සම වියළි බවට පත්වීම නිසා පාදවල වගේම වෙනත් ස්ථානවලත් කොරල ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. මේ තත්ත්වය කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටි උදවිය දක්වාම අය තුළ දකින්නට ලැබෙන තත්ත්වයක්. කොහොමවුණත් මේ සමේ කොරල ස්වභාවය ඔබේ සුන්දර බව අඩු කරන ගැටළුවක් නිසා බොහෝදෙනා මේ සම්බන්ධයෙන් කලකිරීමට පත්වෙලා ඉන්නවා. ඉතින් අපි අද කතා කරමු මේ ආකාරයට සමේ කොරල තත්ත්වයන් ඇති වීම සග එයට සිදුකළ හැකි ප්‍රතිකර්ම පිළිබඳව.
ප්‍රධාන වශයෙන් මේ කොරල ඇතිවෙන්නට බලපාන හේතු 3 ක් අපිට හඳුනා ගන්නට පුළුවන්.
- ජාන මවට හෝ පියාට මේ කොරල් තත්ත්වයන් පවතින්නේ නම් එය බොහෝදුරට දරුවාටත් ඇති වෙන්නට හැකියාව පවතිනවා. ජානමය වශයෙන් ඇතිවන කොරල තත්ත්වයන් වෙනත් හේතු මත තවත් වර්ධනය වන්නට හැකියාව තියෙනවා.
- රෝග තත්ත්වයන්
- පෝෂණ ඌණතා
- පිරිසිදු බව නැතිවිම
- අධික ලෙස සමෙන් ජලය ඉවත් වීම අඩුවෙන් ජලය පානය කිරීම, වියළි පරිසරය, සමේ තෙතමනය ආරක්ෂා කරන තුනී තෙල් පටලය ඉවත්ව යාම මෙසේ සමෙන් ජලය ඉවත්ව යන්නට හේතු වෙනවා. අපේ සමේ තෙතමනය ආරක්ෂා කරන මේ තුනී තෙල් පටලය සැර සබන් නිතර භාවිතයේදී, නිතර ස්නානයේදී, අධික ලෙස ඇල්කොහොල් අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන බහුලව භාවිතයේදී සහ තරමක් උණුසුම් ජලයෙන් ඇඟ සේදීමේදීත් ඉතා ඉක්මනින් ඉවත්ව යනවා.මේ හේතු එකක් හෝ කිහිපයක් බලපෑමෙන් ඇතිවන මේ තත්ත්වයේදී සම අධිකව වියළීමට ලක් වී කොටු හැඩයකට සම පැලීයාම සිදු වෙනවා. ඒ ප්‍රදේශය තරමක් අවපැහැ ගැන්වීමක් වගේම තරමක් කසන සුළු ගතියක් ද ඇති වන්නට පුළුවන්. කාන්තාවන්ගේ නම් වැඩි වශයෙන් මේ තත්ත්වය දණහිසෙන් පහළ පාදවල අත්වල බෙල්ල ආදී ප්‍රදේශවල ඇති වෙනවා. ඉතින් මේ තත්ත්වයට නිසි පරිදි පිළියම් නොකළහොත් සම කැසීම නිසා රතුවී තුවාල වෙන්නත් පුළුවන්. එය කඩුවේගන් හෙවත් එක්සිමා සහිත සමක් බවට පත් වෙනවා. එය තරමක් බරපතල තත්ත්වයක් නිසාවෙන් මුල් කාලීනව ඒ කොරල ස්වභාවය සඳහා ප්‍රතිකාර කිරීම ඉතා වැදගත්.
කොරල සුවකර ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස්

- සබන් භාවිතය නතර කරන්න.මේ තත්ත්වය සුවවන තුරු හෝ ඒ ප්‍රදේශවල සබන් ගැල්වීම නතර කිරීම වඩාත් යෝග්‍යයයි. එසේත් නැත්නම් ඍජුවම ඒ ප්‍රදේශවලට සබන් භාවිතා කිරීම හෝ අඩු කළ යුතුමයි. මොකද සබන් සම වියළීමට ප්‍රධානම හේතුවක්. සබන් වෙනුවට සබන් නැති ක්ලෙන්සර් හෝ ආදේශකයක් භාවිතා කරන්න.
