බඩ පුරවා දැමීම නැත්නම් බඩ පිපීම කියන්නේ අපි හැමෝම ජීවිතයේ කෙදිනක හෝ අත්විද ඇති හෝ අත්විදින්නට සිදුවෙන දෙයක්. මේ ගැටළුව කලාතුරකින් ඇතැම් අයට ඇතිවුණත් තවත් අයට මේ තත්ත්වය නිතරම ඇති වෙනවා. මේ බඩ පුරවා දැමිම නිසා කායිකව ඇතිවන පීඩාකාරී තත්ත්වය වගේම උදරය විශාල වීම නිසා මානසිකවත් බොහෝදෙනා පීඩාවට පත්වෙලා ඉන්නවා. මේ බඩ පිපුම ඇතිවෙන්නට ප්‍රධාන වශයෙන් අපේ ආහාර පුරුදු සහ චර්යා රටාවේ යම් යම් පුරුදු හේතුවෙනවා. ඒ හැරුණාම වෙනත් රෝගයන් නිසාත් මේ බඩ පිපීම් තත්ත්වයන් ඇති වෙනවා. ඒ අනුව මේ බඩ පිපීම යම් රෝගයක් ලක්ෂණයක් විදියටත් අපිට හඳුනා ගන්නට පුළුවන්. කොහොමවුණත් මේ නිසා උදරයේ වේදනාව, උදරය පිම්බීම, උගුරට ඒම, ඔක්කාරය, ශරීරයේ හැඩය නැතිවී යාම, ශාරීරිකව දැනෙන අපහසුව ආදියට අපිට මුහුණ දෙන්නට සිදු වෙනවා.ඉතින් එදිනෙදා කටයුතු කරගන්නට බාධා ඇති කරන මේ තත්ත්වය සමනය කර ගන්නට අනුගමනය කළ හැකි ක්‍රමවේද ගණනාවක්ම පවතිනවා. මේ ලිපිය තුළින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ බඩ පිපුමට සහනයක් ලබා ගන්නට කළ හැකි පිළියම් පිළිබඳවයි.
ජීවන රටාවේ ඇති කරගත යුතු වෙනස්කම්

කුසගින්නේ ප්‍රමාණයට පමණක් ආහාර ගැනීම බොහෝ අයට බඩ පිපීමක් ඇතිවෙන්නට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ආහාර අධික වශයෙන් ගැනීම. ඉතින් ඒ තත්ත්වයට කදිම පිළියමක් වෙන්නේ තමන්ගේ කුසගින්නේ ප්‍රමාණයට පමණක් ආහාර ලබා ගැනීම.නමුත් ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන් ආමාශය පිරී ඇතිවිට ආමාශයික යුෂ ආහාරය සමඟ හරිහැටි මිශ්‍ර වෙන්නේ නැහැ.ඒ නිසා ජීර්ණය ඒකාකාරීව සිදුනොවී තැනින් තැන ජීර්ණය වෙද්දි වායු බුබුළු එකතුවෙලා පෙන කැටි සකස් වෙන්නට පටන් ගන්නවා. එහි ප්‍රතිඵලය විදියට ආමාශය පිම්බීමකට ලක්වෙනවා.ඒ නිසා කුසගින්නේ ප්‍රමාණයට ආහාර ගැනීම වැදගත්.
ඉතා හොඳින් හපා වේලාව අරගෙන ආහාර ගැනීම ආහාර ඉතා ඉක්මනින් හරිහැටි නොවිකා ගිලීම නිසා ඒ ආහාර ජීර්ණයේදී නැවත කැඩීමට ආමාශයට අමතර වෙහෙසක් දරන්නට සිදු වෙනවා.ඒ වගේම ඉතා ඉක්මනින් කෑම ගන්නා විට ඒ වේගයට කෙළ ශ්‍රාවය නොවීම නිසා කන අතරේ වතුර ගොඩක් බොන්නට සිදු වෙනවා. ඉක්මනට ආහාර ගැනීමේදී ඇතුළු වන වාතය ප්‍රමාණයත් වැඩි වෙනවා.මේ හේතු නිසා ආමාශයේ ජීර්ණ යුෂ අඩපණ වෙනවා. ඒ නිසා ආහාර ජීර්ණය කිරීමට ගත වන කාලය තුළ නිකුත්වන වායු ප්‍රමාණය හා ගිලුණු වායු ප්‍රමාණයත් එකතු වෙලා ආමාශයේ පෙණ සකස් වෙනවා. එය බඩ පිපීමට හේතුවෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
චුන්යින්ගම් හැපීම අඩු කිරීම හා සෝඩා වර්ග භාවිතය අඩු කිරීම මේ පුරුදු දෙකින්ම ආමාශයේ ආම්ලික බව වැඩි කරනවා. මොකද චුයින්ගම් හපන විට ශ්‍රාවය වන කෙළ සමඟ පැණි රස ආමාශයට ගමන් කළ විට ආහාරයක් ගන්නවා කියලා සිතා එය ජීර්ණයට අවශ්‍ය අම්ල ශ්‍රාවයට මොළය ආමාශයට සංඥා නිකුත් කරනවා.ඒ වගේම සෝඩා වර්ග භාවිතයේදීත් මේ හා සමානම ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ වගේ අධි ආම්ලික තත්ත්වයේ ආමාශය පවතින විට යම් ආහාරයක් ලැබුණු විටම එය ඉතාම ඉක්මනින් ජීර්ණ ප්‍රතික්‍රියාවකට ලක්වෙලා වේගයෙන් වායු බුබුළු මුදා හැරෙනවා. ඒ නිසා බඩ පිපීම් ඇති වෙනවා.
