සමෙහි ඇතිවන දද එසේත් නැතිනම් එක්සිමා සම කසනසුලු, වියළි , රතු හා ඇතැම් විට ඉරි තැලුණු ස්වභාවයක් දක්නට ලැබෙන චර්ම ගැටලුවකි. මෙය සම ප්‍රදාහයට ලක්වන, බෝ නොවන , ඕනෑම වයසක අයෙකුට ඇතිවිය හැකි නමුත් බොහෝ විට කුඩා ළමුන් හා නව යොවුන්වියේ පසුවන අය අතර බහුල තත්වයක්. කසන සුලු වියළි සමක් ඇතිවීමෙන් සංලක්ෂිත වන මෙම තත්වයෙන් පෙළෙන පුද්ගලයින් සමේ ආසාදන වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. සම නිතර කැසීමට පටන්ගැනීම නිසා රාත්‍රී නින්ද පවා බාධාකාරි වෙන්නට පටන්ගනියි.එක්සිමා එක් රෝගයක් නොව රෝග කාණ්ඩයකි.ජානමය තත්වයක් හෝ ආගන්තුක ද්‍රව්‍ය (හිරු එලිය,සබන්,රූපලාවන්‍ය නිෂ්පාදන,රෙදි වර්ග හා ආහාර වැනි) වලට සිරුර ආසාත්මික ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රතිපලයක් ලෙස වර්ධනය විය හැකියි. පුද්ගලයාගෙන් පුද්ගලයාට සමේ එම දද වැඩිවීමට බලපාන ප්‍රේරක වෙනස් විය හැකියි.එවැනි දෑ හඳුනාගැනීමට හැකිනම් හැකිතාක් ඒවා ස්පර්ෂයෙන් ඈත්වී සිටීම හරහා දද තත්වය උත්සන්න වීම පාලනය කරගැනීමට හැකිවනු ඇත.ඔබ මේ තත්වයෙන් පෙළෙන කෙනෙක් නම් හෝ ප්‍රතිකාර ලබමින් ඉන්න අයෙක් නම් අපහසුතා ලක්ෂණ අවම කරගැනීමට පහත සඳහන් පිළියම් ක්‍රම අනුගමනය කරන්න.
එක්සිමා තත්වයේ රෝග ලක්ෂණ

මෙම දද තත්වයේ ලක්ෂණ පොතු කබර (සෝරෛයසිස්) වැනි වෙනත් සමේ ගැටලු වලට සමාන නිසා වෙන් කර හඳුනාගැනීප අපහසු විය හැකියි.මෙම චර්ම ගැටලුව හඳුනාගැනීම පහසු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ගැන සඳහන් වේ.
- සමේ කැසිල්ල ඇතිකරන වෙනත් රෝග වලින් මෙම දද තත්වය හඳුනාගත හැක්කේ එහි තිව්‍රතාවෙනි. එනම් අධික කැසිල්ලය.
- කුෂ්ඨ (රෑෂ්) තත්වය ප්‍රදාහය හා සම්බන්ධය. (ඉදිමුම සහිත දැවිල්ල)
- අත් වල හා දණහිස් වැනි නැමි ප්‍රදේශ වල බහුලව වර්ධනය වේ.මුහුණේ ද මතුවිය හැකියි.බලපෑමට ලක්වූ ප්‍රදේශ වලින් සැරව වැනි තරල ස්‍රාවය වීම තවත් ලක්ෂණයකි.
පිළියම්
හියුමිඩිෆයර් වාතාශ්‍රයේ ප්‍රශස්ත තෙතමනයක් පවත්වාගැනීමට උපකාරී වන මෙම උපාංගයකි.අධික වියළි හා උණුසුම් පරිසරයක සිටින අයට වඩාත් සුදුසුයි.එවැනි දේශගුණයක් පැවතීම එක්සිමා දද වලට අහිතකරයි.වාතාශ්‍රයේ ඇති ආසාත්මිකකාරක හා දුහුවිලි වැනි උත්කෝපකාරක දුරුකරයි (මෙහි ඇති ජලය නිතර වෙනස් කිරීම මඟින් පුස් වර්ධනය විම් වළකාගත හැකියි.)
කහ කහ ආහාර සමඟ මුසුකර හෝ බාහිර ආලේපනයක් ලෙස ද භාවිත කළ හැකි අතර දද සමනයට උපකාරී වන ගුණ ඇත.බාහිරව ගැල්වීමෙන් සමේ කැසිල්ල සමනය වී යනු ඇත. එහි ප්‍රතිප්‍රදාහක හා විෂබීජනාශක ගුණ බලපෑම ඊට හේතුවයි.කහ තේ හැඳි 1/2ක් සමඟ පොල් තෙල් ස්වල්පයක් මිශ්‍ර කරගන්න. බලපෑමට ලක්වූ ප්‍රදේශය සෝදා තෙත මාත්තු කරගන්න.මෙය ආලේප කර මිනිත්තු 15-20ක් තබන්න. සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.පොල් තෙල් වෙනුවට වතුර ද යොදාගත හැකියි.
