හිසකෙස් හැලීයාම කෙස්කලඹ ආශ්රිත බහුල ගැටලු අතරින් එකක්. හිසකෙස් වල ශක්තිමත් හා දීප්තිමත් බව පුද්ගලයාගේ සෞඛ්‍ය සම්පන්න බව පෙන්නුම් කරන ශරීර සංඥාවක් ලෙස හඳුන්වයි.හිසකෙස් හැලීයාම මනසට වදයක් තරමට ගැටලුවක් වූ පිරිස් අප අතරේ ඕනෑ තරම්.දවසකට කෙස්ගස් 100ක් පමණ හැලීයාම සාමාන්‍ය දෙයක් බවත් එය වදවීමට හේතුවක් නොවන බවත් මතක් කළ යුතුයි. කෙසේවෙතත් මෑතකදී සිට ඔබේ කෙස්කලඹේ ඝනකම් බව කැපී පෙනෙන ලෙස අඩු වී ගොස් ඇත්නම්, කෙස්කලඹ පීරන සෑම විටම අහුරු පිටින් අධිකව හිසකෙස් ගැලවී යයි නම්, හිසේ තැනින් තැන තට්ටය පෑදී ඇත්නම් මේ ගැන නොසලකා හැර සිටීම කිසිසේත්ම නුවණට හුරු නැහැ. එවැනි ගැටලු අත්දකිනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වඩාත් සුදුසුයි.
අධිකව හිසකෙස් හැලීයාමට විවිධ හේතු බලපෑ හැකියි. අධික ආතතිය, ඇතැම් බරපතල රෝග තත්වයන් (තයිරොයිඩ් ආශ්රිත ගැටලු, පිළිකා රෝග ,හිස මුඩුවීමේ රෝග,හිසේ දිලීර ආසාදන වැනි…), පෝෂණ ඌනතා, ජානමය තත්වයන් ආදි හේතු වලට අමතරව අප අනුගමනය කරන ඇතැම් වැරදි පුරුදු ද හිසකෙස් හැලීයාමේ අවදානම ඇතිකළ හැකියි.
හිසකෙස් හැලීයාමට බලපෑ හැකි ආකාරයේ වැරදි පුරුදු මොනවාද? අද අපි කතා කරන්නේ එවැනි අහිතකර පුරුදු කිහිපයක් ගැනයි. ඉතින්, ඔබත් මෙවැනි වැරදි කරනවා නම් ඒවායින් වැළකී සිටීමට උත්සහ කරන්න.

තදින් කෙස්කලඹ ගැට ගැසීම වඩාත් හිරට ‘පෝනි ටේල්’, ‘කොණ්ඩ කරල් ගෙතීම’ හෝ ‘බන් හෙවත් ගුලියක් ලෙස ගැටගැසීම’ වැනි ක්‍රම කෙස්කලඹට හානිකරයි.මෙසේ හිරට කොණ්ඩා විලාසිතා කිරීමෙන් කෙස්ගස් මුල් වලට දැඩි පීඩනයක් එල්ලවෙයි.එම බලපෑමින් ස්‍යුනිකා (follicles) හානි වී වඩාත් දුර්වල තත්වයකට පත්වී යයි. මෙය හිසකෙස් ගැලවී යාමට තුඬු දෙයි.හිසකෙස් හැලීයාම නළල ආශ්රිත හිසකෙස් සීමාවෙන් ඇරඹේ. බොහෝ විට නළලට ඉහළ ප්‍රදේශයේ හිසකෙස් අඩු වී තට්ටය ලෙස මතුවීම සිදුවන්නේ මේ නිසයි.තදින් කොණ්ඩය ගැටගසන පුද්ගලයින් අතර මේ තත්වය වඩාත් බහුලව දැකිය හැකියි.කෙස්කලඹ තදින් ගැටගැසීම හෝ වෙනත් ක්‍රම වලට හිරට මෝස්තර දැමීමෙන් වළකින්න. හෙයාර් ක්ලිප් හෝ හෙයාර් බෑන්ඩ් වැනි දෙයක් භාවිත කිරීම වඩාත් සුවපහසු විය හැකියි.තද නැති ක්‍රමයකට කෙස්කලඹ ගැටගැසීම කළ හැකියි.
සුදු කෙස්ගස් ගැලවීමට යාම සුදු කෙස්ගස් දකින වාරයක් පාසා ඒවා ගලවා දැමීමට ඇතැම් අය උත්සහ කරනවා. මෙය ඇත්තෙන්ම නරක පුරුද්දක්.ඊට හේතුව මේ පුරුද්ද හිසකෙස් මුල් (බල්බයක් ලෙස පිහිටා ඇති කොටසට) දැඩි ලෙස හානි ඇතිකිරීමයි.එසේ වූ විට කෙස්ගස් නීරෝගීව හා ශක්තිමත්ව නැවත වර්ධනය වීමට ඉඩක් නොලැබී යයි.බොහෝ විට හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය නොවෙයි.අකලට හිසකෙස් සුදු වීමට පටන්ගැනීම නිසා ඇතැම් අය ඩයි සහ කෙමිකල් කලරිං වැනි ක්‍රම වලට යොමුවෙනවා.මේවා හිසකෙස් වලට වඩාත් රළු හා හානිකර බලපෑම් ඇතිකළ හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි. හිසකෙස් සුදුවීම ස්වභාවික හා කාටත් පොදු තත්වයක් ලෙස අවබෝධ කරගැනීම වඩාත් වැදගත්. වර්තමානයේ සුදු හිසකෙස් එලෙසම පවත්වාගැනීම ඇතැම් පිරිස් අතරේ විලාසිතාවක් බවටත් පත් වී ඇති ආකාරය ද දකින්නට පුළුවන්.
