දහදිය නැතිකරන පහසු ක්‍රම 6 ක්

health tips

දහදිය දැමීම කියන්නේ අපේ ශරීරයේ සිදුවන ස්වාභාවික ක්‍රියාවලියක්. මේ ආකාරයට අපේ සමේ දහදිය පිට කරන ග්‍රන්ථි මිලියන 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් පවතිනවා. වාතයේ උෂ්ණත්වය වැඩි වුණාම, බියට පත් වුණාම , උණ ඇති වුණාම මේ ආකාරයට දහදිය සම මතුපිටට ගලා ගෙන එනවා. දහදිය දැමීම මගින් අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්නට නොදී පාලනය කරනවා. ඒත් මේ දවස්වල පවතින අධික උෂ්ණය නිසා දහදිය දැමීම වැඩිපුර සිද්ධ වෙනවා. අධික ලෙස දහදිය දැමීම අපිව බොහෝවෙලාවට අපහසුතාවයට පත් කරන්නට සමත් වෙන නිසා එය තරමක් දුරට හෝ පාලනය කර ගන්නට අපිට උත්සාහ කරන්නට පුළුවන්. ඔන්න අද අපි කතා කරන්නේ මේ දහදිය වැඩිපුර පිට කරන එක පාලනය කර ගත හැකි ක්‍රම කිහිපයක් පිළිබඳව.

හැමෝමටම දහදිය දැමීම සාමාන්‍ය දෙයක් වුණත් එය අසාමාන්‍ය ලෙස සිදුවන අය අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා.  එයට විවිධ ඖෂධ වර්ග, උපතින් ඇතිවන තත්ත්වයන්, හෝර්මෝනවල වෙනස්කම්, වෙනත් ලෙඩ රෝග ආදිය හේතු වෙන්නට පුළුවන්.  ඒ වගේම හයිපොහයිඩ්රෝසීස් තත්ත්වයකදී පවා අත් පාවලටත් දහදිය අධිකව දැමීම සිදු වන්නට පුළුවන්.එවැනි අසාමාන්‍ය තත්ත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව මතකයේ තබා ගන්න. 

