සෑම තත්පරයකදීම මිනිස් හෘදය නොනැවතී රුධිරය පොම්ප කරයි.සිරුරේ අනෙක් අවයව වල ක්‍රියාකාරීත්වය පදනම් වන්නේ හෘදය වෙතින් ඒවාට ලැබෙන නැවුම් ඔක්සිජනීකෘත රුධිරය මතයි.කෙසේවෙතත් විවිධ හේතුසාධක මත කාලයක් ගතවෙද්දී මිනිස් හෘදය හානිවීම් හා රෝගී තත්වයන්ට ගොදුරුවීමේ අවදානම් ඇතිවිය හැකියි. හෘද රෝග (heart diseases) මතුවන්නේ ඒ ආකාරයටයි.
හෘද අකරණිය (heart failure), කිරීටක ධමනි රෝගය (coronary artery disease), ඇරිත්මියා හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා/අසාමාන්‍ය ගැස්ම (arrhythmia), ඇන්ජයිනා – කිරීටක ධමනි අවහිර වීමෙන් පපුවේ ඇතිවන පීඩාකාරී කැක්කුම (angina), රුධිර නාළ සිහින්වීමේ රෝගය (atherosclerosis) ආශ්රිත ආසාදන,හෘද ස්පන්දන අක්‍රමිකතා,උපතින් ඇතිවූ හෘදය ආශ්රිත සංකූලතා ආදී වශයෙන් හෘද රෝග ගණනාවකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝක ජනගහනයෙන් සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙක්ම යම් හෘද ගැටලුවකින් පෙළෙයි.හෘද රෝග යනු ලෝකයේ සිදුවන මරණ වලට බහුලව හේතුවන සෞඛ්‍ය ගැටලු අතරින් එකකි.හෘද රෝග දවසකින් දෙකකින් වර්ධනය වන්නේ නැහැ. දිගු කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් උඩු දුවමින් බරපතල අවධියකට පත්වන තුරුම ඇතැම් හෘද රෝග හඳුනාගැනීමට නොහැකිවෙයි.මීට බොහෝ විට පුද්ගලයාගේ නොසැළකිලිමත් බව ද හේතුවිය හැකියි. බොහෝ රෝග වලදී මෙන්ම හෘද ගැටලු වලදී ද නොයෙකුත් පූර්ව සංඥා හා රෝග ලක්ෂණ සිරුරේ මතුකරයි. ඒවා පිළිබඳ අවධානයක් නොමැතිකම හා ගණන් නොගෙන සිටීම නිසා එම ලක්ෂණ උත්සන්න වී හෘද රෝගය තවත් දරුණු අතට පත්වෙන්නට පුළුවන්.
ඔබේ හෘදය පෙර මෙන් ක්‍රමවත්ව ක්‍රියානොකරන බව ඔබේ සිරුර ඇතැම් ආකාරවලින් සංඥා පෙන්නුම් කළ හැකියි.පහත දැක්වෙන්නේ එවැනි පූර්ව සංඥා කිහිපයකි. ඔබත් කලක පටන් මෙවැනි තත්වයන් අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත්වන්න. හෘද රෝග අවදානම් කල් තියා හඳුනාගැනීමෙන් ඒවාට හොඳින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩි බව වෛද්‍යවරු පෙන්වාදෙති.
හෘද රෝග අවදානම වැඩිකරවන සාධක මොනවාද?

- වයස වයස්ගත වීමත් සමඟ සිරුරේ ධමනි හා පේශී දුර්වල වීම, හානිවීම හා පටුවීමට පටන්ගත හැකියි.මෙය හෘදය දුර්වල වීමේ අවදානම වැඩිකරයි.
- ස්ත්‍රී පුරුෂ බව කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයින් හට හෘද රෝග වර්ධනය වීමේ අවදානම වැඩි බව සඳහන් වේ.ආර්තවහරණයෙන් පසු කාන්තාවන් තුළ එම අවදානම ඉහළ යාමේ ඉඩකඩ වැඩිය.
- පවුලේ රෝග ඉතිහාසය-පවුලේ සාමාජිකයින් හට හෘද රෝග වැළඳී තිබී ඇත්නම් හෝ තිබෙයි නම්, එම අවදානම ඔබට ද බලපෑ හැකියි (කිරීටක ධමනි රෝග වැනි).
