කන් ආසාදන (ear infections) තත්වය කුඩා ළමුන් අතර බොහෝ විට හඳුනාගන්නට ලැබෙන තත්වයක් වුවත් වැඩිහිටියන් තුළ ද මේ ගැටලුව මතුවිය හැකියි.ඊට හේතුව තමයි ලොකු කුඩා භේදයකින් තොරව අපේ මිනිස් සිරුර බැක්ටීරියා හා වෛරස වලට ගොදුරුවීමේ අවදානමක් තිබීම.ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල සහ කනේ ප්‍රදාහය (වේදනාකාරී ඉදිමුම්) තත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් හට මෙම අවදානම වැඩිය.කන් ආසාදනය වීම ඉතා පීඩාකාරී තත්වයකි. ඉන් ඔබේ කන් ආශ්‍රිත අප්‍රසන්න රෝග ලක්ෂණ මතුවිය හැකියි.ඔබත් පහත සඳහන් ආකාරයේ එවැනි රෝග ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
- කන කැසීමට පටන්ගැනීම

කන් විෂබීජයකින් ආසාදනය වූ විට මුළින්ම සියුම් කසනසුලු ගතියක් මතුවිය හැකියි.කනේ අභ්‍යන්තර නාළය තුළ මෙම කැසිල්ල ගතිය වර්ධනය විය හැකි අතර ආසාදන තත්වයට නිසි ලෙස ප්‍රතිකාර නොගැනීමෙන් මෙම ලක්ෂණ තවත් නරක අතට හැරීමට පටන්ගත හැකියි.
- කන ඇතුළත හා බාහිර කොටස් රතුවී තිබීම

අභ්‍යන්තර කර්ණ නාළය සියුම් ලෙස රතුවීමට පටන්ගත හැකියි.මේ තත්වය උඩු දිවීමෙන් කන ඇතුළත පමණක් නොව කනේ බාහිර කොටස් වල සම ද පැහැදිලි ලෙස රතුවීමට පටන්ගනියි.
- කනේ වේදනාව හා අපහසුතා මතුවීම

මුළදී ආසාදිත කන ආශ්‍රිතව සාමාන්‍ය වේදනාවක් මතුවෙයි.බොහෝ විට කන් පෙත්ත පිටුපසට අදින විට හෝ කන් ඇටය තල්ලු කරන විට වේදනාවක් දැනෙයි.එසේ කළ පසු ටික මොහොතකින් ඔබේ කන පිරී ඇති බවක් දැනීමට පටන්ගනියි.බරපතල කන් ආසාදන තත්වයන් වලදී කනේ සිට ඔබේ බෙල්ල , මුහුණ හෝ මුහුණේ පැත්තක් දක්වා එම වේදනාව පැතිරිය හැකියි
- ගන්ධයකින් තොර තරලයක් කනෙන් වෑස්සීම

අනෙක් රෝග ලක්ෂණ සමඟ ආසාදිත කනෙන් දුගඳකින් තොර තරලයක් වෑස්සිය හැකියි.මුළදී එසේ වන්නේ ඉතා සුළු ප්‍රමාණයකින් වුවත් ආසාදනය අඛණ්ඩව තවදුරටත් වර්ධනය වුවහොත් කනෙන් අධික ලෙස ඒවා ස්‍රාවය වීමට පටන්ගත හැකියි.
- කන ඇතුළින් යම් ශබ්දයක් ඇසීම

සියුම් කන් ආසාදන තත්වයන් හි මෙම රෝග ලක්ෂණය බොහෝ විට හඳුනාගැනීමට ලැබෙන්නේ නොමැති තරම්ය.නමුත් බරපතල කන් ආසාදනයකදී ඔබේ ශ්‍රවණ (කන් ඇසීමේ) හැකියාවට පවා බලපෑම් ඇතිවිය හැකියි.පෙර මෙන් හොඳින් කන් නෑසෙන බවක් හෝ කන ගැඹුරේ යම් ශබ්දයක් නොනැවතී දිගින් දිගටම ඇසෙන ගතියක් බොහෝවිට රෝගියා අත්දකිනු ඇත.
- බෙල්ලේ වසා ගැටිති ඉදිමී තිබීම

