වකුගඩු දෙක නරක්වීගෙන එනවිට පෙන්නුම් කරන රෝග ලක්ෂණ 9 ක්

health tips

අපේ රටේ වසංගතයක් වගේ පැතිරිලා යන රෝගයක් තමයි වකුගඩු රෝගය. රජරට  ප්‍රදේශයේ පමණක් නෙවෙයි අද වෙද්දි  ලංකාව පුරාම වකුගඩු රෝගීන් වාර්තා  වෙනවා. වකුගඩු අකර්මණ්‍යවීම් හේතුකරගෙන  සිදුවන මරණ සංඛ්‍යාවත් දවසින්  දවස  වැඩිවෙමින් යනවා. එනිසා වකුගඩු රෝගය  වඩාත් බරපතල ගණයේ රෝගයක් ලෙස සලකා වැඩි අවදානයක්  ඒ වෙනුවෙන් ලබාදෙන්නට අපිට සිදු වෙනවා.

අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකම නිසි ක්‍රියාකාරිත්වය අපේ ශරීරයේ නීරෝගී පැවැත්ම තීරණය කරනු ලබනවා. යම් අවස්ථාවක එක් ඉන්ද්‍රියක් හෝ කිහිපයක් අඩපණ වී යද්දි එහි ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වෙද්දි විවිධාකාරයේ ලක්ෂණවලින් ඒ බව අපිට පෙන්නුම් කරනවා. මේ වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගැටළු වඩාත් දරුණු වන්නට ප්‍රථම හඳුනා ගන්නට හැකි නම් බොහෝදෙනාට මේ වකුගඩු අකර්මණ්‍යවීම් සාර්ථකව පාලනය කරගෙන සාමාන්‍ය ආකාරයට ජීවිතය ගත කරන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා උදව් වෙන ලක්ෂණ පිළිබඳව  ජනතාව තුළ ඇති දැනුවත්භාවය මේ සඳහා වැදගත් වෙනවා.

වකුගඩු රෝග වැළදුණාම ඒ තත්ත්වය බැරෑරුම් වෙන්නේ වඩාත් සෙමෙන් . එනිසා රෝගය මුල් අවධියේදීම  හඳුනා ගෙන ප්‍රතිකාර කරා යොමුවුණොත් එය යහපත්ව පාලනය කරගන්නට පුළුවන්. ඉතින් අපි අද ඔබට කියන්නට  යන්නේ පුද්ගලයෙකුගේ වකුගඩු හොඳින් ක්‍රියා නොකිරීමට පටන්ගත් කාලයේදීම  ඒ බව හඟවන ලක්ෂණ පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි.

vector illustration of a Chronic kidney disease

වළලුකර, දණහිස් ආදිය ඉදිමීම හා අපහසුව විශේෂ වැඩ කටයුත්තක් කිරීමෙන් පසුව වැඩි වේලාවක් හිටගෙන සිටීමෙන් පසුව හෝ ඇතිවෙන තත්ත්වයකට වඩා හේතුවක් නැතිව මේ ඉදිමුම ඇති වෙන්නට පුළුවන්. වේදනාව එතරම් නැතිවුණත් ඒ ඉදිමුණු ස්ථානය අතින් තද කළ විට යම් වේලාවක් සම ඇතුළට ගිය ස්වභාවයෙන්ම පවතී නම් එය වකුගඩු අකර්මණ්‍ය වීමක් සිදුවෙන්නට යන බව හඟවන ලක්ෂණයක් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. 

මේ තත්ත්වය ඇති වෙන්නේ වකුගඩුවලින් නිසි ලෙස විෂ ද්‍රව්‍ය දේහයෙන් ඉවත් නොවී සිරුරේ යම් යම් ස්ථානවල තැන්පත්වීම නිසා. විශේෂයෙන්ම සෝඩියම් පමණට වඩා ශරිරයේ එකතු වීමෙන් ලවණ සමතුලිතතාවය විකෘති වීම නිසා මේ වළලුකර හා දෙපා ඉදිමෙන්නට හේතුවෙනවා.

අධික මහන්සිය ,ශක්තිය මද බව වකුගඩුවල ක්‍රියාකාරිත්වයේ  යම් ගැටළුවක් ඇති විට රුධිරයේ විෂ සහ අනෙකුත්  අපද්‍රව්‍ය එකතුවීම  සිදුවෙනවා . මේ නිසා අධික මහන්සිය දුර්වල බව සහ යමකට අවදානය යොමු කිරීමේ අපහසුතා ඇතිවෙනවා . ඒ වගේම වකුගඩුවල ගැටළු නිසා ඇතිවන රක්තහීනතාවය  නිසාත් මේ ලක්ෂණ ඔබට දකින්නට ලැබෙන්න පුළුවන් .

සීතල බවක් දැනීම වකුගඩු දුර්වලවීමෙන් ඇතිවන රක්තහීනතාවයේ ප්‍රතිඵලයක් ලෙස අවට පරිසරය  ප්‍රශස්ත උණුසුමකින් යුක්තව ඇති විටකදී පවා සීතලක් දැනෙන්නට පුළුවන්.     

