හිටපු ගමන් කන් කැක්කුමක් හැදෙන්න බලපාන හේතු 7 ක්

health tips

කන කියන්නේ ඇසීමට වගේම අපේ ශරීරය සමබරව තබා ගන්නටත් උපකාරී වෙන වැදගත්ම ඉන්ද්‍රියක්. ඉතින් කන ආශ්‍රිතවත් විවිධ රෝග තත්ත්වයන් අපිට ඇති වෙනවා. ඇතැම්විට අපි එතරම් නොසිතා සිදු කරන වැරදි හේතුවෙන් කනට හානි පවා සිදුවෙලා එය කන් ඇසීම නැතිවීයාමක් දක්වා වුණත් වර්ධනය වන්නට පුළුවන්. ඉතින් කන් කැක්කුම කියන තත්ත්වය බොහෝදෙනෙක් කන ආශ්‍රිතව අත්විදින තත්ත්වයක්. ඒ නිසාම අපි අද කතා කරන්නට සිතුවා කන් කැක්කුමක් ඇතිවන්නට මූලික වෙන හේතු සාධක වගේම ඒ සඳහා අපි විසින් අනුගමනය කළ යුතු පිළියම් ආදිය පිළිබඳව.

කන කැක්කුමක් ඇති වෙන්නට බලපාන හේතු 

  • කනේ ඇතිවන කැසීම් තත්ත්වයක් අධිකව කන කැසීම හේතුවෙන් පටකවල සිදුවන හානිය නිසා කන කැක්කුම ඇති වෙනවා. කැසීම නිසා කන් තුවාල වීමෙන් බාහිර ශ්‍රවණ නාලය ආසාදනය වීමෙන් කනේ ඉදිමීම් තත්ත්වයක් වුණත් ඇති වන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක ඖෂධ ආදිය ලබාදීම සිදු කරනවා.
  • කන ආශ්‍රිත ප්‍රදේශයේ ඇති හකු සන්ධිය ,සෙම් ගෙඩි ආදියේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් 
  • කන සහ නාසය අතර පවතින යුෂ්ටේකීය නාලය  අවහිරවීම 
  • කනට කෘමීන් ඇතුළුවීමකදී බාහිරින් යම් යම් දේ ඇතුල් කිරීම 
  • කන් කලාදුරු ඇතැම් විට ස්වභාවිකවම මේ ද්‍රව්‍යයන් අධිකව නිපදවීම සිදු වෙනවා. කනේ ආරක්ෂාව සඳහා පවතින මේ ද්‍රව්‍ය අධික වීම කන් කැක්කුමක් ඇති කරන්නට හේතු වෙනවා.
  • බාහිර කනට ජලය ඇතුළු වීම 
  • කන් බෙරය සිදුරු වීම කන් බෙරය සිදුරුවීම ආකාර කිහිපයකටම බලපාන්නට පුළුවන්. කන් බෙරය පිහිටා තියෙන්නේ අපේ ශ්‍රවණය සඳහා. බාහිර ශබ්ද තරංග කන් බෙරය කම්පනයට ලක්වෙලා තමයි ඇතුළට යොමු කරන්නේ. එවිට  කන් බෙරයේ සිදුරක් ඇතිවිට ඒ පුද්ගලයාගේ ශ්‍රවණය දුර්වල වන්නට පුළුවන්.සාමාන්‍යයෙන් කන් බෙරය මගින් කන අභ්‍යන්තරයට විෂබීජ ඇතුළු වීම වළක්වනු ලබනවා.පිටත කන, මැද කන අතරේ මේ කන් බෙරය බිත්තියක ආකාරයකින් තමයි පිහිටා තියෙන්නේ. යම් අවස්ථාවක කන් බෙරය සිදුරුවීමක්  වුණොත්  විෂබීජ මැද කනට  ගමන් කරන්නට හැකියාව පවතිනවා. ඒ වගේ අවස්ථාවකදී  වරින් වර කන  පැසවීමට ලක්වෙලා කනේ සැරව ගැලීම සහ කන් කැක්කුම ඇති වන්නට පුළුවන්.

