අද වඩාත් තර්ජනාත්මකව පැතිරිලා යන රෝගී තත්ත්වයක් තමයි දියවැඩියාව. වැඩිහිටි පුද්ගලයන් පමණක් නෙවෙයි මේ වෙද්දි දරුවන්, තරුණ තරුණියන් පවා මේ රෝගයට ගොදුරු වෙමින් යාම සැබැවින්ම කනණගාටුවට කාරණයක්. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව, සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාව, ජානමය බලපෑම් ආදී කරුණු කාරණා හේතු කරගෙන මේ දියවැඩියා රෝගී තත්ත්වය ඇතිවෙනවා.
ඉතින් මේ දියවැඩියාව ඇති වුණාම එය සුවපත් කර ගන්නට හරිම අපහසුයි. ඒ නිසා මුළු ජීවිත කාලයම අපිට ආහාර ගැනීමේදී වැඩි සැලකිලිමත් බවකින් යුක්තව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. දිව පිනවන ආහාර තරමක් සීමා කරන්නත් සිද්ධ වෙනවා. දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙකුට වගේම දියවැඩියාව සඳහා වැඩි අවදානමක් ඇති අයෙකුටත් ලබාගත යුතු හිතකර පලතුරු ගැන තමයි අද අපි කතා කරන්නේ.
පලතුරු සමබර ආහාර වේලක කොටසක් විදිහට පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් විදියට ආහාරයට ගත යුතු වුණත් සෑම පලතුරක්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙකුට ලබා ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා දියවැඩියාවට හිතකර පලතුරු ගැනයි අපි අද කතා කරන්නේ.
මොකද දියවැඩියා රෝගය ඇතිවෙන්නට වගේම දියවැඩියා රෝගය උත්සන්න වෙන්නටත් අපි ගන්නා ආහාර පාන වැඩි වශයෙන් හේතු වෙනවා. සීනි,පිටි බහුල ආහාර වගේම අපි අනුභවයට ගන්නා ඇතැම් පලතුරුවලත් සීනි අධික වෙන්නට පුළුවන්. ඒ නිසා දියවැඩියා රෝගීන් රුධිරයේ සීනී වැඩිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් උනන්දුවක් දැක්විය යුතුයි. එබැවින් පලතුරු ආහාරයට ගනිද්දී හිතකර පලතුරු පමණක් තෝරා බේරා ගන්නට ඔබ කටයුතු කරන්නට ඕන. නමුත් පලතුරුවල අඩංගු සීනි වර්ගය සහ චොකලට් ඇතුළු අනිකුත් ආහාරවල අඩංගු වන සීනි වර්ගය අතර වෙනසක් තිබෙන බව ඔබ වටහා ගෙන සිටිය යුතුයි.
දැනටමත් දියවැඩියාවෙන් පීඩා විඳින පුද්ගලයෙක් පලතුරු ආහාරයට ගැනීමේදී ඒවායේ ඇති ග්ලයිසමික් දර්ශකය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. glycemic දර්ශකයෙන් පෙන්නුම් කරන්නේ යම් ආහාරයක් අනුභව කිරීමෙන් පසුව පුද්ගලයකුගේ රුධිරයේ සීනි මට්ටම කොපමණ ප්‍රමාණයකින් වැඩි විය හැකි ද යන්නයි. ආහාරයක ග්ලයිසමික් අගය70-100 අතර තියෙනවා නම් ඒවා දියවැඩියා රෝගීන්ට හිතකර නැහැ. මේ පරාසයේ ඇති ඇතැම් පලතුරු අතරට කොමඩු, අධික ලෙස ඉදුණු කෙසෙල්, අන්නාසි, මිදි ආදිය ඇතුළත් වෙනවා.මෙවැනි ආහාර මධ්‍යස්ථව ගැනීමට කටයුතු කළ යුතුයි.අනෙකුත් බොහෝ පලතුරුවල ග්ලයිසමික් අගය අඩු මට්ටමක පවතින නිසා ඒවා ආහාර එකතු කරගන්නට හැකියාව තියෙනවා.
ඉතින් අපි බලමු දියවැඩියාවට හිතකර පලතුරු මොනවද කියලා
- බ්ලූ බෙරි
දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායක පලතුරු වර්ග අතරින් බ්ලූ බෙරිවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. මේවායේ විටමින් ඛනිජ ලවන වගේම ප්‍රතිඔක්සිකාරකත් බහුලවම අන්තර්ගත වෙනවා. දිනපතාම බ්ලූබෙරි ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් එමගින් හැකියාව ලැබෙනවා අපේ ශරීරයේ ඇති ග්ලූකෝස් දහනය හොඳින් සිදු කරන්නට.

මේ බ්ලු බෙරිවල අඩංගු වෙන සංඝටක ශරීරයේ ස්වාභාවික ඉන්සියුලින් ප්‍රමාණය වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කරන්නටත් මේ දම් පැහැති කුඩා පලතුර උදව් වෙනවා. විශේෂයෙන්ම මේ බෙරි වර්ගයේ පලතුරුවල ග්ලයිසමික් දර්ශකය පවතින්නේ 53 ක වගේ අගයක. ඒ නිසයි මේවා දියවැඩියා රෝගීන්ට හිතකර පලතුරක් වෙන්නේ.
