පරිගණක භාවිතය එන්න එන්නම වැඩි වෙද්දි අක්ෂි සෞඛ්‍ය සම්බන්ධ ගැටළුත් දවසින් දවස වැඩි වෙනවා. ඇස් කියන්නේ අපි ලෝකය දකින විශේෂ සහ වැදගත් ඉන්ද්‍රියක්. ඒ නිසාම අපි අපේ ඇස් මුළු ජීවිත කාලය පුරාවටම රැකගන්නට කටයුතු කල යුතු වෙනවා. නමුත් පරිගණය වගේම ජංගම දුරකථනය අපේ ජීවිතයේ වැදගත් කොටසක් බවට පත්වෙද්දි ඇස් ආශ්‍රිත ආබාධවලට ගොදුරුවෙන පිරිස් වැඩි වෙලා තියෙනවා. නමුත් මේ කාරණය හැරුණාම තවත් විවිධ වූ හේතු අක්ෂි සෞඛ්‍යට හානිදායක ලෙස බලපෑම් කරන්නට සමත් වෙනවා. ඇස් ආශ්‍රිත ගැටළු අතරින් වියළි ඇස් කියන්නේ තරමක් බරපතල අක්ෂි රෝගයක්. ඉතින් ලෝකය බලන්නට අපිට ලැබෙන එකම අධාරකය වන ඇස් වියළි වන්නේ ඇයි ද යන්න අපි දැනගත යුතු වෙනවා. ඒ වගේම එය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ද ඒ සඳහා වන ප්‍රතිකාර මොනවාද යන කාරණා පිළිබඳව දැනගැනීමෙන් ඔබටත් ඔබේ ඇස් දෙක ජීවිත කාලයටම ලෝකය දෙස බලන්නට රැක ගන්නට පුළුවන්.
වියළි ඇස් එහෙමත් නැත්නම් dry eyes කියන්නේ බොහෝදෙනෙක් දැනුවත් ප්‍රචලිත් රෝගයක් නෙවෙයි. නමුත් මේ රෝගය ඒදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා බොහෝසෙයින් බලපාන රෝගයක් නිසා ඒ පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත්. ඇස වියළීමක් කියන්නේ ඇසේ තිබිය යුතු කදුළු ප්‍රමාණය අවම වීමයි. ඇස් පරීක්ෂා කිරීම මගින් ඇසේ කදුළු ප්‍රමාණය සහ වියළීම හඳුනා ගන්නට පුළුවන්. ඇසේ වියළි බවක් ඇති වෙන්නට හේතු ගණනාවක්ම බලපානවා. නමුත් නිදි වැරීම නිසා ඇස් වියළි වීමක් සිදු වන්නේ නැහැ.
ඇස් වියළීමට බලපාන හේතු

- පරිගණකය දිගට භාවිතා කිරීම මෙය හදුන්වන්නේ Computer vision Syndrome ලෙසයි. පරිගණකය භාවිතයෙන් ඇතිවන ඇස්වල රෝගී තත්ත්වයන් මෙසේ හඳුන්වනු ලබනවා. ඇස්පිය ගසන වාර ගණන අඩුවීම නිසාවෙන් ඇසේ කදුළු ස්ථරය ඇස පුරා නිසි ආකාරයට පැතිරෙන්නේ නැහැ. ඒ හේතු මත ඇස් වියළි වීම සිදු වෙනවා.
- වායු සමීකරන සහිත පරිසරයක වැඩ කටයුතු කිරීම
- ඇතැම් ඖෂධ
- ආසාත්මිකතා
- ආතරයිටීස් රෝගයෙන් පෙළීම (රුමටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට විශේෂයි.)
- Sjogren Syndrome රෝගය
මේ රෝගය සිරුරේ ඉබේම හට ගන්නා රෝගයක්. විශේෂයෙන්ම සිරුරේ ආර්ද්‍රතාවය නිසා ඇතිවන මේ රෝග තත්ත්වයෙන් ඇස් වගේම මුඛයත් වියළි වීමට පටන් ගන්නවා.
- වයසස්ගත වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 40-50 ඉක්මවූ අයට මේ ඇස් වියළීම ඇති වෙන්නට පුළුවන්. එයට හේතුව දෑසේ කදුළු ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී දෑස් වියළීමට පටන් ගැනීම.
