කන් අගුල් වැටීම යථා තත්ත්වයට පත් කරන ක්‍රම 9 ක්

health tips

කන ආශ්‍රිතව බහුලවම අපිට ඇතිවන තත්ත්වයක් තමයි කන් අගුල් වැටීම නැත්නම් කන අවහිරවීම කියන්නේ. මේ තත්ත්වය නම් බොහෝදෙනෙක් එතරම් ගණන් ගන්නා බවක් නම් පෙනෙන්නට නැහැ. කඳු නැගීමකදී, ගුවන් යානාවක ගමන් කරද්දී,  පිහිනීමේදී වගේ කටයුතුවලදී මේ අත්දැකීම සාමාන්‍යයෙන් අපට අත්දකින්නට සිදු වෙනවා. ඒ සාමාන්‍ය තත්ත්වයන් හැරුණාම ස්නානය කළ පසු පසුදිනයේදී කන් අගුල් වැටීමේ තත්ත්වයක් පවා ඇතැම් අයට ඇති වෙනවා.  ඉතින් ඔබත් මේ තත්ත්වය අත්විද ඇති බවට නම් සැකයක් නැහැ.මේ තත්ත්වය රෝග තත්ත්වයක් ද නැත්නම් සාමාන්‍ය තත්ත්වයක් ද කියන ගැටළුව ඔබටත්  ඇති. මොකද ක්ෂණිකව ඇතිවෙලා යම් කාලයකින් නැතිවෙලා යන මේ තත්ත්වය ඇතැම් අයෙකුට දිනක් පුරාවට වගේම දින කිහිපයක් පුරාවටත් ඇති වන්නට හැකියාව පවතින නිසා. ඉතින් අපි කතා කරමු මේ කන් අගුල් වැටීම සම්බන්ධව.

කන කියන්නේ අපේ නොදැනුවත්කම හෝ නොසැලකිලිමත්කම නිසාවෙන් තත්ත්පරයක් ඇතුළත වුණත් ඇසීම නැතිව යන්නට හැකියාවක් තියෙන ඉන්ද්‍රියක්. මොකද කන ඒ තරම්ම සංවේදී ඉන්ද්‍රියක් වන නිසා. ඒ නිසා අපේ අනිත් අවයවයන් ගැන වගේම කන පිළිබඳවත් සැලකිලිමත් වීම ඒ නිසා අතිශයින්ම වැදගත්. ඉතින් අපි අද කතා කරන කන් අගුල් වැටීම කියන තත්ත්වය අපි සැලකිල්ලට නොගත්තත් එය වෛද්‍ය විද්‍යාවේදී සලකනු ලබන්නේ කන ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක් විදියට. නමුත් දවසට එක් පාරක් ඇතිව නැතිව යන අගුල් වැටීම නම් රෝගී තත්ත්වයක් වන්නේ නැහැ. දිගින් දිගටම මේ තත්ත්වය අත්විදින්නට සිදු වෙනවා නම් එය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක්.

සාමාන්‍යයෙන් අපේ කන බාහිර කන, මැද කන සහ ඇතුල් කන වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි. බාහිර කන  බාහිර ශ්‍රවන නාලය මගින් බාහිර පරිසරයට සම්බන්ධ වෙනවා. මැද කන කර්ණ  අස්ථි සහිත  වායුගෝලීය කුටීරයක්. බාහිර කන සහ  මැද කන වෙන්කරමින්  කර්ණ පටහ පටලය පවතිනවා. කර්ණ පටහ පටලය නිසා  බාහිර කන ඔස්සේ  මැද කනට වායුව ඇතුල් වීම වළකනවා. කර්ණ පටහ පටලයේ  නිසි ක්‍රියාකාරිත්වය සඳහා බාහිර කනේ සහ මැද කනේ වායු  පීඩනය එකම  මට්ටමක තබා ගැනීම වැදගත්. එයින් කන් බෙරය දෙපසත්  පීඩනය සමාන  කිරීම සඳහා  මැද කන හා නාසා ග්‍රසනිකාව එනම් උගුරේ ඉහළ කොටස සම්බන්ධ කරමින්  යුෂ්ටේකීය නාලය  පවතිනවා. 