- ලාවළු
මේ පලතුරේ විටමින් a, විටමින් c, පොටෑසියම් ඇතුළු කියන පෝෂය පදාර්ථ බෙහෙවින් අඩංගු වෙනවා. ලාවළුවල ග්ලයිසමික් අගය අඩු මට්ටමක පවතින නිසා එය දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට ඉතාම සුදුසු පලතුරක්.
- දොඩම්
ලාංකීය අපිට ඉතා පහසුවෙන් සපයා ගන්නට හැකි විටමින් සී බහුල පලතුරක් තමයි දොඩම්. දොඩම්වල විටමින් සී හැරුණම අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අන්තර්ගත වෙන නිසා ශරීරයේ සීනි මට්ටම පාලනයට වගේම ශරීරයට හිතකර ප්‍රතිලාභ බොහොමයක් එමගින් ලබා ගන්නටත් හැකියාව ලැබෙනවා. ග්ලයිසමික් අගය අඩු පලතුරක් විදිහට සැලකෙන ගොඩක් මේ දොඩම් සීනි ලුණු එකතු කර යුෂ වශයෙන් සකසා ආහාරයට ගැනීම නම් දියවැඩියා රෝගීන්ට සුදුසු නැහැ.

- ස්ට්‍රෝබෙරි
දියවැඩියා රෝගීන්ට ආහාරයට ගන්නට හැකි තවත් සුදුසුම පලතුරක් තමයි ස්ට්‍රෝබෙරි කියන්නේ. අඩු ග්ලයිසමික් අගය, විටමින් c බහුල බව, ප්‍රතිඔක්සිකාරක සහ තන්තු අඩංගු වීම කියන කාරණා හේතු කරගෙන අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කිරීම ඇතුළු ප්‍රතිලාභ බොහොමයක් ලබා දෙනවා. ඒ වගේම මේ පලතුර අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ශක්තිමත් කරනවා.
- පේර
දියවැඩියා රෝගීන්ට හිතකර පලතුරු අතරේ පේරවලට විශේෂ ස්ථානයක් හිමි වෙන්නේ පේරවල කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතය ඉතා පහළ අගයක පවතින නිසාවෙන්. විටමින් සී බහුල පලතුරක් වන පේරවල යකඩ, පොටෑසියම් ඇතුළු ඛනිජ ලවණ බොහෝ ප්‍රමාණයක් අඩංගු වෙන නිසා එය අපේ ශරීරයේ නිරෝගීභාවයට විශාල දායකත්වයක් ලබා දෙනවා.
- නෙල්ලි
සතියකට කිහිප වරක් නෙල්ලි යුෂ පානය කිරීම මගින් හෝ දවසකට නෙල්ලි ගෙඩි 5ක් පමණ ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය යහපත් මට්ටමකට අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. නෙල්ලිවල පොටෑසියම් සැලකිය යුතු මට්ටමෙන් අඩංගු වෙන නිසා එය රුධිර සංසරණ ආතතිය අඩු කිරිමටත් උදව් වෙනවා. ඒ වගේම ධමනි සිහින් වීමේ රෝග තත්ත්වයන් නැති කරමින් හදවතේ සෞඛ්‍යයත් නිරෝගී කරනවා. අංශභාගය වැළඳීමට ඇති අවදානමත් අඩු කරනවා.
- මාදං
රක්තහීනතාවෙන් පෙළෙන අයට ඉතාම ගුණදායක පළතුරක් වන මේ මාදංවලට සුවිශේෂී හැකියාවක් තියෙනවා රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය ඉතා ඉක්මනින් පහත හෙලන්නට. ඒ වගේම පිළිකා රෝගවලට එරෙහිව සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක් සතු මාදං ඇදුම රෝගීන්ටත් ගුණදායකයි.
- කාමරංකා
තන්තු බහුල, පොටැසියම් බහුල ආහාරයක් වන කාමරංකා දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට අතිශයින් ගුණදායක පලතුරක්. විශේෂයෙන්ම ශරීරයට සීනි අවශෝෂණය කිරීමේ හැකියාව අඩු කරන්නට මේ පලතුරට හැකියාව තියෙනවා. ඒ හැරුණාම කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව තබා ගැනීමට , හදවත් රෝගවලින් ආරක්ෂා වෙන්නටත් මේ කාමරංගා පලතුර සුවිශේෂීයි. නමුත් කාමරංකා අධික ලෙස ආහාරයට එකතු කර ගැනීම සහ එය නිසි පරිදි පිරිසුදු කර නොගෙන ඒවායේ දාර ඉවත් නොකර ආහාරයට ගත්තොත් ශරීරයට අහිතකර ප්‍රතිලාභ වුණත් ගෙන දෙන්නට හැකියාව තියෙන පලතුරක් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.
- බෙලි
- නමිනං
- වෙරළු
- දිවුල්
- ඇඹරැල්ලා
- අලිගැට පේර
දියවැඩියාව සඳහා ඖෂධ ලබා ගන්නා රෝගියෙක් නම් මෙවැනි පලතුරු ආහාරයට එකතු කර ගැනීමේදී ඔබේ රුධිරගත සීනි මට්ටම පිළිබඳව අවධානයෙන් පසු වීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.