කොරල නැති කරන ස්වභාවික සත්කාර 8 ක්

health tips

අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය තමයි සම කියන්නේ. අපේ සුන්දරත්වය වැඩි කරන්න වගේම සුන්දරත්වයට හානි කරන්නටත් වැඩි බලපෑමක් සම තුළින් සිදු වෙනවා.සමේ ඇතිවන කොරළ කියන්නේ කාන්තා පිරිමි සැමගේම සුන්දරත්වයට හානි ගෙන දෙන පීඩාකාරී තත්ත්වයක්. අත්වල වගේම කකුල්වලත් ඇතැම් අයගේ මුහුණෙත් මේ කොරල් තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. මේ නිසාම සමාජය ඉදිරියේ ලැජ්ජාවට සහ අපහසුතාවයට පත්වෙන්නට අපට සිදු වෙනවා. සම වියළි බවට පත්ව කොරල් ඇතිවීම යම් රෝගයක රෝග ලක්ෂණ ලෙසත් ඇතිවිය හැකි නමුත් වැඩි වශයෙන් සමේ කොරල ඇතිවෙන්නේ සමේ තෙතමනය මදිකම නිසා.ඉතින් ඔබත් මේ කොරල නිසා පීඩාවට පත්ව සිටිනවා නම් ඔබට මේ තත්ත්වය මගහරවා ගෙන සම දීප්තිමත්ව තබා ගන්නට උපකාරී වන සත්කාර කිහිපයක් ගැන තමයි මේ කියන්නට යන්නේ. උනන්දුව තියෙන සෑම කෙනෙක්ටම ඉතා ඉක්මනින් මේ පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්නට පුළුවන්.

කොරල සම නැතිකර ගන්නට නම් කොරල ඇතිවෙන්නට බලපාන සාධක පිළිබඳව දැන සිටිය යුතුයි. මොකද මේ රෝග ඇතිවෙන හේතුවලට අපිට පිළියම් කළ හැකි නිසා. 

කොරල ඇතිවීමට හේතු 

  • ජානමය හේතු
  • සර්වාංග රෝගී තත්ත්වයන් 
  • තයිරොයිඩ් හෝර්මෝනයේ අඩු හෝ වැඩි බව  
  • අක්මාවේ රෝග තත්ත්වයන් හා විටමින් ඌණතා 
  • ශරීරයේ මේදය අඩු කරන ඖෂධ භාවිතය  ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම. විශේෂයෙන්ම විටමින් A සහ C ඌණතාවය සම අවපැහැ වී වියලි සමක් ඇතිවෙන්නට බලපානු ලබනවා.
  • ජලය අඩුවෙන් පානය කිරීම 
  • ඉහළ පරිසර උෂ්ණත්වය 
  • නිතර අත් හා කකුල්වල රෝම ඉවත් කිරීම
  • උණුසුම් ජලයෙන් ස්නානය 
  • සම වියළි බවට පත්කරන විවිධ සබන් වර්ග හා ආලේපන 

වියළි සම දුරු කරන්න කළ හැකි දේ  

  • වැඩිපුර ජලය පානය කරන්න.
  • පිපිඤ්ඤා, පැණි කොමඩු, කැකිරි, සාරණ, නිවිති වැනි දියරමය ආහාර පලතුරු වර්ග වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්න.
  • පැණි කොමඩු යුෂ, කැරට් යුෂ, තැඹිලි වතුර දිනපතා පානය කරන්න.
  • උණුවතුර ස්නානයෙන් වැළකී සිටින්න.
  • සබන් වගේම ෆේස් වොශ් ආදිය සමට ගැලපෙන ලෙස තෝරා ගන්න. 
  • සිරුරේ අනවශ්‍ය  කැලරි දහනය කර ගන්න. 
  • ඇඟේ දහදිය පිට කරන ක්‍රමවේද සිදු කිරීම.
  • අව්වට යාමට විනාඩි 20 කට පෙර සන් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.
  • දිනකට තුන් වරක්වත් තෙල් සහිත බොඩිලෝෂන් එකක් ආලේප කරන්න.
  • අත් පා වැක්ස් කිරීම් තුළින් රෝම කූප ඉවත් කිරීම සඳහා රූපලාවන්‍ය ශිල්පීන්ගේ උපදෙස් ලබා ගන්න.
  • වෛද්‍ය උපදෙස් මත මෝර ගුලි ලබා ගන්න.
  • කැෆේන් සහිත පාන වර්ග නිතර ගන්නට එපා.
  • නිතර අයිස් වතුර පානය නොකරන්න.
  • වායු සමීකරණ සහිත කාමරයක දවසම ගත කරන අයෙක් නම් පානය කරන ජලය ප්‍රමාණය වැඩි කරන්න. ඒ වගේම වැඩ කරන මේසය මත පීරිසියක් වැනි යමක් තබා එයට ජලය පුරවා තබා ගැනීමත් මේ සඳහා ඉතා සුදුසුයි.එය වාෂ්ප වී ගිය විට නැවත පුරවා තබා ගන්නට අමතක කරන්න එපා.
  • රෙදි සේදීමේදී නිතර ඩිචර්ඩන්ට් සමේ තැවරීමෙන් සම වියළී යා හැකි නිසා එවැනි අවස්ථාවල රබර් අත් මේස් භාවිතා කරන්න.
  • සුව නින්දක්  ලබා ගන්න. 