- ඇසට කුමන හෝ රසායන ද්‍රව්‍යයක් ඇතුල් වීම
රෝගී ලක්ෂණ
- පෙනීම අපැහැදිලි වීම
- ඇස් කැසීම
- ඇස්වල තෙහෙට්ටුව
- පෙනීම දෙකක් ලෙස පෙනීම
- ඇසට වෙහෙස ඇතිවීම
- ඇස් දැවිල්ල
- පරිගණකය දෙස බලා සිටීමේදී කදුළු වැගිරීම
ප්‍රතිකාර මෙවැනි ලක්ෂණ ඇති විටෙක වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවට යාම අත්‍යවශ්‍ය වෙනවා. එවිට වෛද්‍යවරයා බොහෝවිට ඇසට කෘතීම කදුළු දැමීම නිර්දේශ කරනු ලබනවා. ඝනත්වය අඩු කදුළු බිංදු සහ ඝනත්වය වැඩි කදුළු බිංදු වශයෙන් කදුළු බිංදු වර්ග පවතිනවා. ඒවා ඇසේ ඇති වියළීමට අනුව කදුළු බිංදුවල ඝනත්වය සසදා දිනපතාම මෙය ඇසට දැමිය යුතු වෙනවා.මේ කදුළු බෙහෙත් මගින් මේ රෝගී තත්ත්වය බොහෝදුරට මගහරවා ගන්නට පුළුවන්.
මෙවැනි රෝගීන් වෛද්‍ය උපදෙස් මත රාත්‍රීයේ නින්දට පෙර කදුළු ඖෂධ ලෙස භාවිතා කළ යුතු වෙනවා.මේ දිගුකාලීනව ඇසට දමන බෙහෙත්වලින් කිසිවිටෙක අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. එයින් සිදුවෙන්නේ ඇසට ඇතිවන ආබාධ අවම කිරීමයි.
ඇතැම් අවස්ථාවලදී ඇසේ ඇති කදුළු එළියට ගලායාම නිසි පරිදි සිදු නොවුණොත් විවිධ ක්‍රම මගින් ඇසට කදුළු ගලාඑන ප්‍රමාණය වැඩි කරගන්නට පුළුවන්. එමගින් ද ඇස වියළි වීමේ රෝගය සුවකර ගන්නට පුළුවන්.
ඇස් වියළීම වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු උපදෙස්

- පරිගණකය භාවිතයේදී පරිගණක තිරය ඇසේ මට්ටමට වඩා පහළින් තබා ගන්න.
- පරිගණකයේ මතුපිට තීරය අංශක 10 හෝ 20 ක් ඇලකර තබා ගන්න.
- දෙපා බිම ස්පර්ශ වන ලෙස තබා ගන්න. පරිගණයේ ආලෝකය අඩු කර තබා ගන්න.
- වැඩ කරද්දි සෑම විනාඩි 20 ට වරක්ම තත්පර 20 ක විවේකයක් ලබා ගන්න. එවිට ඇස් පිය ගසමින් ඈත ඇති වස්තුවක් දෙස බලා සිටීම හෝ ඇස් පියාගෙන සිටීම වැදගත්.
- පරිගණකය සමඟ වැඩ කරද්දි ඒ සඳහා විශේෂ වූ කණ්ණාඩි භාවිතා කරන්න.
- නිතර දියර වර්ග වැඩිපුර පානය කරන්න. විශේෂයෙන් ඩිජිටල් තිරයන් සමීපයේ වැඩ කටයුතු කරද්දි නිතරම ජලය පානය කරන්න.
ඒ හැරුණාම ඇසට හානි සිදුවිය හැකි පාරිසරික තත්ත්වයන්ගෙන් ඈත්වී සිටීමත් ලෙස ආරක්ෂා කරගන්නට් බෙහෙවින් හේතු වෙනවා.
මෙය රෝග තත්ත්වයක් ලෙස ඇතිවෙනවා වගේම බොහෝ අයෙකුට තාවකාලික අපහසුතාවයක් ලෙසත් ඇති වෙනවා. නමුත් මෙය සඳහා නිසිපරිදි ප්‍රතිකාර නොකිරීමෙන් පෙනීම පවා අහිමි වී යන්නට පුළුවන්. ඒ නිසාවෙන් මේ ඇස් වියළි වීම ගැන ඔබ සැලකිලිමත් වීම ඉතා වැදගත්.