- දුම්බීම-දුම්බීම හෘද රෝග අවදානම ඉහළ දමන ප්‍රබල සාධකයකි.මේවායේ අඩංගු නිකටීන් නම් රසායනය රුධිර නාළ ඝනකම් හා තදකරවයි.මේවායේ ඇති කාබන් මොනොක්සයිඩ් වායු හෘදයේ රුධිර නාළ වල බිත්ති වලට හානි කරයි.එම බලපෑම රුධිර නාළ සිහින් වීමේ රෝගයට පවා තුඬු දිය හැකියි. දුම්පානය නොකරන්නන්ට වඩා හෘදයාබාධ වැනි තත්වයන් දුම්බොන්නන් තුළ බහුලය.
- දුර්වල ආහාර පාන රටාව-මේද, ලුණු,සීනි හා කොලෙස්ටරෝල් අධික ආහාර පාන පරිභෝජනය හෘද සෞඛ්‍ය පිරිහීමට මූලිකව හේතුවේ. මේදමය ද්‍රව්‍ය තැන්පත් වීමට පටන්ගැනීම තුළින් හෘදය ලෙඩවෙයි.
- රුධිර පීඩනය අධිකවීම හා නිසි ලෙස පාලනය කර නොගැනීම-මෙය ධමනි ඝනවීම හා දැඩිවීමට හේතුවෙයි.රුධිර ප්‍රවාහය අඩාල කරමින් රුධිර නාළ පටුවී යයි.
- කොලෙස්ටරෝල් අධිකවීම-රුධිරයේ ඇති කොලෙස්ටරෝල් හා ලිපිඩ මඟින් ධමනි තුළ මේද ද්‍රව්‍ය බැඳීමේ අවදානම වැඩිකරටි. මෙය රුධිර නාළ සිහින් වීමේ හා අවහිර වීමේ ගැටලු වලට හේතුවෙයි.
- දියවැඩියාව-දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් තුළ හෘද රෝග වර්ධනය වීමේ යම් වැඩි අවදානමක් තිබිය හැකි බව හඳුනාගැනෙයි.මෙම රෝග දෙවර්ගයටම බලපාන්නේ ස්ථූලතාව හා අධි රුධිර පීඩනය වැනි එක සමාන අවදානම් සාධකය.
- ස්ථූලතාව-අධික බර හෘද රෝග තත්වයන් වඩාත් නරක අතට හැරීමට ඇති අවදානම ඉහළ දමයි.රුධිර නාළ සිහින් වීමේ රෝග ලක්ෂණය වර්ධනය වීමට පවා හේතුවිය හැකියි.
- ක්‍රියාශීලීබව අඩුකම-කායික ක්‍රියාශීලිබව අඩුකම හා ව්‍යායාම නොකිරීම හෘද සෞඛ්‍ය ඇතුළු සමස්ත සිරුරේම නීරෝගී බව අඩුවීමට බලපෑ හැකියි.ව්‍යායාම මඟින් හෘද රෝග අවදානම් ඉහළ දමන අනවශ්‍ය මේද තැන්පත් වීමට නොදී හොඳින් දහනය කරවයි.
- අධික ආතතිය ද හෘද රෝග අවදානම් ඉහළ දමන සාධක අතරින් එකකි.
හෘද රෝගයක පූර්ව රෝග ලක්ෂණ මොනවාද?

බොහෝ විට හෘද රෝග වල පූර්ව ලක්ෂණ පෙන්නුම් නොකරන තරම්ය. ඒවා හෘදයාබාධ (heart attack) හෝ වෙනත් බරපතල හදිසි ආබාධ තත්වයක් ලෙස මතුවිය හැකියි. කෙසේවෙතත් හෘද රෝග පිළිබඳ යම් පූර්ව සංඥා ලබාදෙන යම් යම් සෞඛ්‍ය ගැටලු තත්වයන් සිරුරේ මතුවෙයි.
- මුල් කාලයේදි අසාමාන්‍ය හෘද ස්පන්දනයක් ඇතිවීම සිදුවුවද එය තදබල පීඩාවක් ව නොදැනිය හැකියි.
- කෙටි වෙලාවක් සාමාන්‍ය ක්‍රියාකාරකමක යෙදුණු පසු පවා හුස්ම ගැනීමට අපහසු බවක් දැනෙන්නට ඇතැම් විට ඉඩ තිබෙයි.සරල පඩිපෙළක් නැගීම පවා ඔබට දුෂ්කර දෙයක් මෙන් දැනෙන්නට පටන්ගනියි.
- මිනිත්තු 30- හෝ පැයක් පමණ එක දිගට පපු ප්‍රදේශයේ අපහසුතාවක් හෝ තදින් මිරිකෙන තරම් වේදනාවක් ඒ ආශ්‍රිතව දැනෙන්නට පටන්ගත හැකියි.
- බෙල්ල, උරහිස්,කඳ හා හණු ආශ්රිත තදබල වේදනාවක් ඇතිවිය හැකියි.
