අක්මා රෝග සුව කරන ඇඹුල් ඇඹිලිය

health tips

අපේ මහ පොළව ඉතා වටිනා ඖෂධ සහ ආහාරවලින් පොහොසත් වුණත් දවසින් දවස ලෙඩ රෝගවලට ගොදුරු වන ප්‍රමාණය  වැඩි වෙලා. කොතරම් ඉහළ ගුණයෙන් යුක්ත වස විස නැති ආහාර සහ ඔසු පිළිබඳව ජනතාව තුළ පවත්නා නොදැනුවත්භාවය ඒ සඳහා බලපා ඇති නිසා එවැනි වටිනා ශාක පිළිබඳව දැනුවත් කිරීම සමාජ වගකීමක්. මේ නොදැනුවත්භාවය නිසාම ගෙවත්තේ වැවී තියෙන වටිනා ශාක වල් පැලෑටි ලෙස සලකා උදලු ගාන අවස්ථා බොහොමයි.ඉතින් ඒ නිසාම අද ඔබට කියන්නට යන්නේ අපිට බොහෝ ගුණදෙන තවත් වටිනා ඖෂධීය ශාකයක් පිළිබඳව. ඒ ඇඹුල් ඇඹිලිය. මේ ශාකයට ඒ නම් ලැබී තියෙන්නේ ඇඹුල් රසයෙන් යුක්ත නිසාම වෙන්න ඇති. කොහොමවුණත් මේ ඇඹුල් ඇඹිලිය ශාකය අපට ලෙඩ රෝගවලින් තොරව සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට ඉතා වැදගත් වනවා. ඔසුවක් විදියට වගේම ආහාරයක් විදියටත් මේ ශාකය සතු වටිනාකම ඉතා ඉහළයි.

Oxalidaceae යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන සිහින් කඳක් සහිත මේ ඇඹුල් ඇඹිලිය ශාකය සාමාන්‍යයෙන් මීටර 2-3 ක් පමණ උසට වැඩෙන වාර්ෂික ශාකයක්. මේ ශාකයේ හට ගන්නා පුෂ්පය කහ පැහැයෙන් යුත් කුඩා මලක්.එය පෙති 5 කින් සමන්විතයි.මේ උද්භිත ගණයටම අයත් ලා දම් පැහැ මලක් හටගන්නා  ශාකය ඇඹුල්වැන්න සහ මහ ඇඹුල් ඇඹිලිය යන නමින් හඳුන්වනවා. මේ ඇඹුල් ඇඹිලිය ශාකයේ බීජ ව්‍යාප්ත වන්නේ ස්ඵෝටනය මගින්.මේ ශාකය ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් අපිට දැක ගන්නට හැකියාව ලැබෙනවා. නමුත් මේ පැලෑටිය ලාංකීය අපට හඳුන්වා දුන් පැලෑටියක් බවයි සඳහන් වෙන්නේ. මහ ඇඹුල් ඇඹිලිය හා හීන් ඇඹුල් ඇඹිලිය ඇඹුල් ඇඹිලිය යන ප්‍රභේද කිහිපයක්ම අපිට දැක ගන්නට තියෙනවා. සංස්කෘතයේ අම්බෂ්ටා, මංගේෂ්වරී  නම්වලින් හඳුන්වනු ලබන්නෙත් ඇඹුල් ඇඹිලියමයි.

ඇඹුල් ඇඹිලිය ව්‍යංජනය මැල්ලුම වගේම සම්බෝලයත් අපේ ගැමි  ජනතාවගේ බතට වැරදුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි කොළ කැඳ සකස් කිරීමේදීත් ඇඹුල් ඇඹිලිය. ශාකය ගැමියන් අමතක කළේ නැහැ. ඒ හැරුණාම හාල්මැස්සන් ටිකක් තෙලට දමා සාදාගෙන ඉතා රසවත්ව ආහාරයට ගන්නට හැකි මේ ඇඹුල් ඇඹිලිය ශාකයෙන් සාදාගත හැකි ලුණු මිරිසත් ඉතා රසවත් වගේම ගුණවත්.ඒ නිසාම එදා ඔවුන් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වුණා.  නමුත් අද අපේ ජීවන රටාවෙන් මේ වටිනා ශාකය ඇතුළු බොහෝ ගුණදායක එළවලු  වර්ග ආදිය දුරස්ව ගිහින්. ඒ වෙනුවට ක්ෂණික ආහාර කෘතීම රසකාරක වර්ණකාරක අපේ ආහාරවේල උඩුයටිකුරු කරලා. ඒ නිසාම අද කුඩා වයසේ දරුවන් පවා දිනෙන් දින පිළිකා දියවැඩියාව, හෘද රෝග ආදී බොහොමයකට ගොදුරුවෙමින් ඉන්නවා. එවැනි යුගයක ඇඹුල් ඇඹිලිය කියන්නේ අපේ ආහාරයට එකතු කරගත යුතුම ආහාරයක්.ඇඹුල් ඇඹිලිය කොළවල  සතුව පොටෑසියම්, ඔක්සලේට්, අඩංගු වන බව නූතන පර්යේෂණවලින් හෙළිවෙලා තියෙනවා.