කන් බෙරය සිදුරු වෙන්නට බලපාන හේතු 

කනට සිදුවන නොයෙකුත් අනතුරු කනට දැඩි පහරක් වැදීම 

ඉතා අධික ශබ්දයකට නිරාවරණය වීම (රතිඤ්ඤා / බෝම්බ ආදිය පිපිරවීමේදී ඇතිවන අධික ශබ්දය )

මෙවැනි හේතු මත කන් බෙරය සිදුරුවීමකදී කනට විෂබීජ ඇතුළුවීමක් සිදු නොවුණොත් කන් බෙරය යම් කාලයක් ඇතුළත ඉබේම නැවත සම්බන්ධ වී සකස් වෙනවා. නමුත් කනට වතුර ගියොත්, සැරව හෝ පැසවීම ආදී තත්ත්වයක් ඇති වුණත් කන් බෙරයේ සිදුර සුව වන්නේ නැහැ. ඒ නිසා අනතුරකදී හෝ කනට දැඩි පහරක් එල්ල වූ විටක හෝ සිදුකළ යුතු එකම දේ වෙන්නේ කනට ජලය ඇතුළු නොවන සේ ප්‍රවේශම් කර ගැනීම. වෙළදපොළෙන් මිලට ගත හැකි ඉයර් ප්ලග්ස්  ඒ සඳහා ඔබට භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම වැස්ලින්  සහ පුළුන් කෑල්ලක් කනට දැමීමෙනුත් කන තුළට ජලය ඇතුල් වීම වළක්වා ගන්නට පුළුවන්. යම් අවස්ථාවක කනට ජලය ඇතුල් වුණොත් එවන් අවස්ථාවක පිරිසිදු කපු රෙදි කෑල්ලක් සෝදා වේලා අයන් කරගෙන  එයින් කුඩා පහන් තිරයක් සකස් කරගෙන එය කන් තුළට දමා කුඩා වේලාවක් තබා ගන්න. එමගින් කන තුළ ඇති තෙතමනය සහ ජලය ඒ කපු පහන් තිරයට උරා ගන්නා නිසා කන පිරිසිදු කර ගන්නටත් ජලය ඉවත් කර ගන්නටත් පුළුවන්. කන හොඳින් පරෙස්සම් කරගැනීමෙන් මාසයක පමණ කාලයක් තුළ කන් බෙරය හා වීමට ලක් වෙනවා.

මැද කනේ ආසාදන අධික වීම (මේ සඳහා නිරන්තරයෙන් හෑන්ඩ් ෆ්‍රී  භාවිතා කිරීම එක් ප්‍රධාන හේතුවක් .)

ආසාදන තත්ත්වයක් නිසාවෙන් කන් බෙරය සිදුරුවීමකදී ආසාදනය වැඩි වන විට සිදුරු වැසීමක් සිදු වෙන්නේ නැහැ.එවිට ප්‍රතිජීවක ඖෂධ ලබා ගනිමින් ආසාදනය පාලනය කළ යුතු වෙනවා. යම් විටෙක මේ නිසා කන් බෙරය නොවැසුණොත් ඒ කන් බෙරයේ සිදුරම නැවත නැවත කනේ ආසාදන ඇති කරන්නටත් හේතුවක් වෙනවා. එය කනේ ඇසීම අඩු කරන්නටත් හේතු වෙනවා. ඒ නිසා ආසාදනයක් හේතුවෙන් ඇතිවන සිදුරු ආසාදනය පාලනය කිරීමෙන් පසුව ශල්‍ය  කර්මයක් මගින් බද්ධ කිරීම  සිදු කරනවා. 

 ඉතින් කන කියන්නේ ඉතාම සියුම් ඉන්ද්‍රියක්. අපි නොදැනුවත්වම කනට ගිනිකූරු, කොණ්ඩ කටු, කන් හැදි, කොට්න් බඩ් ආදිය ඇතුල් කරනවා. නමුත් එය කන ආසාදනය වෙන්නටත් කන් කැක්කුම හට ගන්නට හේතු වෙනවා. ඒ නිසා කන් කැක්කුමක් ඇති වන්නට හේතුවන කාරණාවලින් ඉවත්වෙලා සිටීම කන් කැක්කුම ඇති  නොවෙන්නට උපකාරී වෙනවා.  ඒ වගේම කන් කැක්කුමක් ඇතිවිටෙක වගේම යම් ද්‍රව්‍යයක් හෝ කෘමි සතෙක් කනට ඇතුළු වූ විටත් ඔබ කන තුළට  විවිධ දේවල් ඇතුල් නොකර වෛද්‍යවරයෙකු හමුවට ගොස් පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්න. මොකද ඔබ නොදැනුවත්වම සිදු කරන දේවල් නිසා ඔබ බිහිරි කරවන්නටත් කන ආශ්‍රිතව පවතින උගුර නාසය ආදී අනික් ඉන්ද්‍රියන්වල ගැටළු ඇති කරන්නටත් හේතු වන නිසාවෙන්.