- හෘද ස්පන්දන වේගය වෙනදා මෙන් නොව අධික ලෙස වේගවත් වී, හෝ අධික ලෙස මන්දගාමී බවක් දැනිය හැකියි. හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා ඇතිවීම හෘද රෝග වල ප්‍රධාන ලක්ෂණයකි.
- ඇතැම් අවස්ථා වල ක්ලාන්තය හෝ තෝන්තු ගතියක් ඇතිවිය හැකියි.
රුධිර නාළ ආශ්රිත ගැටලු හේතුවෙන් වර්ධනය විය හැකි හෘද රෝග තත්වයන් වලදී පහත රෝග ලක්ෂණ සිරුරේ මතුකළ හැක.
- පපුවේ තදබල වේදනාව හෙවත් ඇන්ජයිනා තත්වය
- හුස්ම හිරවීම
- අධික තෙහෙට්ටුව
- හෘද ස්පන්දනයේ අක්රමිකවීම
- අත් හා කකුල් ආශ්රිත පුපුරුගසන ගතියක්, හිරි වැටීමක්, අධික සීතලක් හා ඇතැම් විට අප්‍රාණික බවක් දැනෙන්නට පටන්ගත හැකියි.
මෙම ලක්ෂණ ඔබේ සිරුරේ රුධිර නාළ පටුවී ඇතිබව සංඥා කරනවා විය හැකියි.
මේදමය ද්‍රව්‍ය තැන්පත් වී රුධිරය ගමන් කරන මාර්ගය අවහිර වීම මෙසේ ඒවා පටුවීමට බලපායි.මේ හේතුවෙන් හෘදයේ සිට එන ඔක්සිජන් බහුල රුධිරය සිරුර පුරා සංසරණය වීමේ ක්‍රියාවලියට විශාල වශයෙන් බාධා ඇතිවෙයි.
හෘදයේ හටගන්නා ආසාදන හේතුවෙන් වර්ධනය වන හෘද රෝග වලදී පහත ලක්ෂණ මතුකළ හැකියි:
- උණ
- හුස්ම හිරවෙන ගතිය
- අප්‍රාණිකබව හෝ අධික තෙහෙට්ටුව
- කකුල් හෝ යටිබඩ ඉදිමීම
- හෘද රිද්මයේ වෙනස්කම් ඇතිවීම
- දිගින් දිගටම පවතින වියළි කැස්ස
- සමේ කුෂ්ට (රෑෂ්) මතුවීම හෝ අසාමාන්‍ය ලප මතුවීම
හෘදයාබාධයක සංඥා පහත පරිදි දැක්විය හැකියි:
හෘදයේ මාංශ පේශී වෙත ඇති රුධිර සැපයුම අඩාල වීමත් සමඟ මෙම හෘදයාබාධ අවදානම් ඉහළ යයි.හෘදයේ පේශී අප්‍රාණිකත්වයට පත්විය හැකියි.හෘදය මිරිකන බවක් දැනෙන ආකාරයේ තදබල වේදනාව හා අපහසුතාවක් ඇතිවෙයි.
- හෘදය ආශ්රිත තීව්ර පීඩනයක් දැනෙයි.
- මෙම අපහසුතාව පපු ප්‍රදේශයේ පමණක් නොව බාහු,කොන්ද,බෙල්ල, යටිබඩ හෝ හණු ආශ්‍රිතව ද දැනිය හැකියි.
- හෘදයාබාධයක දී පුද්ගලයාට හුස්ම ගැනීමට අමාරුබවක් (හුස්ම හිරවෙන ගතියක්) දැනිය හැකියි.පැහැදිලි හේතුවක් නොමැතිව අධිකව දහඩිය දමයි.
- ඔක්කාරය හෝ තෝන්තු ගතිය (ක්ලාන්තය) ඇතිවෙයි.
සැ.යු.: මෙම පූර්ව රෝග ලක්ෂණ හෘදයාබාධයක් වැලඳීමට ප්‍රථම අනිවාර්යෙන් මතු වන ලක්ෂණ බව තහවුරු කල නොහැක. කෙසේවෙතත්, මෙම ලක්ෂණ කිහිපයක් එකවර මතුවීම හෝ රෝග ලක්ෂණ කිහිපයක් නිතර නිතර දිගින් දිගටම මතුවීම වැනි තත්වයන් හඳුනා ගැනීමට හැකියි නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා එම පෙරනිමිති ප්‍රමාණවත් හේතු සපයයි. අසාධ්‍ය තත්වයන් මතුවීමට පෙර සුදුසු කාලයේදී සුදුසු ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් ඔබේ කාන්තා සෞඛ්‍යයත් ජීවිතයත් සුරක්ෂිත කරගත හැකිවනු ඇත!