අත් එල්ළා වැටීම පහසුවෙන් මඟ හරවා ගත හැකි ක්‍රම 3 ක්

health tips

අනවශ්‍ය විදියට මේදය තැන්පත් වීම නිසා අපට විදින්නට සිදුවෙන කරදර පීඩා අපමණයි. අත් එල්ලා වැටීම කියන්නේ ඒ කරදරවලින් එකක් විතරයි. මේ තත්ත්වය අපිව අවලස්සනට පේන්නට හේතුවක් වෙනවා  වගේම අපි කැමති විලාසිතාවක ඇදුමක් අදින්න පවා බාධාවක් වෙනවා. ඉතින් අපි හැමෝම අපේ ඇඟ ලස්සනට තියා ගන්නට කැමතියි නේ. නමුත් මේ වගේ දෙයක් ඇති වුණාම එය අපිට මානසිකව හරිම වදයක්. මේ  සඳහා අපිට කරන්නට හැකි පිළියම් මොනවද කියලා කතා කරන්නට කල්පනා කළේ ඒ නිසාවෙන්මයි. 

අත් එල්ලා වැටෙන්නේ ඇයි මේ සඳහා හේතු කිහිපයක්ම බලපානවා.

  • අධික තරබාරුව අපේ ශරීරයට ප්‍රමාණවත් තරමට වඩා ආහාර ලබා ගන්නා විට ඒ අතිරික්ත ශක්තිය මේදය විදියට ශරීරයේ විවිධ  ස්ථානවල තැන්පත් වෙනවා. කාන්තාවන්ගේ උදරයේ,ඉණ ප්‍රදේශයේ, පිටේ, පපු ප්‍රදේශයේ වගේම අත්වල  වැලමිටෙන් උඩ ප්‍රදේශයේත් මෙසේ මේදය තැන්පත් වීම සිදු වෙනවා. මේ අත්වල එල්ලා වැටීම නිසා අත් ඔසවද්දි, සොලවද්දි වගේම අත් බැඳගෙන සිටින විටත් එය අවලස්සන විදියට දිස් වෙනවා. තරබාරුව තමයි මේ අත් එල්ලා වැටීමට බලපාන මූලිකම හේතුව වෙන්නේ.
  • ඉක්මනින් කෙට්ටු වීම තරමක් මහත අයෙක් ආහාර පාලනයකින් හෝ අධිකව ව්‍යායාම්වල නිරතවීම මගින් හෝ වැඩිපුර කැලරි දහනය කරලා ඉක්මනින් කෙට්ටු වුණොත් එයත් අත් මේ විදියට එල්ලා වැටෙන්නට හේතුවක් වෙනවා. කලින් මේදය සමඟ ඇදී තිබුණු සම ලිහිල් වීම නිසා  එල්ලා වැටෙන සමක් අත් යට නිර්මාණය වෙන්නට පුළුවන්.මේදය ඉක්මනින් ඉවත්වුණත් සම නැවත ඉක්මනින් ප්‍රත්‍යස්ථව සකස් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගොඩක් මහත්  කෙනෙක් මේ විදියට කෙට්ටු වුණොත් ඇතැම් විට සම නැවත සකස් වෙන්නේ නැති තරම්. ඒ වගේ  වෙලාවට ශල්‍ය  කර්ම කරලා  සම අයින් කරන්නත් සිදු වෙනවා.
  • හෝර්මෝනවල අක්‍රමිකතා කාන්තාවන්ගේ  විශේෂ හෝර්මෝනයක් වෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය ශරීරයේ මේද තැන්පත්වීම සමඟ ඍජුවම සම්බන්ධ බව  සොයාගෙන තියෙනවා. නීරෝගී කාන්තාවකගේ මාසික චක්‍රයේ සමහර දිනවල ඊස්ට්‍රජන් ප්‍රමාණය  වැඩි වෙන්නත් අනෙක් දිනවල අඩු වෙන්නත් අවශ්‍ය වෙනවා. නමුත් සමහර නරක අහාර පුරුදු, රෝග තත්ත්ව, ව්‍යායාම් අඩුකම වගේම වයස ආදී කාරණා මත ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසි  ආකාරයට පාලනය වීම සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කාබනීකෘත බීම වර්ග සහ සීනි අධික ආහාර මේ සඳහා ඍජුවම බලපානවා.මේ  නිසා කලවා, පසුපස ප්‍රදේශයේ, පපු ප්‍රදේශයේ වගේම අත් දෙපස අධික ලෙස මේදය තැන්පත් වෙනවා.  විශේෂයෙන්ම අපේ ශරීරයේ අත්වල පමණක් නම් මේදය තැන්පත්වෙලා තියෙන්නේ  ඒ වගේම ඔසප් දිනවල අක්‍රමිකතා තිබේ නම් ඔබට තියෙන්නේ මේ හෝර්මෝනවල අක්‍රමිකතාවක් නිසා ඇතිවන මේදය තැන්පත්වීමක්.
  • වයස පුද්ගලයෙක් වයසට යද්දි සමේ ප්‍රත්‍යස්ථ බවට විශේෂයෙන්ම උපකාරී වන කොලජන් නිෂ්පාදනය යම්තාක් දුරකට අඩුවීම සිදු වෙනවා. ඒ නිසා සමේ ප්‍රත්‍යස්ථ බව අඩුවෙලා  සම රැලි වැටී සම දුර්වල වීමක් සිදු වෙනවා. මේ නිසාත් අත්වල සම එල්ලා වැටීම සිදු වෙනවා. මේ තත්ත්වය වයසත් සමඟ ඇතිවන ස්වභාවික ක්‍රියාවලියක් නිසා අපි  හැමෝටම ඒ තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වෙනවා.  එය තරමක් අඩුකර ගන්නට කොලජන් අඩංගු ආහාර වැඩිපුර ගැනීමෙන් සහ කොලජන් නිෂ්පාදනය දිරිමත් කිරීමෙන් හැකියාව ලැබෙනවා.