කොරල සමට නිවසේදී කළ හැකි සත්කාර 

  • කොරල් සහිත සමකට සත්කාර කිරීමට පෙර මැරුණු සම ඉවත් කළ යුතුයි. ඒ සඳහා පලපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහය ලබා ගන්න. 
  • කෝමාරිකා මදය සූරලා එය සම මත ආලෙප කර විනාඩි 30 ක් පමණ තබා සෝදා හරින්න.
  • කොහොඹ කොළ අඹරා ලබාගත් යුෂ ආලේප කරන්න. නැත්නම් මේ සඳහා කොහොඹ තෙල් ද භාවිතා කළ හැකියි.
  • නින්දට යාමට පෙර ආමන්ඩ් ඔයිල් තේ හැන්දක් දැමූ මද උණුසුම් කිරි වීදුරුවක් පානය කරන්න. එය සම වියලීමට වගේම කොරල ඇතිවීමත් වළක්වනු ලබනවා.
  • ස්නානය කරන්නට විනාඩි 10 කට පෙර සමේ මී පැණි ගල්වා සෝදා හරින්න.ඒ වගේම මේ සඳහා මී පැණි නැත්නම් තල තෙල් ද භාවිතා කරන්නට පුළුවන්.
  • ඔලිව් තෙල් රාත්‍රී නින්දට පෙර කකුල්වල සහ අත්වල ආලේප කරන්න. ඔලිව් තෙල් නැත්නම් ඒ වෙනුවට එඩරු තෙල් හෝ ආමන්ඩ් තෙල් භාවිතා කරන්න.
  • යොදය සහිත කිරි පිපිඤ්ඤා සමඟ මිශ්‍ර කර එයට වියළි කහ කැබැල්ලක් උරච්චි කර දමා ඒ මිශ්‍රණය ආලේප කරන්න. 
  • නැවුම් කිරි බීමට ගන්නට පෙර මේස හැඳි 2 ක් පමණ ගෙන සමේ ආලේප කරන්න.
  • මී පැණි සහ කෝමාරිකා ආලේප කරන්න. එය ස්වාභාවික වගේම ඉතාම හොඳ මොයිස්චරයිසර් එකක් ලෙස ක්‍රියා කරනවා.
  • යෝගට් සහ අලිගැට පේර පොඩි කර කොරල සහිත සමේ ආලේප කරන්න.
  • ඔලිද කොළ මිටක් ගෙන කොටා එහි යුෂ කොරල ඇති ස්ථානවල ආලේප කර විනාඩි 20 කින් සෝදා හරින්න.
  • ස්නානයට පෙර වර්ජින් කොකනට් ඔයිල් සමේ ආලේප කර සම්බාහනය කරන්න. මෙය ස්නානයට පැය දෙකකට පෙර සිදුකළ යුතු අතර සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.
  • සම නිතර පිරිසිදුව තබා ගනිමින් ශරීර අභ්‍යන්තරයට නිසි පෝෂණයක් ලැබෙන ආහාර පාන ලබා ගැනීමෙන් ද ඉහත සඳහන් කළ ස්වාභාවික සත්කාර අනුගමනය කිරීමෙන් ද මේ පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්නට පුළුවන්.