හරි වැදගත් බවයි මට හැඟෙන්නේ. කොහොමවුණත් නිවස තුළ වෙරළු තැම්බීම නුසුදුසු වීම කියන කාරණාව තුළ විද්‍යාත්මක සත්‍යයක් තියෙනවා අපිට බැහැර කරන්නට නොහැකි. පලතුරු අතරින් ඇපල් මිදිවලට හුරු වුණු බොහෝ නූතන තරුණ තරුණියන්ට වෙරලුවල අපූරු ගුණ ගැන දැනකියා ගන්නටත් එක්කම අපි අද මේ ලිපිය තුළින් මේ කරුණු කාරණා සියල්ලම ගැන කතා කරමු.
සාමාන්‍යයෙන් වෙරලු ශාකය අවුරුද්දකට දෙවරක් පල දරනවා. නමුත් සමහර ශාකවල වසර පුරාම ගෙඩි හට ගෙන තිබෙනු දකින්නටත් පුළුවන්. වෙරලු වර්ග කිහිපයක්ම හඳුනා ගන්නට පුළුවන්. මස් වෙරළු, ඇට වෙරළු, පොල් වෙරළු, තිත්ත වෙරළු සහ මස් වෙරලු ආදි වශයෙන් වෙරළු කාණ්ඩ කිහිපයක්ම දකින්නට පුළුවන්. මේ වෙරළු වර්ග කිහිපයම ආහාරය පිණිස ගන්නට පුළුවන් නමුත් මීට අමතරව ගල් වෙරළු යනුවෙන් වෙනත් ඖෂධීය ශාකයක් තියෙනවා ඒවා ආහාරයට ගන්නේ නැහැ.
පලතුරක් විදියට ආහාරයට ගන්නට හැකි වෙරළුවල විටමින් සී, යකඩ, මේදය, protein, කැරොටින් ,කැල්සියම් ,පොස්පරස්, තයමින්, රයිබොප්ලෙවින් , කාබෝහයිඩ්‍රේට් ආදී පෝෂ පදාර්ථ බොහොමයක් අඩංගු වෙනවා. ඒ විතරක්ම නෙමෙයි සිංහල වෙදකමේදී වෙරළු කොළ, වෙරළු ඇට, පොතු වගේම මුල් පවා විවිධ ලෙඩ රෝගවලට ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා.
වෙරළු රසවත් පලතුරක් විදිහට වගේම රසවත් පානයක් විදිහටත් අපිට ආහාරයට ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමේ වෙරළු අච්චාරු අපි හැමෝම නෑ බෑ නොකියන රසවත් ආහාරයක්.
වෙරලු නිවෙස තුළ තම්බා ගැනීම නුසුදුසු වෙන්නේ ඇයි

මේ සඳහා හේතු කිහිපයක්ම පවතිනවා.
දුමේ ඇති බීජවලට හානි ගෙන දීම.අද වගේ නෙවෙයි එදා සෑම ගෙදරකම වගේ දුමක් තිබ්බා . ඊළඟ කන්නය සඳහා වගා කරන්නට ඕන කරන බීජ වර්ග ආදිය ගබඩාකර තියන්නේ මේ දුමේ. දුම් ගැහිලා වේලෙන නිසා ඒ බීජවලට පණුවන්ගෙන් ගුල්ලොන්ගෙන් හානි සිද්ධ වෙන්නේ නැහැ. වෙරළු නිවස තුළ තැම්බීමේ ගැටලුව වෙන්නේ ඒවා බොහෝ වෙලාවක් තම්බන්නට සිද්ධ වීම නිසා දුමේ ඇති ඇටවලට හානිවී ඒවා පැළ නොවීමයි. ඉතින් ඒ නිසා වෙරලු නිවස තුළ තැම්බීම එදා ගැමියන් නුසුදුසු දෙයක් විදියට සැලකුවා.
