නිකමටවත් මුහුණේ ආලේප නොකළ යුතු දේවල් 5 ක්

health tips

අපි හැමෝම ලස්සනට ඉන්නට කැමතියි. ඒ නිසාම බොහෝ අවස්ථාවල තමන්ගේ මුහුණේ පැහැය වැඩිකර ගන්නට අවපැහැය දුරුකර ගන්නට කුරූලෑ නැතිකරගන්නට ආදී බොහොමයක්  ගැටළු සඳහා නොයෙකුත් දේවල් මුහුණේ ආලේප කරනවා. ඒවා ඇතැම්විට ඒ සම්බන්ධව දැනුමක් ඇති අයගෙකුගේ කිසිදු නිර්දේශයක් නොමැතිව හිතුමතේට යම් යම් දේවල් මුහුණේ ආලේප කරනවා. ඒ වගේ අවස්ථාවක අපේ මුහුණේ සමට හානිදායක බලපෑම් ඇතිවෙන්නට තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා අතට අහුවෙන ඕනම දෙයක් ලෙහෙසිය පහසුව සහ ලාභය ගැන පමණක් සිතා  විවිධ දේ ආලේප කරනවා. ඉතින් බොහෝදෙනෙක් එවැනි හානිදායක දේවල් මුහුණේ ගල්වන්නට පෙළඹී ඇති නිසාම අද  ඔබ සමඟ කතා කරන්නේ ඒ කාරණාවන් පිළිබඳව.

දත් බෙහෙත් (tooth paste) බොහෝදෙනෙක් මුහුණේ ඇතිවන කුරුලෑ, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ආදිය ඉවත් කර ගන්නට ඉතා සාර්ථක සහ පහසු ක්‍රමයක් විදියට මේ දත් බෙහෙත් භාවිතා  කරනවා. මේ ටූත් පේස්ට්වල බහුලවම අඩංගු වෙන්නේ කැල්සියම් කාබනේට් කියන සංයෝගය. මේ කැල්සියම් කාබනේට් කියන්නේ  හුණු ගල්. මේ වගේ දෙයක් අපේ දත් පිරිසිදු කරන්නට සුදුසු වුණත්  මුහුණේ සම ආදී  ඉතාම සියුම් ස්ථානයක් පිරිසිදු කරගන්නට භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.අපේ මුහුණේ සමේ PH අගය සාමාන්‍යයෙන් 5.5 ක් වගේ වෙනවා.නමුත් මේ දත් බෙහෙත්වල සාමාන්‍ය PH අගය 8 ක අගයක් ගන්නවා. මෙවැනි PH අගය 8 වගේ ඇති භාෂ්මික ද්‍රව්‍යයක්  මුහුණේ සමේ ආලේප කිරීමෙන් සමට හානි  සිදුවෙනවා. සමේ අභ්‍යන්තර ස්ථරවලට පවා මෙයින් හානි ඇති වන්නට පුළුවන්. ඒ නිසා  මුහුණට ආලේප නොකළ යුතුම දෙයක් තමයි මේ  ටූත් පේස්ට් කියන්නේ.

බේකින් සෝඩා බේකින් සෝඩා කියන්නේ සෝඩියම් බයිකාබනේට්වලට.ආප්ප සෝඩා වගේම බේකින් සෝඩා කියන්නෙත් එකම ද්‍රව්‍යයකට. නිවසේදී  බොහෝදෙනා සිදුකරන සත්කාර සඳහා මේ බේකින් සෝඩා වැඩි වශයෙන් භාවිතා කිරීම දැක ගන්නට පුළුවන්.බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරගත්  මුහුණේ අඳුරු බව අඩුකර ගන්නට මේ බේකින් සෝඩා භාවිතය ගැන වැඩි වැඩියෙන් කතාබහ  වෙනවා. නමුත්  මෙය මුහුණට ආලේප කිරීම කෙසේවත් සුදුසු නැහැ. මේ බයිකාබනේට් කියන සංයෝගය භාෂ්මික සංයෝගයක්  නිසා එය මුහුණේ සම මත  ආලේප කිරීම නිසා සමේ PH අගය වෙනස් වෙලා  අපේ සමට  හානි සිදු වෙනවා. විශේෂයෙන්ම මෙය සමට භාවිතයේදී සමේ දැවිල්ලක්, කසන සුළු ස්වභාවයක් පවා ඇති වෙනවා.  එයට හේතුව එය සමට නොගැළපීමයි. ඒ නිසා එවැනි දේවල් මුහුණට ආලේප කිරීම කෙසේවත් අනුමත කරන්නට බැහැ.

