හැදීගෙන එන අර්ශස් රෝගය පවා නිට්ටාවටම සුව කරන ක්‍රම 8 ක්

health tips

මූලරෝගය හෙවත් අර්ශස් (piles) යනු ගුද මාර්ගයේ හෝ ගුදය අවට රුධිර නාළ හා පටක ප්‍රදාහයට ලක්වීමෙන් ඇතිවන රෝගයකි.මෙය haemorrhoids තත්වය ලෙස ද හඳුන්වයි.ලේ පිරුණු රතට හුරු දුඹුරු පැහැ ගෙඩි පොකුරු ගුද මාර්ගය තුළ හා ඒ වටා වර්ධනය වෙයි.මේවා පුපුරායාම නිසා ගුදය තුළින් රුධිරය වහනය වීම සිදුවේ.අර්ශස් රෝගය ඇති පුද්ගලයින් හට මලපහ කිරීම ඉතාමත් වේදනාකාරී අත්දැකීමක් ඇතිකරයි.

අර්ශස් තත්වයේ රෝග ලක්ෂණ: වේදනාව, ගුදයේ දැවිල්ල,මලපහ කළ ද නැවත වැසිකිළි යාමේ අවශ්‍යතාවක් මෙන් දැනීම, ගුදය අවට කැසිල්ල, නිදන්ගත මලබද්ධය හෝ පාචන තත්වයන්,බඩවැල් ආශ්‍රිත පීඩාකාරී බව.

ඔබේ ආහාර පාන රටාවේ හා ජීවන රටාවේ යම් යම් වෙනස්කම් ඇතිකරගැනීම මඟින් මේ රෝගයේ ඇතැම් මූලික හේතු සාධක දුරුකරගැනීමට උපකාරී වනු ඇත.

අර්ශස් ගෙඩි ඇතිවීමේ අවදානම වළක්වාගැනීම සඳහා මෙවැනි උපදෙස් පිළිපදින්න.

පැය ගණනක් එක දිගට වාඩි වී ඉන්න එපා! එක දිගට දිගු වෙලාවක් වාඩි වී සිටීම ගුදය හා තට්ටම් ප්‍රදේශයේ මාංශ පේශී වෙත ඇතිකරන්නේ දැඩි පීඩනයක්.විශේෂයෙන්ම ගුදය ආශ්‍රිත වේදනාව වැනි අපහසුතා ඇතිවිය හැකියි.ඇඟට හිර සහ ඝනකම් ඇඳුම් ඇඳගෙන දිගු වෙලාවක් වාඩි වී සිටීමත් ඇතිකරන්නේ දැඩි අපහසුවක්.එක දිගට වාඩි වී සිටින විට නහර වල ලේ එකතුවීම වැඩියි.එය නහර ඉදිමීමට හා අර්ශස් ගෙඩි ලෙස වර්ධනය වීමට තුඬු දිය හැකියි.එකම ඉරියව්වෙන් පැය බාගයකට වඩා ඉන්න එපා! සෑම පැය බාගයකට වරක්ම අසුනෙන් නැගිට මදක් එහා මෙහා ඇවිද කකුල් වල මාංශ පේශි ඉහිල් කරවන්න.අසුනෙන් නැගිට මදක් සැහැල්ලු වී නැවත අසුන්ගන්න. දිගු දුර ධාවන රියදුරන්, කාර්යාල සේවකයින්, පරිගණක භාවිත කරන්නන් මේ ගැන වඩාත් සැළකිලිමත් වීම නුවණට හුරුයි.

තන්තු බහුල ආහාර වැඩිපුර පරිභෝජනයට කරන්න තන්තු ශාකමය ආහාර වල අඩංගු වන දෙයකි.සාමාන්‍යයෙන් ඒවා මිනිස් සිරුර තුළ ජීර්ණය හෝ උරාගැනීමක් සිදුවන්නේ නැහැ.ජීර්ණය නොවූ ආහාර කොටස් තන්තු සමඟ බන්ධනය වී මහ බඩවැල් හා කුඩා බඩවැල් හරහා සිරුරෙන් ඉවත් වී යයි.ඒ හරහා තන්තු මඟින් අපද්‍රව්‍ය බැහැර වීම ක්‍රමවත් කරයි.තන්තු දෙවර්ගයකි: ද්‍රාව්‍ය හෙවත් ජලයේ දියවන තන්තු ( ජෙලිමය ස්වභාවයක් ගන්නා මේවා කොලෙස්ටරෝල් හා රුධිර ග්ලූකෝස් මට්ටම් අඩුකිරීමට උපකාර කරයි) සහ අද්‍රාව්‍ය හෙවත් ජලයේ දිය නොවන තන්තු ය (ඒවා ජීර්ණය නොවූ ආහාර අවශේෂ වල බර වැඩිකරමින් , මල අපද්‍රව්‍ය මෘදු කර බඩවැල් හරහා ගමන් කිරීම පහසු කරයි.ඒ හරහා මලබද්ධය වැළැක්වීම හා එවැනි තත්වයන් සමනය කිරීමේ හැකියාව මේවාට ඇත).