ඇදුම රෝගීන්ට අහිතකරයි.වෙරලු තැම්බීමේදී පිටකරන හුමාලය ඇදුම රෝගීන්ට අපහසුතා ගෙන දෙනවා. ඒ නිසා නිවෙස තුළ වෙරළු තැම්බීම එතරම් සුදුසු නොවන බව සඳහන් වෙනවා.
විද්‍යාත්මක කාරණාව ඉහත සඳහන් කරුණු දෙකම අපේ මුතුන් මිත්තන්ගෙන් අපි දැන කියාගත්ත දේවල් . නමුත් විද්‍යාත්මකව ගත් විට ඒ සඳහා හේතු විදිහට සඳහන් වෙන්නේ නයිට්‍රස් ඔක්සයිඩ් (ලාෆින් ගෑස් ) කියන අහිතකර වායුව වෙරළු තැම්බීමේදී පිටවීමයි. වෙරලු තැම්බීමට බොහෝ වේලාවක් ගත වෙන නිසා ඒ වායුවට බොහෝ වේලාවක් අපි නිරාවරණය වුණොත් එය මොළයට හානි සිදු කරන්නට හේතුවක් වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම පොඩි දරුවන්ට රෝගීන්ට වගේම වයසින් වැඩි අයටත් මෙය ඉතාමත් අහිතකර ලෙස බලපානවා. මෙන්න මේ කාරණය නිසා නිවෙස තුළ වෙරලු තැම්බීම එතරම් සුදුසු නොවන වග සඳහන්. ඒ වගේම වෙරලු කිසිම අවස්ථාවක වසා තැබීමත් නොකළ යුතු බවට සඳහන් වෙනවා.
වෙරලු ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයට ලැබෙන සෞඛ්‍යමය වාසි
ගැබිනනි මව්වරුන්ට ඉතාම ගුණදායක ආහාරයක්.ගැබිනි කාලයේ මුල් මාස කිහිපය තුළ ඇතිවන ශාරීරික අපහසුතා සමනයට කරගන්නට වෙරළු තරම් ගුණදායක පලතුරක් නොමැති තරම්. අමු වෙරළු ඇඹුල් රසයකින් යුක්ත වුණාට ඉදුනු වෙරළු ඇඹුල් රස සමග පැණි රසයක් ගන්නවා. ඉතින් ඒ නිසා ගැබ් ගත් මුල් කාලයේ දී ඇතිවෙන අප්‍රසන්න ගතියට ඔක්කාරයට වෙරළු ගෙඩියක් කටේ තියාගෙන සිටින එක සහනයක් ලබා ගන්නට උදව් වෙනවා. ගර්භණි මව්වරුන්ට වගේම කිරිදෙන මව්වරුන්ගේ කිරි වර්ධනය සඳහාත් වෙරළු කියන්නේ හොඳම ආහාරයක්.
ශරීර දාහය නැති කරනවා පලතුරක් ලෙස වගේම පානයක් ලෙස සකසා භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය සමනය කරගෙන දේහය සිසිල් කරගන්නට හැකියාව ලැබෙනවා.
ආහාර රුචිය වර්ධනය කරනවා විශේෂයෙන්ම ඔක්කාරය, වමනය ආදී තත්ත්වයන් නිසා වගේම ආහාර ජීර්ණය නොවීම නිසා ආහාර ගැනීමට ඇති ප්‍රියතාවය නැති වීම වෙරළු ආහාරයට එකතු කර ගැනීම මගින් සුවකර ගන්නට පුළුවන්. වෙරළු ගෙඩි කිහිපයක් දිනකට ආහාරයට එකතු කර ගැනීමෙන් මේ ගැටළුව මගහරවා ගන්නට පුලුවන්. ආහාර ජීර්ණය හොඳින් සිදු කරන නිසා මලබද්ධ ආදී රෝග තත්ත්වයන් සුවපත් කර ගන්නටත් උපකාරී වෙනවා.
