දිය ලබු ආහාරයට ගැනීමෙන් පාලනය කරගත හැකි රෝග 30 ක්

health tips

අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නට එතරම් රුචිකත්වයන් නොදක්වන ආහාර ලැයිස්තුව අතර ලබු කියන්නේ පෙරමුණේ සිටින ආහාරයක්. වතුර වගේ කිසි රසක් නැහැ කියන හේතුව නිසාම අද අපේ ආහාර අතුරින් ලබු බොහෝසෙයින් දුරස් වෙලා. නමුත් වැඩි වශයෙන් ජලය අඩංගු මේ ලබුවල කොතරම් ඉහළ ගුණයක් පවතිනවා ද කියලා බොහෝ අය දන්නේ නැහැ. ඒත් ඉතින් අපේ මුතුන් මිත්තන් ගත්තු ආහාර අතරේ ලබුවලට විශේෂ ස්ථානයක් හිමිව තිබුණා. ඒ නිසා එදා ඉතාමත් නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට ඔවුන්ට අවස්ථාව හිමිවුණා. නමුත් අද කැරට්, අර්තාපල්, බීට් වගේ එළවලු අපේ ආහාරවේලේ මුල්තැන ගෙන සිටිනවා. අද බොහෝ අය ලබු නිකන් දුන්නත් කන්නේ නැහැ. ඉබේ හැදුණොත් මිසක ලබු වාණිජ මට්ටමින් වගා කරනු හෝ දකින්නට නැහැ. බොහෝ අය ලබු සොයා යන්නේ කැඩුම් බිදුම් සඳහා දේශීය ප්‍රතිකර්මයක් සඳහා පමණයි. ඉතින් බොහෝ අයට අමතකව ගිය අපේ මුතුන් මිත්තන්ගේ රසවත් ගුණවත් ආහාරය වන ලබු ගැනයි අද කතාව. 

ලබු සතුව ජලය 92%ක් පමණ අන්තර්ගත නිසාම දිය ලබු විදියටත් හඳුන්වන මේ එළවලුව වෙළපොළේ දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. නමුත් ලබු කියන්නේ වගා කරන්නට අපහසු භෝගයක් නොවෙයි. ඉතා පහසුවෙන් වවාගන්නට පුළුවන් මේ ලබු වැල ගසකට යැවීමයි කළ යුත්තේ. ළා කොළ පැහැයෙන් යුත් මේ දිය ලබු වැලේ පත්‍ර රවුම් හැඩයක් ගනු ලබනවා. තරමක් දිගටි හැඩයක් ගනු ලබන මේ දියලබු තරමක් විශාල නිසා එකල මෙහි පැසුණු මදය ඉවත් කර ජලය දමන්නටත් මී පැණි දමන්නටත් ලබු කටුව භාවිතා කළා.ඒ වගේම ලබු මල්, ඇට වගේම කොළත් දේශීය වෙදකමේ දී ඖෂධ සඳහා වැඩි වශයෙන් භාවිතයට ගනු ලබනවා. මේ දිය ලබුවල යකඩ, කැල්සියම්, පොස්පරස් වගේම විටමින් ආදී පෝෂ්‍ය පාදාර්ථ පවතිනවා. ඒ නිසාම වේද යුගයේ දක්වාම පැරණි එළවලුවක් වන ලබු දේශීය වෙදකමේ අගනා ඔසුවක් ලෙසට භාවිතා වුණා. 

ලබු පොල් කිරි යොදා රසවත් ව්‍යංජනයක් ලෙසට ආහාරයට ගන්නට පුළුවන්. මේ දියලබු ගෙඩි පමණක් නොවෙයි දලු එළකිරිවලින් හෝ පොල් කිරි යොදා තම්බා ආහාරයට ගැනීමත් රසවත් වගේම ගුණවත් ආහාරයක්.චීනය ඉන්දියාව වගේ රටවල ව්‍යංජනය හැරුණාම ලබු සුප් ඉතා ජනප්‍රියයි. ලබු මදය එකතු කර කිරිබත් පිසීම එකල දකින්නට ලැබුණත් අද ලබු කිරිබත් පිසීම දකින්නට නැහැ.රෝග රැසකට ගුණදෙන ලබු යුෂ පානයත් ඉතා ගුණදායකයි.

දිය ලබු පානය ලබු ගෙඩියක ලබු යුෂ අරගෙන එයට දෙහි යුෂ ස්වල්පයක් එකතු කර දිනපතා උදෑසන හිස්බඩ පානය කිරීම ශරීරයට ඉතා ගුණදායක බව ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍ය ක්‍රමයේත් සඳහන් වෙනවා.