බඩවැල් ක්‍රියාකාරීත්වයන් නීරෝගී වීම අර්ශස් ගෙඩි හටගැනීමේ අවදානම පාලනය වීමට සහය දෙයි. කව්පි, කඩල, මුං, බෝංචි, චියා ඇට, හණ ඇට,ඕට්ස්,රට ඉඳි, ගස්ලබු, බෙලි,දිවුල්,පලා වර්ග,මල්ගෝවා, වියළි මිදි,කෙසෙල්,ඇපල්,පෙයාර්ස් වැනි ආහාර වල තන්තු බහුලයි.විශේෂයෙන්ම කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීම බඩවැල් නීරෝගී වීමට හොඳ සහයක් ලබාදෙයි. මේද සහ සැර අධික ආහාර පාන ගැනීමෙන් වළකින්න.

හොඳින් වතුර පානය කරන්න හොඳින් වතුර පානය කිරීම මල අපද්‍රව්‍ය මෘදු වී ඒවා ක්‍රමවත්ව පහසුවෙන් බැහැර වීමට සලස්වයි.මලබද්ධය වළකයි. දිනකට වතුර ලීටර් 1.5-2 අතර ප්‍රමාණයක් පානය කරන්න. වතුර වලට අමතරව ලෙමන් හෝ දෙහි මුසු වතුර,සීනි එක්නොකළ පලතුරු යුෂ, එළවළු යුෂ, ඖෂධීය තේ ,සුප්, වැනි දියර වර්ග ද පානය කළ හැකියි.යෝගට්, බටර්මිල්ක්, උණුසුම් කහ කිරි වැනි පාන වර්ග ද ගුණදායකයි. මේවායේ ඇති ගුණ ආමාශයේ හා බඩවැල් බිත්ති සමනය කරයි.

  • ගුදය අවට පිරිසිදුව තබාගන්න. ඉන් අර්ශස් තුවාල ආසාදන හා වණ වීම බොහෝ හොඳින් පාලනය කරගත හැකියි.
  • මල මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතා තදකරගෙන සිටීමෙන් වළකින්න. මෙය ඔබේ සෞඛ්‍යයට ඉතා අහිතකර පුරුද්දකි.
  • මත්පැන් හා දුම්පානයෙන් වළකින්න
  • ‘ පස්චිමෝත්තාසනය’, ‘යෝග මුද්‍රා’, ‘හස්ත්පාදාසනය’, ‘පවනමුක්තාසනය’ වැනි යෝගා ඉරියව් නිතිපතා අනුගමනය කරන්න. මේවා මඟින් ඔබේ උදර හා යටිකය ප්‍රදේශයේ මාංශ පේශී ශක්තිමත් හා නීරෝගී වේ. බඩවැල් ක්‍රියාකාරීත්වය නීරෝගි කර මලබද්ධය වැනි අපහසුතා වළකයි.මීට අමතරව දිනපතා ඇවිදීම, මද වේගයෙන් දිවීම, ස්කිපිං වැනි සරල ව්‍යායාම වල යෙදෙන්න.

අධි බර දේවල් එසවීමෙන් වළකින්න.අධික බර දේවල් නිතිපතා එසවීම අර්ශස් ඇතිවීමට බලපෑ හැකියි. ජිම් එකේ ඔබ ව්‍යායාම කරන විට මේ ගැනත් සිහිතබාගන්න. නිවැරදි උපදෙස් සහිතව ඒවා අනුගමනය කරන්න.හුස්ම හිරකරගෙන අධික බරස් ඉහළට එසවීමට ආයාස දරන විට ඔබේ යටිකය ප්‍රදේශයට ප්‍රබල පීඩනයක් එල්ලකෙරෙනවා.මෙම පීඩනය අභ්‍යන්තරික අවයව හා රුධිර නාළ වලට පවා බලපෑ හැකියි.එවිට ගුදය අවට රුධිර නාළ ද ඉදිමීමට පටන්ගත හැකියි.

*කෙසේවෙතත් රෝග ලක්ෂණ උත්සන්න වේ නම්, හෝ දිගින් දිගටම පවතියි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.