දරුවන්ගේ හිසේ ගැල්වීමෙන් පවා මතක ශක්තිය වර්ධනය වෙන දුහුදු ශාකයේ ගුණ 15 ක්

health tips

ආධාරක ශාකයක් මත ඉතා පහසුවෙන් වැඩෙන කාෂ්ඨීය වැල් විශේෂයක් ලෙස දුහුදු වැල් පෙන්වා දිය හැකිය. ඒකාන්තරව සරල පත්‍ර පිහිටන මෙම වැල් විශේෂයේ ළපටි අතුවල වා සිදුරු දැකගත හැකිය. මෙම වැල්වල පත්‍ර කර පත්‍රික වන අතර පත්‍ර මතුපිට සිනිඳු හා චර්මල වේ. 

දුහුදු වැල් වල හටගන්නා පුෂ්ප මංජරියක් ආකාරයට පිහිටන අතර පුං පුෂ්පය හා ජායාංග පුෂ්පය වෙන වෙනම පිහිටනු ලබයි. දුහුදු පල උප ගෝලාකාර වන අතර එක් ඵලයක් තුල දීප්තිමත් කහ පැහැයෙන් යුක්ත  බීජ තුනක් හෝ හයක් අතර ප්‍රමාණයක් පිහිටයි. මෙම බීජ අවට ද රතු පැහැති බීජ ආවරණයක් පවතී. 

ඉතා දුර්ලභ ගණයේ දේශීය ඖෂධීය වැල් විශේෂයක් වන දුහුදු රත්නපුර හා බලංගොඩ ප්‍රදේශ වල පරිසර මට්ටම් තුළ ස්වභාවිකව වැඩෙන ආකාරයක් දැකගත හැකිය. එනමුත් මෙම වැල් විශේෂය අතිශයින්ම දුර්ලභ වේ. 

ඖෂධ සැකසීමේදී දුහුදු වැල් වල සම්පූර්ණ කොටස් ම භාවිතයට ගනියි. ඒ අනුව දුහුදු ඇට, කොල, මුල්, සුඹුල, තෙල් යන කොටස් ශරීරයේ ඇතිවන ලෙඩ රෝග සඳහා ඖෂධ ලෙස භාවිත කරයි. 

දුහුදු ඖෂධීය ගුණයෙන් අනූන නිසාවෙන් පහත ආකාරයේ ගුණ කර්ම රැසක් එමගින් ලබාගත හැකිය. 

  • නාඩි බල කාරක ගුණය 
  • වේදනාස්තාපක ගුණය 
  • ස්මරණ ගුණය 
  • උත්තේජක ගුණය 
  • කුසගිනි වැඩීමේ ගුණය 
  • කාමෝද්දීපක ගුණය 
  • මල භේදක ගුණය 
  • ශරීර ශක්තිය වැඩිමේ ගුණය 
  • රුධිර දෝෂ නැසීමේ ගුණය 
  • මුත්‍ර කාරක ගුණය 
  • ස්වේද කාරක ගුණය 
  • විසබීජහරණ ගුණය 
  • වනරෝපන ගුණය ආදී වශයෙන් ශරීරයට හිතකර ගුණ කර්ම රැසක් දුහුදු ඖෂධයෙන් ලබාගත හැකිය. 

මෙම වැල් විශේෂයේ ඖෂධීය භාවිතයන් ද බොහෝමයක් පවතී. 

මතක ශක්තිය වර්ධනය කරයි. අධ්‍යාපනය ලබන වයසේ දුවා දරුවන්ට මතක ශක්තිය වර්ධනය කර ගැනීම අතිශයින්ම වැදගත් වේ. මේ සඳහා දුහුදු තෙල් එළඟිතෙල් සමඟ මිශ්‍රකර හිසෙහි ගැල්වීම යෝග්‍යවේ. 