- තරමක් සීතල ජලය ස්නානයේ දී භාවිතා කරන්න.එමගින් සමේ වියළි බව දුරුවී සමේ ඇති කසන ස්වභාවයත් සමනය වෙලා යනවා.
- ස්නානයෙන් පසුව මොයිස්චරයිසර් ආලේපනයක් භාවිතා කරන්න.සම පිරිසිදු කර ගැනීමෙන් පසුව අනිවාර්යෙන්ම Moisturizer ආලේපනයක් ගැල්විය යුතුමයි. විශේෂයෙන්ම කොරල සහිත වියළි සමේ දවසට දෙවරක් හෝ තුන්වරක් තරමක ප්‍රමාණයක් ආලේප කිරීම මේ ගැටළුව ඉතා ඉක්මනින් සුවපත් කරගන්නට උපකාරී වෙනවා.
- මොයිස්චර්යිසර් ආලේපනයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක්ම පවතිනවා. වෙළදපොලේ Moisturizeing Lotion සහ Moisturizing Cream යනුවෙන් වර්ග 2 ක් තියෙනවා. මෙහි Lotion එකක ඇති මොයිස්චර්යිසර් ගතියට වඩා Moisturizing Cream එකක ඇති මොයිස්චර්යිසින් ගතිය වැඩියි. මේ දෙකටම වඩා Moisturizing Ointment එකක ඇති මොයිස්චරයිසර් ගතිය ඉහළයි.
- ඒ වගේම ඒ නිෂ්පාදන තෝරා ගැනීමේදී සුවඳ නැති හෝ සුවඳ ඉතා අඩු නිෂ්පාදනයක් තෝරා ගන්න. සුවඳ අඩු නම් එහි අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය අඩුයි.
- Moisturizing ආලේපනයක් ගැල්වීමට පෙර ශීතකරණයේ තබා ඒ සිසිලස සමඟ ආලේප කරන්න. එය මේ කසන ස්වභාවය අඩු කරගන්නටත් උපකාරී වෙනවා.
- පොලියෙස්ටර් ආදී කෘතීම රෙදි වෙනුවට කපු රෙදී භාවිතා කරන්න. එය සමේ කැසීම අඩුකර ගන්නට උපකාරී වෙනවා.
නිවසේදී සමේ වියළි බව දුරුකර ගන්නට භාවිතා කළ හැකි සත්කාර

1. වැස්ලින් ජෙල් මේස හැදි 3 (Wax Gel ), විටමින් E කරල් 2 ක් සහ කහ කුඩු තේ හැදි කාලක් ගෙන හොඳින් මිශ්‍රකර ගෙන හොඳින් අසුරා ශීතකරණයේ තබා ගෙන භාවිතයට ගන්න.
2. අවශ්‍ය ද්‍රව්‍ය
- කෝමාරිකා ජෙල්
- පොතු ඉවත් කර කුඩාවට කපාගත් දොඩම් ගෙඩියක්
- විටමින් E කරල්
කෝමාරිකා ජෙල් සහ කපාගත් දොඩම් ගෙඩිය හොඳින් බ්ලෙන්ඩර් කරගෙන එයට විටමින් E කරල් 3 ක් එකතු කර මිශ්‍රකරන්න.පසුව එය සමේ ආලේප කර විනාඩි 5 ක් පමණ සම්බාහනය කර විනාඩි 30 ක් තබා සෝදා හරින්න. මේ සත්කාරය දිනපතා සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
3. අවශ්‍ය ද්‍රව්‍ය
- එඩරු තෙල් තේ හැදි 1 ක්
- වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් තේ හැදි 1 ක්
- විටමින් E කරල් 2 ක තෙල්
මේ සියල්ල හොඳින් මිශ්‍රකර ගන්න. මෙය දිනපතා කොරල සහිත සමේ ආලේප කර සම්බාහනය කර පැය 2 ක් පමණ තබා සෝදා හරින්න. එසේ නැත්නම් රාත්‍රී නින්දට පෙර ගල්වා පසුදා සෝදා ඉවත් කරන්නත් පුළුවන්.සමට හානි කරන ඒ රෝග තත්ත්වය ඉතා පහසුවෙන් සුවකර ගන්නට මේ සත්කාර ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.