හදවත් රෝග සුව කරන දියබත

health tips

අරුමෝසම් ජීවිත ගත කරන ආහාර ගැනීමත් විලාසිතාවක් කරගත් නූතන පරපුරට අමතකව ගිය ගුණයෙන් අනූන අපූරු ආහාරයක් තමයි දියබත් කියන්නේ. එදා අතීතයේ ගැමි ගෙවල්වල රාත්‍රියට ඉතිරිවන බත්වලින් සකස් කර ගත් මේ දියබත විශේෂ ආහාරයක් වුණේ නැහැ. නමුත් අද බොහෝදෙනා පෙරදින රාත්‍රියේ ඉතිරි වුණු හීල් බත පසුදින විසිකර දමන්නටයි පුරුදු වී ඇත්තේ. ඒ නිසාම බාල මහලු භේදයකින් තොරව බොහෝදෙනා විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවීම දවසින් දවස වැඩිවෙනවා.නීරෝගීමත් ජාතියක් බිහි කරන්නට නම් වස විසෙන් තොර ඉහළ ගුණයෙන් යුක්ත මෙවැනි ආහාර වැඩි වැඩියෙන් අපේ ආහාරයට එකතු කර ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසාම දියබත් සතු විශේෂ ගුණ පිළිබඳව අපි කතා කරන්නට සිතුවා.

අද වගේ එදා අපේ ගැමි ජනතාව බත පිසගත්තේ රයිස් කුකර් භාවිතා කරමින් නොවෙයි. මැටි මුට්ටියේ පිසගත් බත්වල ඉතිරි වුණු කොටසට සමාන වතුර ප්‍රමාණයක් එයට එකතු කර මේ දියබත සකස් කර ගනු ලැබුවා. සාමාන්‍යයෙන් උණු බත් ඉතා ඉක්මනින් ජීර්ණයට ලක්වීමෙන් රුධිරගත සීනි මට්ටම ඉහළ අගයක් දක්වා වර්ධනය කළත් සිසිල් කරන ලද බත්වලින් අපිට එවැනි අවදානමක් සිරුරට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දියවැඩියා රෝගීන්ට මේ දියබත කදිම ආහාරයක්. 

මේ බත් මත හිතකර ක්ෂුද්‍ර ජීවීන් (ලැක්ටික් ඇසිඩ් බැක්ටීරීයා )ක්‍රියා කිරීම නිසා බත් පැසීමේ ක්‍රියාවලියට ලක් වෙනවා.එයින් විටමින් B සහ විටමින් C සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ වගේම මේ බැක්ටීරියා ක්‍රියාත්මකවීම මගින් මෙහි ඇති පෝෂක අපේ සිරුරට වඩා පහසුවෙන් අවශෝෂණය කළ හැකි මට්ටමට පත් කරනු ලබනවා. බත්වල අන්තර්ගත යකඩ අවශෝෂණය කිරීමේ හැකියාව 25% කින් වැඩි කිරීමේ හැකියාව මේ පැස්සවීම නිසා ඇති වෙනවා.

 ඒ වගේම බත්වල අන්තර්ගත කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම්, ආදී අයන වර්ගත් ඉතාමත් පහසුවෙන් අවශෝෂණය කිරීමට හැකියාවක් ද ලැබෙනවා. ඒ හැරුණාම මෙහි අඩංගු විටමින් B 12 ආදිය ඉතා පහසුවෙන් අපේ සිරුරට අවශෝෂණය කර ගැනීමේ හැකියාව ද වර්ධනය වෙනවා.අලුතෙන් පිසින බත්වලට වඩා මේ දියබත් සැහැල්ලු බවින් යුක්තයි. තන්තු බහුල දියබත්වල කැලරි ප්‍රමාණය ටිකක් ඉහළයි . ඒ නිසා මේ දියබත් ගැනීමෙන් පසු මේ කැලරි නිසි පරිදි දහනය නොකිරීම ස්ථුලතාවය ඇතිවීමට හේතුවක්. එවිට මේ කැලරි මේදය වශයෙන් තැන්පත් වෙනවා. ඒ නිසා ගනු ලබන දියබත් ප්‍රමාණය පිළිබඳව  සැලකිලිමත් විය යුතුයි.