සාමාන්‍යයෙන් දහදිය ඇතිවීම පාලනය කර ගන්නට අනුගමනය කළ හැකි ක්‍රමවේද

  • Antiperspirant  භාවිතා කරන්න. මෙහිදී දහදිය දැමීම සම්පූර්ණයෙන් නතර කිරීමක් සිදු වෙන්නේ නැහැ. මේ ඇන්ටිපෙර්ස්පරන්ට් භාවිතයෙන් සිදු වෙන්නේ දහදිය සම මතුපිටට ඒම වැළැක්වීම.  මෙහිදී ඉතා හොඳ තත්ත්වයේ ඇන්ටිපස්පස්පරන්ට් එකක් තෝරා ගැනීම ඉතාම වැදගත්. ඇතැම් නිෂ්පාදන සමට අතුරු ආබාධ ඇති කරන්නට හේතුවන්නට හැකි නිසා ඒ පිළිබඳව  සැලකිලිමත් වීම වැදගත් වෙනවා.
  • ඇදුම්වල රෙදි සහ වර්ණය පිළිබඳව සැලකිලිමත් වන්න.අධික රස්න කාලයේදී දහදිය දැමීම වැඩි කෙනෙක් නම් ඔබ ඔබේ ඇදුම් පිළිබඳව සැලකිලිමත් වෙන්න. මෙහිදී තද පැහැ ඇදුම් තෝරා ගැනීම සුදුසු නැහැ. තද පාට ඇදුම්වලට වැඩි  රස්නයක් අවශෝෂණය කර ගන්නා නිසා  වැඩිපුර දහදිය දැමීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වර්ණයෙන් අඩු ඇදුම් තෝරා ගන්නට වගබලා ගන්න. ඒ වගේම ඇදුමේ රෙදි වර්ග පිළිබඳවත් සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්. කොට්න් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන ඇදුම් තෝරා ගැනීම වඩා සුදුසුයි. නිතර ඩෙනිම් කලිසම් ආදිය අදින කෙනෙක් නම් එය දහදිය අධික වශයෙන් දැමීමට හේතුවක්. එය ඉකිලි ආදී රහස් ප්‍රදේශයන් අඳුරු පැහැයක් ගැනීමටත් හේතු වෙනවා. ඒ නිසා හැකිතරම් තද අඩු සැහැල්ලු රෙදිවලින් මසන ලද ඇදුම් භාවිතයට යොමු වීම වඩාත් සුදුසුයි.බාහිර ඇදුම් ගැන විතරක් නෙවෙයි යට ඇදුම් ගැනත් අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම ඒවායේ පොලියෙස්ටර් යන නම් සඳහන් වෙනවා නම් එවැනි ඇදුම් තෝරා ගන්නට එපා.සැමවිටම කොට්න් රෙදිවලින් මසන ලද යට ඇදුම් තෝරා ගන්නට වැඩි අවධානයක් ලබාදෙන්න. 
  • ආහාර දහදිය පාලනය කර ගන්නට ඔබට අවශ්‍ය නම් ඔබ ගන්නා ආහාර පිළිබඳව තරමක් සැලකිල්ලක් දක්වන්නට සිදු වෙනවා. උණුසුම් කෑම බීම වගේම ඉතා සැර ගතියට සකස් කරන ලද ආහාර ගැනීමෙන් වැළකීම මගින් දහදිය දැමීම පාලනය කර ගන්නට පුළුවන්.
  • සිරුරේ උෂ්ණත්වය අඩු මට්ටමෙන් පවත්වා ගන්න. අධික රස්නයක් සහිත දිනවල ඔබ නිතරම ඔබේ සිරුරේ උෂ්ණත්වය අඩු මට්ටමක පවත්වා ගන්නට කටයුතු කරන්න. මේ සඳහා වැඩිපුර ජලය පානය කිරීමත්, තැඹිලි කොමඩු ආදී සිසිල් ආහාරත් ආහාරයට එකතු කර ගන්න.ඒ වගේම නිවස ඇතුලත රස්නය අඩුකර ගන්නට කර්ටන්වලින් නිවස අඳුරු ආකාරයට තබා ගන්න.
  • ස්නානය කිරීමේ පසු ජලය පිස නොදමන්න.බොහෝ අය සිදු කරන මේ වැරැද්ද ඔබ කරන්න එපා. විශේෂයෙන්ම අධික රස්නය ඇති දවස්වලට ස්නානයෙන් පසුව තුවායකින් පිස නොදමා ඒ ජලය ඇඟටම වියළෙන්නට ඉඩ දෙන්න.  ඊට පස්සේ අයිස් කියුබ් සත්කාරය කරන්නටත් පුළුවන්. මෙහිදී අයිස් කැට ටිකක් කොටන් රෙදි කෑල්ලක දවටා මුළු ඇඟම තවන්න. ඉන්පසුව ඔබ ආලේප කරන මොයිස්චර්යිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. ඒ වගේම අධික රස්නය ඇති දිනවල ඔබගේ මොයිස්චරයිසර ක්‍රීම් වර්ග් ශීතකරණයේ තබා භාවිතයට ගන්නත් ඔබට පුළුවන්. එය ශරීරයේ රස්නය අඩුකරන්නට ලොකු උපකාරයක් වෙනවා.

දහදිය අධිකව දැමීම වගේම දහදිය දුගඳත් ඉතාම කරදරකාරී දෙයක් ඒ. ඒ සඳහා ඔබට ස්නානය කරන විටදී ජලයට බේකීන්සෝඩා දමා එයට ලෙමන් හෝ දෙහි යුෂ එකතු කර කිහිලි යට, වැලමිට ඇතුල් පැත්ත ආදී ප්‍රදේශ ස්ක්‍රබ් කරන්නත් පුළුවන්. ඒ වගේම අත් යට රෝම ඉවත් කිරීම වගේම ස්නානයෙන් පසුව බේබි කොලෝන් අත් යට ගැල්වීමත් දහදිය දුගඳ ඇති කරන බැක්ටීරියා සහ මැරුණු සෛල ඉවත් කරන්නට උපකාරී වෙනවා. 

ඉතින් දහදිය කියන්නේ අපේ ස්වාභාවික ක්‍රියාවලියක් වුණත් එය අපිට වගේම අපේ ළග සිටින සමීපතමයන්ට අප්‍රසන්න බවක් ඇති නොවෙන්නට මේ කරුණු කාරණා ඔබත් අනුගමනය කරන්න. එය ඔබටත් ඔබේ ගැටළුවලට හොඳ විසඳුමක් ලබා ගන්නට උපකාරී වේවි.