සාමාන්‍ය  තත්ත්වය යටතේදී  යුෂ්ටේකීය නාලයෙන්  ග්‍රසනිකා අන්තය වැසී පවතිනවා. ගිලීම, ඈනුම් යැවීම,  කිවිසීම වගේ ක්‍රියාකාරකම්වලදී  යුෂ්ටේකීය නාලය  විවර වෙනවා. සාමාන්‍ය තත්ත්වයේදී බාහිර කනේ සහ මැද කනේ  පීඩනය සමාන වෙනවා. කන්දක්  නැගීම හෝ  ගුවන් යානයකින් ඉහළ යනවිට උන්නතාංශය ඉහළ පරිසරවල වායු ගෝලිය පීඩනය අඩු නිසා බාහිර පරිසරය හා  සම්බන්ධ කනේ  පීඩනය අඩු වෙනවා. යුෂ්ටේකීය නාලය වැසී ඇති නිසා මැද කනේ  පීඩනය ඒ ආකාරයෙන්ම පවතිනවා. බාහිර පීඩනය අවම නිසා මැද කනේ  වායූ කර්ණ පටක පටලය මත තෙරපුමක් ඇති කරනවා. මේ නිසා එය  ඉදිරියට නෙරා එනවා. ඒ නිසා බාහිර ශබ්ද හමුවේ නිසිලෙස කන් බෙරය කම්පනයට බාධා ඇතිවීමෙන්  යුෂ්ටේකීය නාලය විවර කළ හැකි  ක්‍රියාවක් එනම් කෙළ ගිලීම,  ඈනුම් ඇරීම,  කිවිසීම ආදී දේවල් සිදු කළ විට යලි එය යථා තත්ත්වයට පත් වෙනවා. 

ඉතින් අපි අද කතා කරන මේ කන් අගුල් වැටීම ඇතැම් විට එක් කනකට පමණක් ඇතිවෙන්නට පුළුවන් නමුත් ඇතැම් විට කන් දෙකේම මේ වගේ අගුල් වැටීමක් සිදු වන්නටත් පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් කන අවහිරවීමක් බැක්ටීරියා ආසාදනයක් නිසාවෙන්, කන් කලාදුරු නිසාවෙන්, ආසාත්මිකතා හෝ ප්‍රදාහයන් හේතුකරගෙනත් ඇති වන්නට පුළුවන්.

කන් අගුල් වැටීම යථා තත්ත්වයට පත් කර  හැකි ක්‍රම 

  • බැලුමක් පිම්බීම
  • රස කැවිල්ලක් හැපීම 
  • ටොන්බී මැනුවර් ක්‍රමය 

මෙය සිදු කරන්නේ වතුර උගුරක් කටට ගෙන කට වසාගෙන නාස් පුඩු තද කරගෙන එක්වරම වතුර උගුර ගිලීම මගින්.

  • කෙල ගිලීම 
  • කට විවර කර පැත්තෙන් පැත්තට හකු චලනය කිරීම.
  • ලුණු වතුරෙන් උගුර කලතවා සේදීම 

ඒ හැරුණාම තත්පර 80 ක් වැනි කෙටි කාලයක් තුළදී මේ කන් අගුල් වැටීමේ තත්ත්වය සුවකර ගන්නට අනුගනමය කළ හැකි සරල ක්‍රම කිහිපයක්ම පවතිනවා.

1. දෙඅත් මගින් මුහුණේ කම්මුල් දෙපස හොඳින් සම්බාහනය කරන්න.මෙය තත්පර 20 ක කාලයක් නොකඩවා සිදු කිරීම මගින් මේ තත්ත්වය සුවකර ගන්නට පුළුවන්. ඇතැම්විට මාංශපේශී තදවීමක් හේතුවෙන් මේ කන් අවහිර වෙනවා නම් මේ සම්බාහනය මගින් මාංශපේශී ලිහිල් වීමක් සිදුවෙලා ඒ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙනවා.

2. දෙඅත් භාවිතයෙන් කනට ඉහළින් ඇති ශංකිත පේෂිය සම්බාහනය කරන්න.මෙය තත්පර 30 ක් වගේ කාලයක් සම්බාහනය කළ යුතුයි. මේ සම්බාහනය තරමක් පීඩනයක් දැනෙන ලෙස සිදු කිරීම ඉතා වැදගත්.මොකද මේ ශංකිත පේශීය සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන්නේ  ඇතුල් කනේ මැද කොටසට නිසා. මේ සම්බාහනයේ දී ඒ ප්‍රදේශයේ වේදනාවක් දැනීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. මේ සම්බාහනයෙන් රුධිර සංසරණය වඩාත් හොඳින් සිදුවීමට හේතුවෙනවා.

3. අත් දෙකේ දබර ඇඟිලි සහ මැද ඇඟිලි උපයෝගී කර ගනිමින් ශංකිත පේශීය සමිප ප්‍රදේශයට දැනෙන ලෙස තට්ටු කරන්න.නමුත් දිනපතා නිතර නිතර මේ කන් අගුල් වැටීමේ තත්ත්වයන් ඇති වන්නේ නම් කන වගේම නාසයත් පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්නට අමතක නොකරන්න.