අත් එල්ලා  වැටීම පාලනය සඳහා කළ හැකි දේ 

මාංශපේශීවල ශක්තිය  ඉක්මනින් වැඩි කරගැනීම මෙමගින් අපේ අත්වල සම එල්ලා වැටීම වගේම ශරීරයේ පවතින අනවශ්‍ය මේදයත් ඉක්මනින් දහනය කරන්නට හැකියාව ලැබෙනවා. ඒ විතරක්ම නෙවෙයි මේදය අධික වීම නිසා ඇතිවන කොලෙස්ටරෝල්, හදවත් රෝග ඇතිවීමේ අවදානමෙන් මිදෙන්නත් හැකියාව ලැබෙනවා.

 මාංශපේශී අපේ ශරීරයේ අත්, පාද, පිට වගේ ප්‍රදේශ චලනය කරන්නට අපේ අස්ථීන් සමඟ සම්බන්ධ වෙලා තියෙන ශක්තිමත් පේශී කාණ්ඩයක්. මේ පේශී අපේ කැමැත්ත පරිදි විශාල කර ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ශරීරයේ තියෙන පේශී අතුරින් වැඩිපුරම ශක්තිය වැය කරන්නෙත් මේ මාංශපේශී. මාංශපේශී වැඩි කෙනෙක්ට හැකියාව තියෙනවා ඉතා ඉක්මනින් මේදය දහනය කර දමන්නට.මේ මාංශපේශී ශක්තිමත් කර ගැනීමෙන් අපේ ශරීරයේ ඕනෑම ස්ථානයක මේදය පහසුවෙන් දියකර හරින්නට පුළුවන්. ඒ සඳහා ප්‍රතිරෝධී ව්‍යායාම් කරන්නට අපිට සිදු වෙනවා.

push ups
triceps dips
bicep curls

මේ ව්‍යායාම කිරීමට පෙර ශරීරය හොඳින් ලිහිල් කර ගන්නට විනාඩි 10 ක් පමණ ඇදෙන ව්‍යායාම  කිරීම අනිවාර්ය වෙනවා. ස්වායු ව්‍යායාමත් ටික වේලාවක් කිරීමෙන් ප්‍රතිරෝධී ව්‍යායාම කිරීම සඳහා ශරීරය සකස් කර ගන්නට අපිට පුළුවන්. ජලය සුදුසු ලෙස පානය සහ කායික යෝග්‍යතාවය හොඳ මට්ටමක තිබීමත් මේ සඳහා හරිම වැදගත්. මේ සඳහා  push ups, Tricep dips , bicep curls (මේ සඳහා dumbbell  භාවිතා කරන්නට අවශ්‍යයයි.) ව්‍යායාම භාවිතා  කරන්නට පුළුවන්.  මේ ව්‍යායාම ටික කරද්දි අත් එල්ලා වැටීම නැතිකර ගන්නට හැකියාව ලැබෙනවා.ඉතින් මේ ගැටළුවට  වැඩි වශයෙන් මුහුණ දෙන්නේ කාන්තා පාර්ශවයි. ඒ නිසා  මේ තත්ත්වයන් ඇති නොවෙන පරිදී දේහ බර නිසි පරිදි පවත්වා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබාගෙන ක්‍රියාශීලී ජිවිතයක් ගත කිරීම තමයි වඩා සුදුසු.