සබන් ශරීරයේ වෙනත් ස්ථානවලට සබන් භාවිතා කළත් මුහුණට සබන් භාවිතා කිරීම කෙසේත් සුදුසු වෙන්නේ නැහැ. සබන්වල බහුලවම අන්තර්ගත  වෙන්නේ  මේද  අම්ලවල ලවන සහ  සෝඩියම් හයිඩ්රොක්සයිඩ්. සබන්වල PH අගය 8 ක් 9 ක්  වගේ ඉතාමත් භාෂ්මික අගයක් ගනු ලබනවා. අපේ සමේ PH අගය 5.5 ක් වගේ නිසා මේ සබන් ආලේප කිරීම කොහෙත්ම සුදුසු නැහැ.සබන් ආලේපයෙන් සෝඩියම් හයිඩ්රොක්සයිඩ්වල ඇති අධික PH අගය නිසා සමේ  Ph අගය වෙනස් වෙනවා. ඒ වගේම මෙහි ඇති සේදුම්කාරක ස්වභාවය නිසා  පැවතිය යුතු තෙල් ප්‍රමාණයත් සමෙන් ඉවත්ව යනවා. මේ නිසා  සම් වියළී සම රැළි වැටීම ඉක්මන් වෙනවා.ඇතැම්විට බේබි සබන්වල PH අගය 5.5 ක අගයක් ගන්නවා. නමුත් මුහුණ සඳහා වඩාත් සුදුසු වෙන්නේ PH අගය 5.5 ක අගයක් සහිත ෆේෂ් වොශ් එකක් භාවිතා කිරීම.

බොඩි ලෝෂන්  මුහුණේ සීබම් නිෂ්පාදනය කරන ග්‍රන්ථි බොහොමයක් පිහිටා තිබුණත් සිරුරේ අනෙක් ප්‍රදේශවල ඒ සීබම් නිපදවන ග්‍රන්ථි අඩුවෙන් තමයි පිහිටා තියෙන්නේ. බොඩි ලෝෂන් නිෂ්පාදනය වෙන්නේ සීබම් ග්‍රන්ථි අඩු ප්‍රදේශවලට ගැළපෙන ආකාරයට නිසා එය මුහුණේ ආලේප කළොත් එයින් සීබම් නිපදවෙන ග්‍රන්ථි අවහිරවීමක් සිදු වෙනවා. ඒ නිසා සමේ  නිපදවෙන තෙල් පිටතට පැමිණීමට නොහැකි වෙනවා.මේවා ශරීරයෙන් ඉවත් කරන්නට අවශ්‍ය  නිසා ඒ සිදුරුවල විශාලත්වය වැඩි කරලා මේ දේවල් සමෙන් ඉවත් කරනවා.ඒ නිසා මුහුණේ සිදුරු විශාල  වෙන්නට පුළුවන්. ඒ නිසා බොඩි ලෝෂන් එකක් කිසිවිටෙක මුහුණේ ආලේප නොකළ යුතුයි.

දෙහි හෝ ලෙමන් දෙහි හෝ ලෙමන් යුෂ සමට හිතකර වුණත් එය ඍජුවම සමට ආලේප කිරිම සුදුසු වෙන්නේ නැහැ. ලෙමන්වල PH අගය 2-3 ක අගයක් ගන්නවා. ඒ කියන්නේ මේවා අධික ආම්ලික බවින් යුක්තයි. නමුත් අපේ සමේ PH අගය 5.5 ක් පමණ වන නිසා දෙහි හෝ ලෙමන් ඍජුවම මුහුණට ආලේප කිරීමෙන් සම පිළිස්සී යන්නට හැකියාව තියෙනවා. ඒ වගේම බැක්ටීරියා දිලීර පවා අපේ ගමේ වර්ධනය වෙලා කුරුලෑ ඇති කරන්නටත් මෙය හේතුවක් වෙනවා. සම අධිකව සංවේදී වීමත් මේ නිසා සිදුවෙන තවත් අහිතකර තත්ත්වයක්. මේ නිසා දෙගි හෝ එම  යුෂ අඩු සාන්ද්‍රණයකින් වෙනත් අමුද්‍රව්‍ය සමඟ මිශ්‍රකර භාවිතා කිරීම තමයි සුදුසු වෙන්නේ.

ඉතින් අපි නොදැනුවත්වම සිදු කරන මේ වැරදි ඔබේ මුහුණ අවලස්සන කරන්නට තරුණ පෙනුම නැති කරන්නට ඇතුළු විවිධ අහිතකර බලපෑම්  ඇති කරන්නට හේතුවෙන නිසා  ඒවායින් වැළකී මුහුණේ සමට ගැළපෙන ආකාරයේ දේවල් පමණක් මුහුණට භාවිතා කරන්නට වගබලා ගන්න.