දියවැඩියාව ඇතිවීම පාලනය කරනවා අද වෙද්දි අසන්නට ලැබෙන බෝ නොවන රෝග අතරින් නිහඬ මාරයෙක් විදියට සැලකෙන දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්නට වගේම දියවැඩියා රෝගියෙකුට එය වඩාත් හොදින් පාලනය කරගන්නටත් වෙරළු කියන්නේ කදිම ආහාරයක්. දවසකට වෙරළු ගෙඩි 15 පමණ ආහාරයට ගන්නට හැකි නම් එය රුධිර සීනි මට්ටම යහපත්ව පවත්වා ගන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා. නමුත් ඔබ දියවැඩියාව සඳහා ඖෂධ ලබා ගන්නා අයෙක් නම් වෙරළු ආහාරයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගන්නට කටයුතු කරන්න.

හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවාදිනකට වෙරලු ගෙඩි පහක් හෝ හයක් අවම වශයෙන් ආහාරයට එකතු කරගන්නට හැකියාව ඇත්නම් එය ඔබේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉතා පහසුවෙන් වැඩි කරගන්න උපකාරී වෙනවා.
- විදුරුමස් දියවීම, විදුරුමස්වලින් ලේ ගැලීම සහ දත් දිරා යාම ආදී මුඛ සහ දන්ත සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු සමනයට උපකාරී වෙනවා.
- හෘද රෝග ඇති වීම පාලනය කරනවා
- ශරීරයේ විෂ ඉවත් කරනවා.
- පිළිකා ඇතිවීම වළක්වනවා
- කාන්තාවන්ගේ සුද යාමේ රෝග තත්ත්වය සුව කරනවා.
- සම පැහැපත් කිරීමට දායක වෙනවා.
- හිස්සොරි පාලනයට වගේම හිසකෙස් වර්ධනයටත් උදව් කරනවා.
විශේෂයෙන්ම වෙරළු පත්‍ර තම්බා ගත් ජලයෙන් හිස සේදීම සහ වෙරළු කොළ කොටා ලබාගත් යුෂ හිස්කබලේ ගල්වා සෝදා හැරීම මගින් ඉතා පහසුවෙන් හිස්සොරි පාලනය කර ගන්නට පුළුවන්. මේ සත්කාරය හිසකෙස්වල වියලි බව නැති කර සිනිදු සහ දීප්තිමත් බව වැඩි කරගන්නටත් උදව් වෙන බව සඳහන්.
- ඔසප් වේදනාවන් සමනය කරනවා.
- ශරීර බර පාලනය කර ගන්නට දායක වෙනවා.
- ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට දායක වෙනවා.
- සන්ධි ආබාධවලට ප්‍රතිකාර වශයෙන් මේ ශාකයේ පස්පංගුවම භාවිතයට ගැනෙනවා.
විශේෂයෙන්ම සමේ රෝග, දිලීර ආසාදන, හිස් කබලේ අසාදන, උකුනන් වද කිරීම, වේදනානාශක, ප්‍රති සජලන ඖෂධ නිපදවීමට, අතීසාරය ආදී රෝග සහ මානසික රෝග සඳහා හිස කුඩිච්චිවලටත් වෙරළු ගසේ පස්පංගුව භාවිතා කරනවා.
නීරෝගීව ජීවත් වෙන්නට සොබාදහමින් අපිට තිලිණ කරපු වටිනා ශාකයක් තමයි වෙරළු. අද අපිට අගයක් නැති වුණාට අනිත් වස විස එකතු කර නිෂ්පාදනය කරන පලතුරු අතින් බැලුවහම වෙරළුවල ඇති වටිනාකම ඉයා ඉම කරන්නට බැහැ. ඒ නිසා හැකි සෑම විටම වෙරළු ඔබේ ආහාරයට එකතු කර අන්නට අමතක කරන්නට එපා.