ඇඹුල් ඇඹිලිය ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ මේ ශාකයේ අන්තර්ගත ඇඹුල් රසය නිසාම එය ආහාර රුචිය වඩවන්නට බෙහෙවින් හේතු වෙනවා. කුසගිනි නොමැති අයට, කෑම ගන්නට රුචියක් නැති අයට කුසගිනි වඩවන්නට මේ ඇඹුල් ඇඹිලිය ශාකයට අපූරු හැකියාවක් පවතිනවා.

  • අක්මා රෝග නසයි.අද අපි ආහාරයට ගන්නා සෑම එළවලුවක් පලතුරක් පාහේම ස්වභාවික ඒවා නොවෙයි. රසකාරක වර්ණකාරක කල්තියා ගැනීමේ ද්‍රව්‍ය ආදී මෙකී නොකී රසායන ද්‍රව්‍ය බොහොමයක් එකතු කර සාදනු ලබන ඒවා. එවැනි ආහාර අද අපි බහුලව ආහාරයට ගන්න නිසාම අක්මාව ආශ්‍රිතව ඇතිවන රෝග ඉහළයි. ඒ නිසා ඇඹුල් ඇඹිලිය ශාකය අක්මාවට ඉතා හිතකරයි.
  • අර්ශස් රෝගය සඳහා මෙන්ම  විවිධ චර්ම රෝග සමනය කිරීම සඳහා ආයුර්වේදයේ මේ ඇඹුල් ඇඹිලිය ශාකයම භාවිතා කරනු ලබනවා. ඒ හැරුණාම ඉදිමුම් හා වේදනාවන් සමනය සඳහා ප්‍රතිකාර කිරීමටත් මේ ශාකය ආයුර්වේදයේ භාවිතයට ගනු ලබනවා.
  • ශරීරයේ ලේ වඩවයි. කුඩා දරුවන්ට වැළදෙන පාණ්ඩුව ආදී රෝග සමනය සඳහා ඇඹුල් ඇඹිලිය ව්‍යංජනය ඉතා ගුණදායකයි.
  • ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි.
  • ශරීරයට ආහාර මගින් ඇතුළු වන විශ නසයි.
  • ආහාර ජීර්ණය පහසු කරයි.
  • වාත් පිත සමනය කරයි.
  • ලේ ධාතුව වර්ධනය උත්තේජනය කරයි.
  • ශරීර ශක්තිය වර්ධනය කරයි.

වෙනත් භාවිතයන් 

  • අර්ශස් රෝගීන් සඳහා මේ ඇඹුල් ඇඹිලිය කොළ ගිතෙල් මී කිරි සමඟ මිශ්‍රකර ලබා දෙනවා.
  • ගර්භනී කාන්තාවන්ගේ අපහසුතා මගහරවා ගැනීම සඳහා 
  • ආයුර්වේදය තුළ ගර්භනී මවකට ඇතිවන අපහසුත මගහරවා ගන්නට මේ ඇඹුල් ඇඹිලිය ශාකය භාවිතා කළ යුතු  ආකාරය සඳහන් කර තියෙනවා.
  • බෙලි මල් සහ මඟ ඇඹුල් ඇඹිලිය තම්බා පානය කිරීම, තුබ දළු මිංචි ඔළ ඇඹුල් ඇඹිලිය අඹරා සූදුරු ඉරිවේරිය  තැම්බූ වතුර පානය කිරීමත් ඒ සඳහා සුදුසු බවයි සඳහන් වෙන්නේ. නමුත් ගර්භනී ඔබ මේ ඇඹුල් ඇඹිලිය ශාකය භාවිතයට ගන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබ ගන්නට අමතක කරන්න එපා.
  • ඉස්මුරුත්තාව සහ බඩ පිපීම සඳහා මේ ඇඹුල් ඇඹිලිය පත්‍ර කොටා යුෂ ලබාගෙන එයට මී පැණි සම ප්‍රමාණයෙන් දමා පානය කිරීම සුදුසුයි.
  • ඒ වගේම තුවාල පිරිසිදු කිරීම, ගෙඩි පැසවීමට, විසප්පු ගෙඩි සඳහා වගේම අත්තන විෂට ප්‍රතිකාර කිරීම සඳහාත් මේ ඇඹුල් ඇඹිලිය ශාකය යොදාගනු ලබනවා.
  • සැලකිය යුතුයි.මේ පැලෑටිය සතු ඇඹුල් ගතිය නිසා එය අමිල පිත්ත රෝගීන්ට ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ.