සිරුරේ නරක කොලෙස්ටරෝල් මට්ටම ඉවත් කරන ඩ්‍රැගන් ෆෘට් සතු ගුණ 10 ක්

health tips

Cactacea ශාක කුලයට අයත් වන ඩ්‍රැගන් ෆෘට් ’21 වන සියවසේ පලතුර’ යන් අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙනවා.මෙම ශාකයේ සම්භවය සිදුවී ඇත්තේ මධ්‍යම හා දකුණු ඇමෙරිකානු ප්‍රදේශ වල බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ මුල් කාලීනව එතරම් ජනප්‍රිය පලතුරක් නොවුණ ද කල් යත්ම මේවා ඉහළ වටිනාකමක් ඇති පලතුරු වගාවක් ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඩ්‍රැගන් ෆෘට් ඉදුණු පසු ආහාරයට ගනියි. කෙසේවෙතත් ප්‍රභේදය අනුව ඒවා පැණි රස හෝ ඇඹුල් ද විය හැකියි.ඩ්‍රැගන් ෆෘට් වලින් ජෙලි,ජෑම්,පලතුරු යුෂ සහ අයිස් ක්‍රීම් ආදි නිෂ්පාදන වර්ග ද සකසයි.

ඩ්‍රැගන් ෆෘට් සෞඛ්‍යමය වාසි ඇති පලතුරු ලැයිස්තුවේ ඉහළින්ම සිටින පලතුරක්.ප්‍රතිඔක්සිකාරක,විටමින් සී, මේද අම්ල,පොස්පරස්,ද්‍රාව්‍ය තන්තු,කැල්සියම්,යකඩ,ශාක ස්ටෙරෝල්,ප්‍රෝටින්,කැරටීන් සහ විටමින් වර්ග ද මේවායේ අඩංගුයි.80%ක් පමණ ඇත්තේ ජලය නිසා සිරුර සජලනය කරන ආහාරයක් ද වේ.

සතියකට එක් වරක් ඩ්‍රැගන් ෆෘට් ආහාරයට ගැනීමට පුරුදු වීමෙන් ඔබේ සිරුරට ලැබිය හැකි අපූරු සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්න සූදානම.

ඩ්‍රැගන් ෆෘට් හෘදයට හිතකරයි ඩ්‍රැගන් ෆෘට්  හෘද ගැටලු වර්ධනය වීමේ ඉඩකඩ අවම කිරීමට සහය දෙන බව අධ්‍යයන වල සඳහන් වේ. නරක කොලෙස්ටරෝල් මට්ටම් අඩුකිරීමට ඒවාට ඇති හැකියාව ඊට හේතුවයි.එමෙන්ම හිතකර කොලෙස්ටරෝල් මට්ටම් වැඩිකරවයි.හෘදයේ ඇති පටක වල නීරෝගි බව ආරක්ෂා කරයි.මින් රුධිර පීඩනය අඩුවීමට සහය ලබාදේ.ඩ්‍රැගන් ෆෘට් වල ඇත්තේ ඒක අසංතෘප්ත මේදයි.මේවා හෘද සෞඛ්‍යයට ඉතා හිතකරයි.

ප්‍රතිඔක්සිකාරක බහුලයි ෆ්ලැවනොයිඩ,බීටලේන්ස් සහ හයිඩ්‍රොක්සිනමේට් ආදි සක්‍රීය ප්‍රතිඔක්සිකාරක ඩ්‍රැගන් ෆෘට් වල අඩංගුයි. මේවා සිරුරේ නීරෝගී පැවැත්මට ඉතා වැදගත්.නිතිපතා ආහාරයට එක්කරගැනීමෙන් හානිකර මුක්තකණ්ඩ වලින් සිරුරේ සෛල වලට හානිවීම වැළැක්වීමට හොඳ සහයක් ලබාදේ.මෙම හානි පිළිකා වැනි මාරාන්තික රෝගාබාධ වලට තුඬු දිය හැකිය.

ජීර්ණ පද්ධතියට සහය වේ ජීර්ණ පද්ධතියේ යම් යම් ගැටලු මලබද්ධය වැනි ගැටලු මතුකළ හැකියි.ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමේ හැකියාව ඩ්‍රැගන් ෆෘට් වල පවතියි.ආහාර ජීර්ණය වීම වඩාත් පහසු කරවයි.ජීර්ණ ගැටලු හා මලබද්ධයට ඩ්‍රැගන් ෆෘට් ගුණදායි ආහාරයක්. ඩ්‍රැගන් ෆෘට් වල ඇති ඔලිගොසැකරයිඩ් නම් කාබෝහයිඩ්‍රේට විශේෂය මඟින් ජීර්ණ පද්ධතියේ හිතකර බැක්ටීරියා වර්ධනය වැඩිදියුණු කිරීම මඟින් ආහාර ජීර්ණයට සහය වීම මීට හේතුවයි. තන්තු ද අඩංගු නිසා මලපහ වීම ද ක්‍රමවත් වේ. උදෑසන කාලයේදි ඩ්‍රැගන් ෆෘට් කැබලි කෝප්පයක් ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේවි.

ගැබිණි මවුවරුන්ට ද ගුණදායකයි ගැබිණි මවුවරුන් තමන්ගේ ආහාර පාන රටාව ගැන විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතුයි. සමබල පෝෂණයක් සහිත ආහාර වේල් ලබාගත යුතුයි.යකඩ,විටමින් බී සහ ෆෝලේට් වැනි පෝෂක වර්ග අනිවාර්යෙන්ම අඩංගු විය යුතුයි.මෙම පෝෂක ගැබිණි සමයේදි මවගේ ශරීර ශක්තිය වර්ධනය වීමට හා උපත් සංකූලතා වැළැක්වීමට සහය වෙයි.ඩ්‍රැගන් ෆෘට් වල මෙම පෝෂක ඉතා හොඳින් අන්තර්ගතයි.කළලයේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් ද මේවායේ අඩංගුයි.

අස්ථි වල නීරෝගි කරයි ඩ්‍රැගන් ෆෘට් අවුන්ස 3ක දිනකට නිර්දේශිත මැග්නීසියම් ප්‍රමාණයෙන් 10%ක් අඩංගු වේ.මෙම පෝෂකය ඔබේ අස්ථි වලට ඉතා වැදගත් ය.විශේෂයෙන්ම ඒවා මඟින් අස්ථි ශක්තිමත් කරවයි.වයසට යන විට අපේ අස්ථි දුර්වල වීමට පටන්ගන්නා බව ඔබ දන්නවා.අස්ථි වල නීරෝගි පැවැත්ම සඳහා එදිනෙදා ආහාර වේලට මැග්නීසියම් බහුලා ආහාර පාන ද එක්කරගැනීම වැදගත් වන්නේ ඒ නිසයි.ඩ්‍රැගන් ෆෘට් ඊට හොඳ උදාහරණයක්. පලතුරු කැබලි ලෙස හෝ ස්මූති එකක් ලෙස සකසා පරිභෝජනය කරන්න.

සම දීප්තිමත් හා නීරෝගි කරයි සම රළු හා වියළි ස්වභාවයක් ගැනීම ඔබේ මුහුණේ සුන්දරත්වය අඩුකරවයි.වයසට යන විට සමේ මෙවැනි විවිධ වෙනස්කම් ඇතිවේ.බාහිර රූපලාවණ්‍ය සත්කාර ක්‍රම වලින් පමණක් ඔබේ සමේ නීරෝගි බව ‍රැකගැනීමට නොහැකියි. ඒ සඳහා හොඳ අභ්‍යන්තර පෝෂණයක් ද සිරුරට ලබාගත යුතුයි.ඩ්‍රැගන් ෆෘට් සම නීරෝගී කරවන පෝෂක ‍රැසක් අඩංගු එවැනි ආහාරයක්.ප්‍රතිඔක්සිකාරක බහුල පලතුරක් නිසා සම වියපත් වීම පාලනය කර සමේ නීරෝගී දීප්තිය වැඩිකරවයි.විටමින් බී3 පෝෂක මඟින් හිරු කිරණින් සමට වූ හානි සුවපත් කරවයි.එමෙන්ම අහිතකර හිරු කිරණින් සමේ ඇතිවන කැසිල්ල හා ප්‍රදාහයට ක්ෂණික සහනය සලසයි. ඩ්‍රැගන් ෆෘට් වල ඇති විටමින් සී පෝෂක කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමට හා සමේ පැහැය දීප්තිමත් කිරීමට සහය වේ.

ආතරයිටිස් රෝග ලක්ෂණ දුරුකරවයි ආතරයිටිස් යනු සන්ධි හා අස්ථි බන්ධන වලට සෘජුවම බලපෑම් ඇතිකරවන ඉතා පීඩාකාරී රෝගයක්.අතපය සෙලවීමට අපහසු වේ.සන්ධි ආශ්‍රිත වේදනාව හා කැක්කුම නිතර ඇතිවේ.ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා ඩ්‍රැගන් ෆෘට් මෙම රෝගයට ගුණදායි පලතුරකි.සන්ධි ආශ්‍රිත ප්‍රදාහය අඩුකර කැක්කුම් වේදනාවන්ට සහනය සලසයි. නිදන්ගත වේදනා අපහසුතා සමනය කරන වේදනානාශක ගුණාංග ද ඩ්‍රැගන් ෆෘට් වල අඩංගුයි.