කොණ්ඩයට වදවීම නතර කරන්න, නිතර කෙස්කලඹ ඇල්ලීම, ගැසීම, ඇදීම, රෝල් කිරීම, ඇඹරීම වැනි ක්‍රියාකාරකම් නිසා කෙස්කලඹේ ශක්තිමත් බවට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව පෙන්වාදෙයි.කෙස්කලඹ එක්ක සෙල්ලම් කරන එක හැකිතාක් නතර කරගන්න.පුරුද්දකට මෙන් එසේ කරනවා නම් ආයාසයෙන්ම ඔබව නවත්වාගන්න උත්සහ කරන්න. නිතර හිසකෙස් පිරිමැදෙන විට ඒවා කැඩීයාමට ඇති ඉඩකඩ වැඩිවෙයි.
හිස මෘදුව පීරන්න හිසකෙස් වැරෙන් පීරීම නොකළ යුතුයි.ඔබ හිස පීරන ආකාරය කෙස්කලඹේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව ආරක්ෂා වීම කෙරෙහි විශේෂයෙන් බලපායි.විශේෂයෙන්ම, ඔබ ඉතා රළු ලෙස පනාව ඉහළ පහළ යවමින් ගැට සහිත හිසකෙස් පීරන විට කෙස්ගස් ගැලවී යාම ද වැඩිවෙයි.එම නිසා මුළින්ම ගැට ලිහා ගැනීම කළ යුතුයි. කෙස්කලඹේ පහළ අග කොටස් සෙමින් ඇඟිලි තුඬු වලින් ගැට ලිහන්න. පසුව පනාවකින් පීරන්න. දැන්, ඊට මදක් ඉහළ සිට පහළට කෙස්කලඹේ ගැට ඉවත් කරන්න. පනාවෙන් පීරන්න. මේ ආකාරයට ක්‍රමයෙන් පහළ සිට ඉහළට ගැට කඩා ඉවත් කර පනාවෙන් මෘදුව හිස පීරාගන්න. මෙය කලබලයෙන් හෝ ආවේගයෙන් නොකළ යුතුයි. එවිට හිසකෙස් ගුලි පිටින් ගැලවී යාමට ඇති ඉඩකඩ වැඩියි. පළල් දත් සහිත පනාවක් හෝ බුරුසුවක් තෝරාගන්න.
හිස්කබල කසනසුලු බව නිසා තදින් හිස කැසීම මේ තත්වය ද හිසකෙස් ගැලවීයාමට බලපෑ හැකියි.වැරෙන් හිස්කබල කසන විට හිසකෙස් මුල් වලට හානිවිය හැකියි.ඉස් හොරි, දිලීර ආසාදන, ආසාත්මිකතා, හිස්කබලේ ප්‍රදාහය තත්වයන්,උකුණන් බෝවී සිටීම, හිස්කබල අධික ලෙස වියළීම,රළු රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් හිස තුවාල වී තිබීම වැනි හේතු හිස කැසීමට හේතුවිය හැකියි.මෙවැනි ගැටලු වලට ප්‍රතිකාර ලැබීම වඩාත් සුදුසුයි.හිස්කබල පිරිසිදුව පවත්වාගැනීම ද ඉතා වැදගත්.
කෙස්කලඹේ නීරෝගීබව රැකගැනීමට:

- සතියකට 2-3 වරක් ස්නානය කරන්න.හිස සේදීමට මද උණුසුම් වතුර හෝ සිසිල් හෝ සාමාන්‍ය වතුර භාවිත කරන්න. උණු වතුරෙන් හිස සේදීමෙන් වළකින්න.
- හිස තදින් අතුල්ලමින් පිරිසිදු නොකළ යුතුයි. ඊට හේතුව හිසකෙස් තෙත් වී ඇති විට ඒවා වඩාත් දුර්වල තත්වයකට පත්වීමයි.
- ෂැම්පු හෝ වෙනත් ස්වභාවික හිසකෙස් සත්කාර වර්ග ගල්වන විට ඇඟිලි තුඬු වලින් මෘදුව පිරිමදින්න.
- ස්නානය කළ පසු හිස පිසදමන විට තුවායකින් තදින් ඇතිල්ලීම නොකළ යුතුයි. ඒවෙනුවට තුවාය කෙස්කලඹ වටා ඔතා ඊට තෙත උරාගන්නා සේ මෘදුව තද කරන්න.
- සුලඟේ හොඳින් වියළෙන්නට හරින්න. තාප උපකරණ භාවිතයෙන් හිස වියළීම නොකළ යුතුයි.
- ස්ට්‍රේට්නිං, පර්මිං, කර්ලිං වැනි ක්‍රම හැකිතාම් අවම කරන්න.
- හිසට හොඳ ආවරණයක් නොමැතිව සෘජු හිරු එළියේ ගැවසීමෙන් වළකින්න.
- කෙස්කලඹට තෙල් සත්කාර කරන්න.
- දුම්බීමෙන් වළකින්න.
- ප්‍රෝටීන් ඇතුළු විටමින් හා ඛනිජ ලවණ වලින් ද අනූන සමබල ආහාර පාන රටාවක් අනුගමනය කරන්න.
- දිනපතා ලීටර් 1.5-2ක් පමණ හොඳින් වතුර බොන්න.
- නිතිපතා පිරිසිදුව සිටින්න.