දියබත් සතු විස්මිත ගුණ 

  • ශරීර ශක්තිය වර්ධනය කරයි 
  • හිතකර බැක්ටීරියා වර්ග ශරීරයට ලබා ගන්නට හැකියාව ලැබෙයි 
  • සිරුර ප්‍රබෝධමත් කරයි.
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටළු සමනය කරයි.දියබත් සකස් කිරීමේදී භාවිතා කරන පොල් කිරි ආහාර ජීර්ණ මාර්ගයේ සිටින බැක්ටීරියා වෛරස් සහ දිලීර විනාශ කර දමමින් ඒ ආශ්‍රිත රෝග තත්ත්වයන් වළක්වනු ලබනවා.
  • මල බද්ධය දුරලයි 
  • දියබත් සැදීමේදී නිර්මාණය වන ප්‍රතිඔක්සිකාරක පිළිකා ඇතිවීම වළක්වනු ලබයි 
  • අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරමින් සිරුරට හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරයි.
  • ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කරයි 
  • තුවාල සුව කරයි 
  • තරුණ බව රැකදෙයි 
  • අධි රුධිර පීඩනය වළක්වයි 
  • මානසික ආතතිය වළක්වයි 
  • ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කර සිරුරේ විෂ ඉවත් කරයි 
  • දිව  තොල් ආදිය පැලීම් සුවකරයි 
  • ශරීරයේ දැවිල්ල සමනය කරයි 
  • හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි 
  • ශරීරය සිසිල් කරයි 
  • විජලනය වළකයි 
  • දියවැඩියා රෝගයට ගුණදායකයි 

දියබත සාදාගන්නා ආකාරය 

දියබත ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාවිතා කරන අමුද්‍රව්‍යවල වෙනස්කම් තිබුණත් එයින් ලැබෙන ගුණයන් වෙනස් වෙන්නේ නැහැ. 

  • උයා ඉතිරි වූ බත් 
  • පොල් කිරි 
  • වියළි මිරිස් කරල් 5 
  • රතු ළූණු ගෙඩි 5 
  • සුදු ළූණු බික් 1 
  • දෙහි යුෂ 
  • ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණට 

පෙරදින රාත්‍රියේ ජලය දමා පොගවා ගත් බත් පසුදා උදෑසන වතුර පෙරා ඉවත් කරගන්න. ඒ ජලය පෙරා ඉවත් කිරීම මගින් පෝෂණය අපතේ යන නිසා ඒ පෙරාගත් වතුර පානය කිරීම සුදුසුයි.පසුව පෙරා ගත් බත් බදුනකට දමා හැන්දකින් පොඩි කර එයට උකුවට මිරිකා ගත් පොල් කිරි ලියාගත් සුදු  ළූණු හා රතු ළූණු පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස් ආදිය එකතු කර රස අනුව ගම්මිරිස් ලුණු සහ දෙහි යුෂ එකතු කරගන්න. රස වැඩි කර ගන්නට අවශ්‍ය නම් උම්බලකඩ ස්වල්පයක් ද එකතු කර ගන්නට පුළුවන්.මෙය කිතුල් හකුරු සමඟ ආහාරයට ගන්නට හැකි අඩු වියදමින් සකසා ගත හැකි ඉතා රසවත් වගේම ගුණවත් සමබල ආහාරයක්.අද බොහෝදෙනා පීඩා විදින ලෙඩරෝග බොහොමයකින් ආරක්ෂා වෙන්නට නීරෝගීමත් ජීවිතයක් ගත කරන්නට මේ දියබත් ඉතාම වැදගත්. නමුත් එදා ගැමි ජනතාව හේනට කුඹුරට ගිහින් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ නිසා මේ ආහාර මගින් සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය හොඳින් දහනය වුණා. අද බොහෝදෙනා කාර්යාලයක සේවය කරන නිසා කැලරි දහනයවීමක් සිදු වන්නේ ඉතා අඩු මට්ටමින්. ඒ නිසා එවැනි පුද්ගලයන් මේ දියබත් ප්‍රමාණාත්මකව ලබාගත යුතු වෙනවා.