පරිවෘත්තිය වැඩිදියුණු කරවයි නීරෝගිබව හා කායික සුවතාව සඳහා සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය නීරෝගීව සිදුවීම ඉතා වැදගත්.සිරුරට අවශ්‍ය පෝෂක උරාගනිමින් ආහාර පාන වලින් සිරුරට ලැබෙන කැලරි හොඳින් දහනය කිරීමේ හැකියාව සිරුරට තිබිය යුතුයි.සිරුරේ මෙම පරිවෘත්තිය ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරගැනීමට උපකාරී වන ක්‍රම ගණනාවක්ම තිබෙයි. ඒ අතරින් පරිවෘත්තිය වඩවන ආහාර පාන පරිභෝජනය හොඳ ක්‍රමයක්.ඩ්‍රැගන් ෆෘට් වල අඩංගු පෝෂක සිරුරේ මෙම ක්‍රියාවලියට වඩාත් හොඳින් සහය වේ.

සිරුරේ ක්‍රියාකාරීත්වයට වැදගත් ප්‍රෝටීන් මේවායේ අඩංගුයි. සිරුරේ ඇති එන්සයිම මඟින් ප්‍රෝටීන් පරිවෘත්තියට ලක්කර,සිරුරේ ශක්තිය වැඩිකිරීමට සෛල අළුත්වැඩියා වීමට,පේශි ස්කන්ධය වැඩිවීමට හා පරිවෘත්තිය වැඩිදියුණු කිරීමට සහය වන ආකාරයකට පරිවර්තනය කරවයි. නීරෝගි පරිවෘත්තිය ක්‍රියාවලියක් පැවතීම සිරුරේ බර වැඩිවීම පාලනය කර සිරුර හැඩය ‍රැකගැනීමට සහය දේ. කොලෙස්ටරෝල් අඩු හා තන්තු බහුල අන්තර්ගතය නිසා ඩ්‍රැගන් ෆෘට් බර අඩුකරගැනීමට සහය වෙන ආහාර වලට හොඳ උදාහරණයක් ද වේ.

දියවැඩියාව පාලනය කරගැනීමට සහය වේ දියවැඩියා අවදානම උත්සන්න වීම වළක්වාගැනීමට නම් එම තත්වය නිසි ලෙස පාලනය කරගැනීම ඉතා වැදගත්.කාලයක් තිස්සේ ඩ්‍රැගන් ෆෘට් ආහාරයට ගැනීම දියවැඩියා අවදානම අඩුකරවන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදේ. මීට හේතුව ඩ්‍රැගන් ෆෘට් මඟින් රුධිරයේ සීනි මට්ටම් හොඳින් පාලනය කිරීමයි.අග්න්‍යශයේ හානි වූ සෛල අලුත්වැඩියා කිරීම හා ඉන්සියුලින් නිපදවීමට ඉඩ සලසා දීම සිදුකරයි.සීනි අණු බිඳ දැමීමට (ජීර්ණය වීමට) සිරුරට සහය වන්නේ ඉන්සියුලින් හෝර්මෝනයි.සතියකට දෙවරක් පමණ ඩ්‍රැගන් ෆෘට් ආහාරයට එක්කරගැනීමට පුරුදුවන්න.තන්තු හා ක්ෂුද්‍රපෝෂක බහුල නිසා ජීර්ණ ක්‍රියාවලියට මෙන්ම රුධිර සීනි මට්ටම් සාමාන්‍ය අතට පත්කිරීමට ද සහය වේ.

කෙස්කලඹ නිරෝගි කරයි නීරෝගී හා දිදුලන කෙස්කලඹකට ඩ්‍රැගන් ෆෘට් ඉතා හිතකර ආහාරයක්. එහි අඩංගු පෝෂක මඟින් හිසේ කූප විවෘත කර හොඳින් වාතය ලැබීමට සලස්වයි.මින් කෙස්ගස් මෘදු වීමට සහය ලැබේ.වර්ණ ගැන්වූ හිසකෙස් හානි නොවී ආරක්ෂ කරගැනීමට ද මේවා ප්‍රයෝජනවත්.ඩ්‍රැගන් ෆෘට් යුෂ ලෙස සකසා කෙස්කලඹේ ආලේප කරන්න.මෙම කන්ඩිෂනර් සත්කාරයෙන් පසු මද වෙලාවකින් කෙස්කලඹ සෝදා පිරිසිදු කරගන්න. ඩ්‍රැගන් ෆෘට් වල අඩංගු පෝෂක කෙස්කලඹේ පිරිපුන් බව හා දීප්තිය යථා තත්වයට පත්කිරීමට සහය වේ.