මේ මහ පොළව ඔසු උයනක් කිව්වොත් නිවැරදියි. අපි නොදන්නවා වුණාට මේ පොළවේ හට ගන්නා සෑම පෑලෑටියක්ම අපේ කුමන හෝ කටයුත්තකට අවශ්‍ය වෙනවා. බොහෝවෙලාවට අපේ ගෙවත්තේ වෙලේ නියරේ ඉබේ හැදෙන වැඩෙන බොහොමයක් පෑලෑටි වල් පැලෑටි ලෙස සිතුවත් ඒවා බොහෝ ගුණදායි ඔසු පැළ. ඒවා වල් පැලෑටි යැයි සිතා උදලු ගා දමන්නේ එවැනි වටිනා ඖෂධීය පැලෑටි පිළිබඳව ජනතාව තුළ පවතින දැනූමේ හීන බව නිසා. ඉතින් අපි අද ඔබ කතා කරන්නේ ඒ වගේ වටිනා ඖෂධීය ගුණයෙන් සමන්විත පැලෑටියක් වන දියහබරල පිළිබඳව.
වෙලේ නියරවල, තණකොළ සහිත ප්‍රදේශවල මේ ශාකය ඉතාම හොඳින් වර්ධනය වෙනවා. මේ දියබෙරලිය ශාකයේ දම් පැහැයෙන් කුඩා මලක් හට ගන්නවා. ආහාරය පිණිස මේ දියබෙරලිය දලු භාවිතා කරනවා. දියබෙරෙලිය දළු ව්‍යංජනයක් වශයෙන් මැල්ලුමක් වශයෙන් බොහෝ රසවත්ව පිළියෙල කර ගන්නට පුළුවන්. ගුණදායි පලාවක් ලෙස ආහාරයට එකතු කරගත හැකි මේ දියබෙරලිය ලෙඩ රෝග බොහොමයක් සඳහා ද ගුණදායක වෙනවා.
දියබෙරලිය දළු ආහාරයට ගැනීමේ සෞඛ්‍යමය වාසි

- රුධිරයේ සීනි මට්ටම යහපත්ව පාලනය කරන නිසාවෙන් දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.
- අමිල පිත්ත රෝගය සුව කිරීමේ ගුණයෙන් සමන්විත වෙනවා.
- අධි රුධිර පීඩනය පාලනය කරනවා.
- ආමාශයේ නීරෝගි බවට බෙහෙවින් ඉවහල් වෙනවා.
- මුත්‍රා රෝග සඳහා ඉතාම ගුණදායකයි.
- ඇස්වල වේදනාව ඇතුළු රෝග සුවපත් කරනවා.
- දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ඉතාම ගුණදායකයි.
දියබෙරලිය ව්‍යංජනය සාදා ගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු
- දියබෙරලිය දළු
- තුනපහ කුඩු
- කහ කුඩු
- ලියාගත් අමු මිරිස් කරල් 3 ක්
- මිරිස් කුඩු
- උළුහාල් ඇට
- කුරුඳු පොතු කෑල්ලක්
- අබ ඇට තේ හැන්දක්
- දිය කිරි සහ මිටි කිරි අවශ්‍ය ප්‍රමාණයට
- අවශ්‍ය පමණ ලුණු
- පොල්තෙල් මේස හැදි 2 ක්
- සූදුසු තේ හැන්දක්
- වියළි මිරිස් කරල් 2 ක්
- තලාගත් ඉඟුරු සිදු ළූණු
- ලියාගත් බී ළූණු ගෙඩි 2 ක්
සාදා ගන්නා ආකාරය

මුලින්ම දියබෙරලිය දළු හොඳින් සෝදා දිය බේරා ගන්න.
සෝදාගත් පරිප්පුවලට ලුණු, තුනපහ කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු ස්වල්පයක්, කපාගත් අමු මිරිස් කරල් 2 ක්, උළුහාල් ඇට ස්වල්පයක් හා කුරුඳු පොතු කෑල්ලක් ආදිය එකතු කර එයට දියකිරි දමා පිස ගන්න. පරිප්පු හොඳින් තැම්බුණු පසුව එයට සෝදාගත් දියබෙරළිය දළු එකතු කර මිටි කිරි දමා පිස ගන්න.
පසුව බදුනක් ලිප තබා එයට පොල් තෙල් මේස හැදි 2 එකතු කර තෙල් රත්වූ පසු එයට අබ ඇට එකතු කරන්න. අබ ඇට බැදී ගෙන එද්දි සූදුරු තේ හැන්දක් එකතු කර බැද ගන්න. එයටම කෑලිවලට කඩාගත් වියළි මිරිස් කරල් සහ තලාගත් ඉඟුරු සුදු ළූණු ආදියත් එකතු කර එය බැදීගෙන එද්දි ලියාගත් බී ලූණු ටිකත් එයටම එකතු කරගන්න. මේ තෙම්පරාදුව සාදාගත් දිය බෙරලිය ව්‍යංජනයට එකතු කර ගෙන ආහාරයට ගන්න.
දියබෙරලිය මැල්ලුම් සාදා ගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- දියබෙරලිය දලු
- රතු ළූණු
- අමු මිරිස්
- කහ
- අබ
- ගම්මිරිස් කුඩු
- පොල්
- උම්බලකඩ
- ලුණු
සාදා ගන්නා ආකාරය
සෝදාගත් දියබෙරලිය දළුවල දිය බේරෙන්නට තබා සිහින්ව ලියා ගන්න.එයට ලියාගත් රතු ළූණු, අමු මිරිස්, කහ කුඩු, ගම්මිරිස්, අබ කුඩු, උම්බලකඩ කුඩු, ලුණු සහ ගා ගත් පොල් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසු මැටි ඇතිලියක මදගින්නේ මලවා ගැනීමෙන් පසුව රස බලන්න.
ඉතින් නූතන පරපුරෙන් ඈත්ව යන නීරෝගීව ජීවත් වෙන්නට පාර කියන තවත් වටිනා ඔසුවක් තමයි මේ දිය බෙරලිය. සාම්ප්‍රදායික ආහාර රටාවෙන් බැහැරව ඉතාම ගුණදායක අප අවටින් ඉතා පහසුවෙන් සපයා ගන්නට හැකි මෙවැනි ආහාර ඔබේ ආහාරවේලටත් එකතු කර ගන්නට අමතක කරන්නට එපා.