කන් ආසාදනයට නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත්,ඒ බලපෑමින් ඔබේ වසා ගැටිති පැහැදිලි ලෙස ඉදිමීමට පටන්ගත හැකියි. ආසාදනය වීමෙන් පුද්ගලයාගේ කන (කන් කුහරය) පූර්ණ ලෙස අවහිර වී තිබුණහොත් බොහෝවිට ඔහුට/ඇයට උණ ගතිය ඇතිවිය හැකියි.
කන් ආසාදන ඇතිවීම් වළක්වාගන්නේ කොහොමද?
- කොටන් බඩ් හෝ වෙනත් ආගන්තුක ද්‍රව්‍ය කනට ඇතුල් කරන්න එපා!

බොහෝ අය කන් පිරිසිදු කීරීමට කියා කොටන් බඩ් වැනි දේවල් භාවිත කරනවා.නමුත් ඒවා කනට ඇතුල් කිරීමේදී සිදුවන්නේ කනේ අග්ගිස්සට පැමිණ තිබූ කන් කලාඳුරු (කන් ඉටි) නැවත කනේ ගැඹුරටම තල්ලු වී යාමයි.ඒවා භාවිත කිරීමේදි කන් ඇතුළතින් යම් අපහසුතාවක් දැනේ නම් වහාම භාවිතය නතර කරන්න.යතුරු කැරලි,කොණ්ඩ කටු, හැට්ට කටු,පෑන් ක්ලිප්ස් හෝ වෙනත් උල් උපකරණ වලින් කන් කැසීමෙන් වළකින්න.මේවා භාවිතයෙන් ඇතැම් විට ඔබේ කන් වල සමේ අපහසුතා මතුවීම, කන් තුවාල වීම හෝ කන් බෙරයට පවා හානි ඇතිවිය හැකියි.
- පිහිනන විට හිස්වැස්මක් හෝ ‘ඉයර් ප්ලග්ස්’ දෙකක් භාවිත කරන්න

ඇතැම් පුද්ගලයින් නිතර නිතර කන් ආසාදන වලට ගොදුරුවේ.ඔබත් ඒ අතරින් කෙනෙක් නම් ඔබේ පරිස්සම ගැන වැඩිපුර සිතිය යුතු වෙනවා.ඔබ පිහිනන ස්ථානයේ ජලය ඇතැම් විට දූෂිතව තිබිය හැකියි.කනට ජලය ඇතුල් වීම වළක්වාගැනීමට පිහිනීමට කළින් හොඳ ‘ස්විමිං කැප්’ එකක් පැලඳගන්න.නැත්නම් ඉයර් ප්ලග්ස් (කන් ඇබ) දෙකක් භාවිත කරන්න.මීට අමතරව ඔබට අනුගමනය කළ හැකි පියවර ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න ඔබට පුළුවන්.
- කන් වියළිව තබාගන්න

ස්නානය කළ පසු කන් හොඳින් වියළා ගැනීමට සැලකිලිමත්වන්න. කන පහළට නවමින් තුවායකින් කන පිසදමා පිරිසිදුකරගන්න.කනට ජලය ඇතුල් වූවා නම් හිස පහළට ඇල කරගෙන සිටින විට එම ජල බිංදු වලට ඉවතට පැමිණීමට පහසු වෙයි.තවමත් කන ඇතුළත ජල බිඳිති ඇති බවක් දැනේ නම් ‘බ්ලොව් ඩ්‍රයර්’ එකක් භාවිතයෙන් ඔබේ කන වියළා ගන්න.අඩුම උෂ්ණත්වයට හා අඩුම වේගයට සැකසුම් වෙනස්කර එය භාවිත කරන්නට අමතක කරන්න එපා! නැතිනම් ඔබේ කන තාපයට පිලිස්සෙන්නට පුළුවන්.