- අමු පාන් ගැනීමෙන් වැළකීම
- තන්තුමය ආහාර ගැනීම වැඩි කිරීම
- මලපහ පිට කිරීම හා අධෝවාතය පිට කිරීම
බඩ පිපීම සුවකරගන්නට කළ හැකි දේ

ඉගුරු දැමූ තේ පානය -ඉඟුරු උදර ආශ්‍රිත රෝග හා අපහසුතා බොහොමයකට ඉතාම ගුණදායක ඔසුවක්. බඩ පිපුමක් ඇති අවස්ථාවක ඉඟුරු යුෂ ටිකක් ආමාශයට ලැබුණු විට පෙන කැටි විදියට ඒකරාශී වෙලා තියෙන තැන් බිඳ හෙලලා ඒවා වායුවක් විදියට ගුඩුස් හැරීමකින් හෝ පිට කර ගන්නට හැකියාව ලැබෙනවා.
පෙපර්මින්ට් වර්ගයක් ආහාරයට ගැනීම මේ පෙපර්මින්ට් ඉඟුරු වගේම බඩ පිපීම් තත්ත්වයන් ඉතා ඉක්මනින් සමනය කරගන්නට උපකාරී වෙනවා.ඒ සඳහා පෙපර්මින්ට් අඩංගු ටොෆි වර්ගයක් ගෙන සූප්පු කර නොසිට ඉක්මනින් හපා ගිලීමෙන් බඩ පිපීම මගහරවා ගන්නට පුළුවන්.
යෝගට් ආහාරයට ගැනීම බඩ පිපීමක් ඇති අවස්ථාවක ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් ආහාරයට ගන්නට හැකි දෙයක් තමයි යෝගට් කියන්නේ. නමුත් මේ යෝගට් ජෙලි හෝ වෙනත් යමක් එකතු නොකරන ලද තනිකරම කිරිවලින් සැකසූ යෝගට් එකක් වීම ඉතා වැදගත්. මේ කිරි මිදවීම සඳහා යොදන බැක්ටීරියා මගින් අලුතින් ආමාශය තුළ වායු බුබුළු ඇතිවීම වැළකෙනවා. ඉඟුරු සහ පෙපර්මින්ට් තරම් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක නොවෙන නිසා යෝගට් එකක් ආහාරයට ගත යුත්තේ බඩ පිපුමක් ඇතිවන බව දැනෙන විගසයි. එවිට මේ අපහසුතාවයෙන් මිදෙන්නට ඔබට පුළුවන්.
ඇවිදීම බඩේ ඇති පෙණ ගතිය ඉවත් කර ගැනීමෙන් බඩ පිපීම් දුරු කරගන්නට අපිට පුළුවන්. ඇවිදීම මගින් ආමාශයට සැලකිය යුතු ප්‍රමාණයේ ව්‍යායාම් ලැබෙනවා.ඉතින් බඩ පිපීමක් ඇතිවිට ටිකක් ඇවිදීමට යාමෙන් වායු බුබුළු ක්‍රමයෙන් බිඳ වැටීමෙන් සහනය සැලසෙනවා.ඒ වගේම ඍජුව සිටීමට අවස්ථාව ලැබීමෙන් ශරීරයට දැනෙන අපහසුවත් ඉතා ඉක්මනින් අඩු වෙනවා.
- සුදු ළූණු තම්බා පානය කිරීම
- ගම්මිරිස් ඇට 8 ක් පමණ තම්බා පානය කිරීම
- මද උණුසුම් ජලයෙන් පෙගවූ රෙදි කැබැල්ලකින් උදර ප්‍රදේශය තැවීම
මේ සත්කාර අනුගමනය කිරීමෙන් සුවයක් සහනයක් නොලැබෙන්නේ නම් ඔබ වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වෙනවා.