ගෙවී ගිය කාටිලේජ නැවත වර්ධනය කරන දියබෙරලිය මැල්ලුම

health tips

අපේ ගෙවත්තේ වටපිටාවේ ඕනෑ තරම් විවිධ වූ පැළෑටි වර්ග තියෙනවා. අපේ නොදැනුවත්කම නිසාම ඒවා බොහෝමයක් අප අතින් වී විනාශ වෙනවා. මොකද ඒවා හැම එකක්ම වගේ වල්පැළෑටි කියලා හිතන නිසා. නමුත් ඒවායින් ඒ සෑම පැළෑටියක්ම අපේ කුමන හෝ කටයුත්තකට ප්‍රයෝජනවත් වෙනවා. බෝ නොවන රෝග රාශියකින් ආරක්ෂා වෙලා ඉන්නට ඉතාම ගුණදායක වෙන ඔසු පැළෑටි අතරින් දියබෙරලිය සුවිශේෂී ශාකයක්.

ඇතැම්විට ඔබේ ගෙවත්තෙත් ඔබේ වටපිටාවෙත් මේ ශාකය තියෙන්න පුළුවන්. මොකද තණකොළ සහිත ප්‍රදේශවල වෙලේ නියරවල මේ පැලෑටිය ඉතාම හොඳින් වර්ධනය වෙනවා.  දම් පැහැයෙන් යුක්ත කුඩා මලක් හට ගන්නා නිසා මේ ශාකය හඳුනා ගන්නට පහසුයි.   මේ ශාකය ගිරා පලා ශාකයට සමානත්වයක් දැක්වුවත්  එය හඳුනා ගැනීමට අපහසු වෙන්නේ නැහැ. මේ අපූරු ඖෂධීය ශාකය ව්‍යංජනයක් විදිහට, මැල්ලුමක් විදිහට  වගේම කැඳ වශයෙන් පිළියෙල කර ආහාරයට එකතු කරගන්න පුළුවන්.  

දියබෙරලිය ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි 

  • ගෙවීගිය කාටිලේජ වර්ධනය කරන්නට උපකාරී වෙනවා.
  • ඇස්වල පෙනීම වර්ධනය කරමින් ඇස් නිරෝගී කරනවා.
  • වකුගඩු නිරෝගී කරමින් වකුගඩු රෝග දුරුකරනවා.
  • වකුගඩු රෝගවලින් ආරක්ෂා වෙන්නට වගේම වකුගඩු රෝග නිසා පීඩා විඳින රෝගීන්ටත් සහනය සලසා ගන්නට උපකාරී වන ආහාරයක්. 
  • අක්මාවේ මේදය  දිය කරනවා.
  • ඇඟ සිසිල් කරනවා.
  • ආහාර රුචිය වර්ධනය කරනවා.
  • මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝගී වූ අක්මාව යථා තත්ත්වයට පත් කරන්නට උදව් වෙනවා.
  • රුධිරයේ සීනි මට්ටම යහපත්ව පාලනය කරන නිසාවෙන් දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.
  • අමිල පිත්ත රෝගය සුව කිරීමේ ගුණයෙන් සමන්විත වෙනවා.
  • අධි රුධිර පීඩනය පාලනය කරනවා.
  • ආමාශයේ නීරෝගි බවට බෙහෙවින් ඉවහල් වෙනවා.
  • මුත්‍රා  රෝග  සඳහා ඉතාම ගුණදායකයි.
  • දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ඉතාම ගුණදායකයි.
  • මල බද්ධයට ගුණදායකයි.

දියබෙරලිය මැල්ලුම් සාදා ගන්නා ආකාරය 

අවශ්‍ය  ද්‍රව්‍ය  

  • දියබෙරලිය දලු 
  • රතු ළූණු  
  •  අමු මිරිස්
  • කහ 
  • අබ 
  • ගම්මිරිස් කුඩු 
  • පොල්  
  • උම්බලකඩ 
  • ලුණු 

සාදා ගන්නා  ආකාරය සෝදාගත් දියබෙරලිය දළුවල දිය බේරෙන්නට තබා සිහින්ව ලියා ගන්න.එයට ලියාගත් රතු ළූණු,  අමු මිරිස්, කහ කුඩු, ගම්මිරිස්, අබ කුඩු, උම්බලකඩ  කුඩු, ලුණු සහ ගා ගත් පොල් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසු මැටි ඇතිලියක මදගින්නේ මලවා ගැනීමෙන් පසුව රස බලන්න.

අක්මා රෝවලින් පෙලෙන පුද්ගලයන්ට  මේ මැල්ලුම් සකසා ගැනීමේදී ඒවා ඉතාමත් සිහින් වෙන්න ලියා ගැනීම වගේම ලුණු ඉතාම අඩුවෙන් එකතුකර ගැනීමත් පොල් එකතු නොකිරීමත් ඉතාම වැදගත්.  ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.

මේ දිය බෙරලිය ආහාරයට එකතු කර ගැනීමෙන් විතරක් නෙවෙයි විවිධ රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර සඳහාත්  භාවිතයට ගන්නට පුළුවන්. විශේෂයෙන්ම පීඩාකාරී අළුහම් රෝගයෙන් සහනය සලසා ගන්නට  දියබෙරලිය කොළ යුෂ භාවිතයට ගැනෙනවා. තෝර ඇට, තල, අබ, සුවඳ කොට්ටන්, බෝ ඇට පුෂ්කර දුඹුල් දිය බෙරලිය යුෂෙන් අඹරා ආලේප කිරීම සිදු කරනවා ..

ඉතින් දිය බෙර කියන්නේ පයට පෑගුනත් ආහාරයට ගන්නා වගක් නොදන්නා අපූරු ඖෂධීය පැළෑටියක්. සාම්ප්‍රදායිකව ගන්නා පලා කොල මැල්ලුම් වලට වඩා විශාල ගුණයක් මේ පලාව ආහාරයට ගත්තොත් ඔයාට ලබාගන්නට පුළුවන්. ඒ නිසා ගුණයෙන්  ඉතාම අනර්ඝ මේ පැලෑටිය මින් මතුවට නම් ඔබ විනාශ කරන්නට එපා.