මස්පිඩුවල ඇතිවන ගැස්ම අතක පාදයක මුහුණේ ආදී ස්ථානවල යම් රිද්මයකට මස් පිඩුවල ගැස්මක් ඉබේම හට ගැනීම වකුගඩුවල ක්‍රියාකාරිත්වයට යම් ගැටළු පවතින බව හඟවන ලක්ෂණයක් වීමේ ඉඩකඩ වැඩි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. 

නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වකුගඩුවලින් පෙරුණු පසුවත් සිරුරේ විෂ ඉතිරි වූ බව සංවේදනය වන නිසා තිබෙන මුත්‍රා බැහැර කර තවත් වටයකින් රුධිරය පිරිසිදු කරන්නට මොළයට විදාන ලබා දෙනවා. ඒ නිසා නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා.විශේෂයෙන්ම නින්දේ සිටියදී මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය මත අවදිවීම සිදුවෙනවා. 

මුත්‍රා සමඟ ලේ පිටවීම මුත්‍රා කරන විට රුධිරය එහි මුසු වී තිබීම වකුගඩු අකර්මණ්‍ය වන බවට පෙන්නුම් කරන තවත් ලක්ෂණයක්. රුධිරය පෙරීම සහ ඒ විෂ ද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර කර ඉවත් කිරීම ආදිය වකුගඩු මගින් සිදු කරන මූලික කාර්යයන්. නමුත් වකුගඩු නරක්වෙමින් පවතින විට ඒ පෙරීමේ කාර්ය නිසි පරිදි සිදු නොවෙන නිසා එහි සෛලවලින් ලේ වල ඇති රතු රුධිරාණු කාන්දු වෙනවා. 

සමේ ඇතිවන කැසීමක් හෝ පලු දැමීමක් වකුගඩු අකර්මණ්‍යවෙමින්  පවතින බව  හඳුනා ගන්නට හැකි පොදු ලක්ෂණය වෙන්නේ සම කැසීම සහ වියළී යාම.සිරුරේ විෂ ඉවත් කිරීම වකුගඩුවලින් සිදු කෙරෙන නිසා යම් විටෙක වකුගඩුවල දෝෂයක් ඇතිවූ විට ඒ විෂ ද්‍රව්‍ය ශරීරයේ සෙම හරහා හෝ දහදිය ලෙස ඉවත් කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් විදියට සමේ කැසීම් කුශ්ට ආදිය මතු වෙන්නට පුළුවන්.

ශරීරයේ පිටුපස පහළ උකුල් ප්‍රදේශයේ ඇතිවන වේදනාව මෙය බොහෝවිට නිදා සිටින විට පහලට ඇලවී ඇති ප්‍රදේශයේ ඇතිවන වේදනාවක්.ඒ හැරුණාම මුත්‍රා පිට කිරීමකදී පවා ඇතිවිය හැකි මේ වේදනාව කාලයත් සමඟ ක්‍රමයෙන් වැඩිවෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

නිදා ගැනීමේ අපහසුතා වකුගඩු අකර්මණ්‍යවෙමින්  පවතින විට වකුගඩුවල පෙරීමේ කටයුතු අඩාල වෙන නිසා ශරීරයේ විෂ ද්‍රව්‍ය නිසි පරිදි ශරීරයෙන් බැහැර වෙන්නේ නැහැ. ඒ නිසා නින්ද නොයාම, තරබාරු වීම සහ නින්දේදී ස්වසන අපහසුතා ආදියත් ඇතිවෙන්න පුළුවන්.

මුඛයෙන් දුර්ගන්ධයක් නිතර හැමීම මේ ගන්ධය ඇමෝනියා ගන්ධයකට හුරු ආකාරයේ එන ගන්ධයක් වන අතර එවැනි අවස්ථාවක ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා ඔබේ වගඩුවල ක්‍රියාකාරිත්වය පිළිබඳව.

  • යකඩ රසක් හෝ මලකඩ රසක් වැනි ස්වභාවයක් මුඛයට නිතර දැනීම 
  • නිතර කෙණ්ඩා පෙරලීම 
  • බඩගිනි දැනීම අඩු වීම හා ආහාර අරුචිය 
  • මුත්‍රා  කිරීමෙන් පසු ඉතා ඉක්මනින් බිඳී නොයන ලෙස පෙන ඇතිවීම
  • මුහුණ ඉදීමීම 
  • උදරයේ වේදනාව 
  • ඔක්කාරය  හා වමනය 

මේ ලක්ෂණ වකුගඩු ආබාධවලදී  වගේම වෙනත් ගැටළුවලදීත්  ඇතිවීමෙ ඉඩකඩ  පවතිනවා. කොහොමවුණත්  මේ ලක්ෂණ වකුගඩු ආබාධයක් කල්තියා හඳුනා ගන්නත් උපකාරී වෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.