උදෑසන පානය කිරීමෙන් ගෑස්ට්‍රයිටීස් කවදාවත් හැදෙන්නේ නැති අත්තික්කා නිල් කටරොලු පානය 

health tips

තරුණ, බාල, මහලු හැමදෙනෙක්ම බහුලවම පීඩා විදින රෝගී තත්ත්වයක් තමයි මේ ගෑස්ට්‍රයිටීස් හෙවත් අමිල පිත්ත රෝගය කියන්නේ. අපේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් විඳවන මේ රෝගය ගැන නිරන්තරයෙන් කතාබහ කෙරෙනවා. නමුත් වැඩිදෙනෙක් මේ රෝගය එතරම් සැලකිල්ලට නොගන්නා නිසාම එය මුළු ජීවිත කාලයටම වදදෙන රෝගයක් බවට පත්වෙලා තියෙනවා. තාවකාලික සහනයක් උදෙසා යම් යම් ප්‍රතිකාර සිදු කළත් ඒ රෝගය නිට්ටාවටම සුවපත් කරගන්නට උනන්දු වෙන්නේ සීමිත පිරිසක් පමණයි. මේ අමිල පිත්ත රෝගයට නිසි ප්‍රතිකාර නොකර නොසලකා හැරීමෙන් ආමාශයේ ඉදිමීම, බඩේ තුවාල, පිළිකා ලෙස වර්ධනය වීම තරම් දරුණු වෙන්නට පුළුවන්.

 ඒ නිසා මේ රෝගය සුළුවෙන් සැලකිය යුත්තක් නොවෙයි. කල්ගතවීමත් සමඟ සුව කිරීම ඉතා අපහසු වෙනවා. ඉතින් කොතරම් කතාබහ කළත් සුවයක් නොලද රෝගීන් අපේ රටේ බොහොමයි. ඒ නිසාමයි නිට්ටාවටම මේ රෝග සුවපත් කර ගන්නට අපිට කළ යුත්තේ මොනවාද කියලා දැනගත යුතු වෙන්නේ. අද අපි කතා කරමු අපේ හෙළ වෙදකමෙන් අපිට උරුම වෙලා තියෙන පාරම්පරික දැනුමෙන් මේ ගෑස්ට්‍රයිටීස් තත්ත්වය සුව කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.

කරල් සැබෝ කැඳ බොහෝ වෙද හෙදකම් ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා තාවකාලික සහනයක් ලබා දුන්නත්  මේ  කරල් සැබවලින් ගෑස්ට්‍රයිටීස් රෝගය නිට්ටාවටම සුවකර ගන්නට හැකියාව ලැබෙනවා. 

මේ කරල් සැබ කැඳ සාදා ගැනීමේදී කරල් සැබ කොළ සෝදා පොල් කිරි සමඟ කොටා ගත යුතුයි. එයින් ලබා ගන්නා යුෂ පොල් කිරි සමඟ කැකුළු සහල් හෝ හබල පෙති එකතු කර සාමාන්‍ය කැඳ සාද ගන්නා ආකාරයට රතු ළූණු  සුදු ළූණු ආදිය යොදා සකසා ගන්න. මේ කැඳ දිනපතාම උදේ හිස්බඩ පානය කිරීමෙන් ගෑස්ට්‍රයිටිස්  රෝගය ඇතිවීම වැළකෙනවා වගේම ගෑස්ට්‍රයිටීස් වැළදී ඇති අයෙකුට ඒ රෝගය නිට්ටාවටම සුවකර ගන්නත් හැකියාව තියෙනවා.

කෝමාරිකා පානය මේ සඳහා කෝමාරිකා මද සහ මී පැණි අවශ්‍ය වෙනවා. පිහියක් ආධාරයෙන් කෝමාරිකා පිත්තක කොළ පැහැ පොත්ත හොඳින් ඉවත් කර මදය වෙන්කර ගෙන තරමක කැබලිවලට කපා ගන්න. පසුව මේ කපාගත් කෝමාරිකා මදවලට මී පැණි තරමක ප්‍රමාණයක් එකතු  කර විනාඩි 10 ක්  පමණ තබා ආහාරයට ගන්න. 

අත්තික්කා සහ නිල් කටරොලු පානය 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • අත්තික්කා පොතු කුඩු  අත්තික්කා පොතුවලට බැක්ටීරියා විනාශ කිරීමේ විශේෂ හැකියාවක් පවතින නිසා එය අමිල පිත්ත රෝගය සඳහා ඉතාම සුදුසුයි. 
  • පිරිසිදු කර වියළා ගත් නිල් කටරොලු මල් නිල් කටරොලු අපේ දේහය සිසිල් කිරීමේ හැකියාවෙන් සමන්විතයි. ඒ වගේම බඩේ දැවිල්ල ආදී  තත්ත්වයන් ක්ෂණිකව සුවකර ගන්නත් නිල් කටරොලු ඉතාම වැදගත්.
  • කෝමාරිකා  
  • මද රස්නය සහිත වතුර 

මද රස්නය සහිත ජලයට අත්තික්කා පොතු චූර්ණය (අත්තික්ක පොතුවලින් සකසා ගත් අත්තික්කා කුඩු ) තේ හැන්දක් පමණ එකතු කරන්න. නමුත් ගෑස්ට්‍රයිටීස් සමඟ මලබද්දය වගේ තත්ත්වයකින් පීඩා විදින අයෙක් හෝ වියළි අර්ශස් රෝගය හෝ භගන්දරා රෝගයකින් පෙළෙන අයෙක් නම් මේ අත්තික්කා පොතු චූර්ණය එකතු කර නොගන්නට වග බලා ගන්න. 

පසුව එයටම වියළාගත් නිල් කටරොලු මල් තේ හැදි 2 ක් පමණ එකතු කර කලවම් කර ගන්න. එයටම කෝමාරිකා පිත්තක මදය සූරා එයට එකතු කරන්න. මෙය විනාඩි 5-10 ක වෙලාවක් තබා පෙරා ගෙන පානය කරන්න.මෙය වඩාත් සුදුසු  වෙන්නේ උදෑසනට පානය කිරීමයි. මේ පානය සිසිල් නිසා හතිය, ඇදුම ආදී රෝගවලින් පෙළෙන අය මේ පානය නිතර ගැනීම සුදුසු නැහැ.

මේ සත්කාර සිදු කරන අතරේ  ආහාර වේල් මග නොහැර සිටීම, මානසික ආතතියෙන් තොරව වීම, සුවදායි නින්දක් ලබා ගැනීම, පාන් පිටි සහිත, තෙල් සහිත සහ අධික සැර සහිත  ආහාර සීමා කිරීමත් මේ රෝගයෙන් නිට්ටාවටම සුවයක් ගන්නට උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි ගෑස්ට්‍රයිටීස් රෝගීන් අනිවාර්යෙන්ම තමන්ගේ කුස කිසිම අවස්ථාවක හිස්ව තබන්නට එපා. ආහාර ගැනීමේදී කුස පිරෙන්නට ආහාර ගැනීම වගේම ආහාර වේල පමා වන්නේ නම් ඒ වෙනුවට ජලය හෝ පානය කිරීම අත්‍යවශ්‍යයයි.