හිසේ කැක්කුම නැති කරයි.හිසේ කැක්කුම ඇති වූ අවස්ථාවන් වලදී දුහුදු තෙල් එඬරු තෙල් සමඟ මිශ්‍රකර හිසෙහි ගැල්වීම මගින් හිසේ කැක්කුමට ඉක්මන් සුවයක් ලබාගත හැකිය. 

කල්ගත වූ වණ සුවපත් කරයි. කල්ගත වුවත් සුවපත් නොවන වණ  වල දී දුහුදු ඇට ඇල් දියෙන් අඹරා වණයේ ආලේප කිරීමෙන් ඒවා සුවපත් කරගත හැකිය. 

උකුණන් වඳකරයි. උකුණන් සිටීම හිසකෙස්වල නිරෝගී භාවයට දැඩි තර්ජනයකි. එබැවින් උකුණන් වද කර ගැනීම සඳහා දුහුදු සුඹුල් ගෙන හොඳින් අඹරා ඊට අබ තෙල් මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කිරීමෙන් උකුණන් වඳකර ගත හැකිය. 

ඔසප් චක්‍රය ක්‍රමවත් කර වේදනාවන් සුව කරයි. වර්තමානයේ බොහෝ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත්ව ක්‍රියාත්මක වන අතර ඔසප් සමයේදී අධික වේදනාවක් දැනීම සුලබ තත්වයකි. මේවා වලකා ගැනීම සඳහා දුහුදු කොළ කොටා වෙන්කර ගන්නා යුෂ හෝ දුහුදු තෙල් වඩාත් යෝග්‍ය වේ. මීට අමතරව දුහුදු කොළ ව්‍යංජනයක් ආකාරයට සකසා ආහාරයට ගැනීම ද මෙම ගැටළු සදහා හොද ප්‍රතිකාරයකි. 

වාත වේදනා නසයි. වාත වේදනා නැසීම සඳහා දුහුදු ප්‍රත්‍යක්ෂ ඔසුවකි. ඒ අනුව දුහුදු තෙල් භාවිතා කිරීමෙන් වාත වේදනා සුවපත් කරගත හැකිය. 

කුඩා දරුවන්ගේ ගොත බව නැති කරයි. දරුවන්ට කුඩා කාලයේ ඇතිවන ගොතබව නැතිකර ගැනීම සඳහා දුහුදු ඇට තෙල් වලට ගිතෙල් ස්වල්පයක් මිශ්‍රකර ඉන් බිදුවක් පමණ පෙවීමෙන් එම ගොතබව නැතිකර ගත හැකි ය. 

අධික ස්ථුලභාවය පාලනය කරයි. කාන්තාවන් හා පුරුෂයන් යන දෙපිරිසටම ඇතිවන අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් ලෙස  අධික තරබාරු බව පෙන්වාදිය හැකිය. එම තරබාරු බව පාලනය කර ගැනීම සදහා දුහුදු  තෙල් බිංදු 5 බැගින් උදේ සවස එක දිගට මාස 3ක් පමණ පානය කිරීමෙන් නිරෝගී සිරුරක් ලබා ගත හැකිය. මීට අමතරව පහත රෝග සඳහා ද දුහුදු ගුණදායක ඔසුවකි. 

  • රක්ත අතීසාරය හා අර්ශස් රෝගය සුව කරයි. 
  • බඩවැල්වල වේදනාවන් සුව කරයි. 
  • මලබද්ධය ඇතිවීම වළකාලයි. 
  • ස්නායු දුර්වලතා ඇතිවීම වළකාලයි. 
  • කුශ්ට රෝග සුව කරයි. 
  • ලිංගික බෙලහීනතාවය ඇතිවීම වළකාලයි. 
  • දියවැඩියාව පාලනය කරයි. 

ආදී වශයෙන් ශරීරයේ ඇතිවන බොහෝ ලෙඩරෝග සඳහා යෝග්‍ය ඖෂධයක් ලෙස දුහුදු හදුනාගත හැකි ය. එනම් මෙය දුර්ලභ ගණයේ දේශීය වැල් විශේෂයකි.