ලබු සතු විස්මිත ගුණ 

  • නින්ද නොයන අයට ගුණදායකයි.
  • මව් කිරි වඩවයි.
  • පිපාසය සන්සිදුවයි.
  • ශරිරයට අධික ලෙස දහදිය දැමීමෙන්  ඇතිවන මුත්‍රා  පෙරීම අඩුවීම නිසා ඇතිවන පීඩා වළක්වයි.
  • රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
  • මල බද්ධයට සහනය ගෙන දෙයි.
  • මුත්‍රා ගල් දිය කරයි.
  • වමනය පාචනය වැනි අවස්ථාවල සිරුරේ සජලත්වය රැකදෙයි.
  • අක්මා සෛල අලුත්වැඩියා කරයි.
  • රුධිරය පිරිසිදු කරයි.
  • හෘද රෝග නසයි.
  • කොලෙස්ටරෝල් පාලනය කරයි.
  • ග්‍රීෂ්ම කාලයේදී ශරීරෙන් අධික ලෙස ලවණ පිටවීමට ඉතා කදිම ආහාරයක් ලබු.තදබල පිපාසයකට දිය ලබු යුෂ වීදුරුවකට සීනි දමා පානය කිරීම ගුණදායකයි.
  • තන්තු බහුල ආහාරයක් නිසා අර්ශස් රෝගීන්ට ගුණදායකයි.
  • ඉතා අඩුවෙන් කැලරි අන්තර්ගත නිසා තරබාරුව අඩු කරගන්නට ඉතා කදිමයි.
  • මානසික ආතතිය දුරු කරයි.
  • අමිල පිත්ත රෝගයට ගුණදායකයි.
  • අක්මාව ආශ්‍රිත රෝගවලින් සහනය ලබන්නට ලබු කොළ යුෂ කෂාය ඉතාමත් ගුණදායකයි.
  • ආමාශයේ හටගත් තුවාල සුව කරයි.
  • ස්නායු රෝගවලට ගුණදායකයි.
  • ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරයි.

දිය ලබුවල ඖෂධීය භාවිතයන් 

  • අක්මාව ආශ්‍රිත සියලුම රෝග සඳහා ලබු කොළ මිටක් ගෙන වතුර පත 7 පත 1 ට සිදුවා සීනි ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම ගුණදායකයි.
  • මුත්‍රා  දැවිල්ලට ලබු යුෂ ගෙන එයට දෙහි යුෂ එකතු කර උදෑසන හිස්බඩ පානය කිරීම සුදුසුයි.
  • දිය ලබු ගෙඩිය පමණක් නොවෙයි දිය ලබු කොළ තදබල හිසරදයට හොඳින් අඹරා නළලේ ආලේප කර සුවය ලබා ගන්නට පුළුවන්.
  • දිය ලබු මල් කෂාය කර පානය කිරීමෙන් සර්ප හා ගෝනුෂු විෂ සමනය කරනවා. 
  • බාහිරින් ඇතිවන විසර ගෙඩි සඳහා තම්බා අඹරා ගත් ලබු ඇට ඉතා යෝග්‍යයයි.එය විසර ගෙඩි ඉක්මනින් පුපුරා විෂබීජ ඉවත් කරගන්නට එය උපකාරී වෙනවා. තුවාලය සුව කරගන්නටත් මේ ආලේපය ඉතා සුදුසුයි.
  • හිසකෙස් හැලීම, හිස්කෙස්  පැලිම් ආදී හිසකෙස් ආශ්‍රිත රෝග සඳහා දිනපතා දිය ලබු යුෂ හිස ගැල්වීමෙන් යහපත් ප්‍රතිඵල අත්කර ගත  හැකියි.
  • නින්ද නොයන විට දිය ලබු යුෂ ස්වල්පයක් ගෙන එයට තල් තෙල් ස්වල්පයක් මිශ්‍රකර හිසේ ගා හොඳින් සම්බාහනය කරන්න.
  • මේ දිය ලබු යුෂ නින්දේදී ඇතිවන නහර ආශ්‍රිත ආබාධ, බෙල්ල උළුක්කුවීම සඳහාත් ඉතා ගුණදායකයි.
  • බිඳී ගිය අස්ථි තද වූ විට ඒවා නැවත බුරුල් කරන්නට දියලබු භාවිතා කරනවා. 

සැලකිය යුතුයි.

  • ඖෂධ සඳහා ලබු ගෙඩියක් තෝරා ගැනීමේදී එය භාවිතයට ගැනීමට පෙර කැබැල්ලක් කපා එය තිත්ත රසයෙන් යුක්ත දැයි බලන්න.එය තිත්ත රසය නම් එය කිසිම ඖෂධයක් සඳහා භාවිතා කිරීම සුදුසු නැහැ. එයින් යම් අහිතකර තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්. 
  • දිය ලබු ව්‍යංජනයක් පිසින්නට පෙර වගේම දිය ලබු යුෂ ලබා ගන්නට පෙර ඇට හොඳින් ඉවත් කරගත යුතුයි.දියලබු ඇට සමඟ ආහාරයට ගතහොත් හෝ ඖෂධ පිණිස ලබාගතහොත් වමනය ඔක්කාරය වැනි තත්ත්වයන් ඇති වන්නට පුළුවන්.

අභාවයට යන මහඟු ගුණදෙන් දිය ලබු නිතර නිතර ආහාරයට එකතු කර ගැනීමෙන් අද බොහෝ උදවිය පීඩා විදින ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වෙන්නට පුළුවන්. වැඩි මිලකට රසායනික තෙල් පොහොර නැහැවූ එළවලු ආහාරයට ගන්නවට වඩා අඩු මිලට ඇති ඉහළ පෝෂ්‍යාදායි ආහාරයක් වන ලබු ඔබේ ආහරයට එකතු කරගන්න.