තුල්සි (බැසිල් කොළ) හීන් මදුරුතලා යනුවෙන් ද හඳුන්වන මේවා එක්සිමා තත්වයට හොඳ පිළියමක්.ක්ෂුද්‍රජීවීනාශක හා ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සමේ බැක්ටීරියා ආසාදන ඇතිවීම් වළක්වන අතර සමේ ඉදිමුම අඩුකරයි.ප්‍රතිඔක්සිකාරක ඇති නිසා තුවාල සුවවීම වේගවත් කරයි.සම නීරෝගිකරයි.මේවා එසෙන්ෂියල් ඔයිල් ලෙස ලබාගත හැකියි.බලපෑමට ලක්වූ ප්‍රදේශය සෝදා තෙත මාත්තු කර, කපු පුළුන් කැබැල්ලකින් එම එසෙන්ෂියල් ඔයිල් වලින් ස්වල්පයක් පොල් තෙල් හෝ ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර ගල්වන්න.සේදීමට අවශ්‍ය නැත.කොළ කිහිපයක් මී පැණි සමඟ අඹරා සම මත සෘජුව ගැල්වීම ද හොඳ පිළියමකි.

කෝමාරිකා සමේ ගැටලු වලට චිකිත්සක ගුණ දෙන ඖෂධයක් ලෙස කෝමාරිකා ප්‍රචලිතයි.දද ලක්ෂණ ද සමනය කරයි.සම ප්‍රකෘතිමත් කිරීම ,සමේ රතුගතිය හා ඉදිමුම අඩු කිරීමට ගුණ දේ.බලපෑමට ලක්ව ඇති සම සෝදා තෙත මාත්තු කර කෝමාරිකා මද හෝ ජෙල් නිෂ්පාදනයක් ගෙන සමානව ආලේප කරගන්න.සමට මේවා සෙමින් උරාගනු ඇත.මදය සූරා මදක් බ්ලෙන්ඩර් කර හුලං නොවදින බඳුනක අසුරා තැබීමෙන් කල් තබාගත හැකියි.
පොල්තෙල් සම සමනය කරන හා තෙතමනකාරක ගුණ පොල් තෙල් වල බහුලයි.සමේ වියළි හා කොරල සහිත පුල්ලි අඩුකරයි.සමට ගැඹුරින් කාන්දුවන නිසා සම පෝෂණය කරයි.ප්‍රතිප්‍රදාහක ගුණ ඇතිනිසා කුෂ්ඨ වල වේදනාව හා ඉදිමුම සමනය කරයි.
බලපෑමට ලක්වූ සම වතුරෙන් පිරිසිදු කරන්න(සබන් භාවිත නොකරන්න).තුවායකින් පිසදමා,පොල් තෙල් ස්වල්පයක් සමේ ආලේප කර අතුල්ලන්න.සේදීමට අවශ්‍ය නොමැත. අවශ්‍ය නම් යළි ආලේප කරන්න.පිරිසිදු පොල් තෙල් භාවිත කරන්න.
මී පැණි මී පැණි චර්ම ගැටලු වලට හොඳ පිළියමකි.තෙතමනකාරක හා ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සමට හොඳ තෙතමනයක් ලබාදී වියළි බව හා කුෂ්ඨ නිසා ඇතිවන අපහසුතා සමනය කරයි.බැක්ටීරියා නාශක ගුණ ඇති නිසා දද ආශ්‍රිත තුවාල ආසාදනයට ලක්වීම වළක්වයි.මනුක මී පැණි වලින් මේස හැඳි 1ක් එළකිරි තේ හැඳි 2ක් සමඟ මිශ්‍ර කරන්න. දද ඇති සම මත ගල්වා මිනිත්තු 5-10ක් තබන්න. වතුරෙන් සෝදා හරින්න(සබන් ගැල්වීමෙන් වළකින්න).මෙහිදි කිරි වෙනුවට පොල් තෙල් හෝ ඔලිව් තෙල් යොදාගත හැකියි.මනුක මී පැණි වෙනුවට සාමාන්‍ය මී පැණි භාවිත කරන්න.
එක්සිමා දද තත්වය පාලනය කරගැනීමට උපදෙස් කිහිපයක් මෙය නිදන්ගත (chronic eczema) හෝ හදිසියේ ඇතිවූ තත්වයක් (acute eczema) විය හැකි යි.මේ තත්වය උත්සන්න වීම වළක්වාගැනීමට නම් ඔබේ සනීපාරක්ෂක හා එදිනෙදා ජීවිතයේ ඇතැම් පුරුදු ගැන සැලකිලිමත්වීම ඉතා වැදගත් ය.
- උණු වතුරෙන් ස්නානය නොකරන්න.උණුවතුරට දද රෝග ලක්ෂණ උත්සන්න විය හැකියි.සිසිල් ජලයෙන් ස්නානය කරන්න.
- ඔබේ දද උත්සන්න වීමට බලපාන්නේ යැයි සැකකරන දේවල් ලියා තබන්න.වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබන්න.
- හිරු එලියට අධිකව නිරාවරණය නොවන්න.උණුසුම හා දහඩිය පිටවීම නිසා සමේ පහසුතා වැඩිවිය හැකියි.
- සම කැසීමෙන් වළකින්න.
- සම මත මොයිෂ්චරයිසිං නිෂ්පාදනයක් ගල්වන්න.ක්ලෝරින් වතුරේ පිහිනීමෙන් වළකින්න. ඉන් සමේ කැසිල්ල ඇතිවිය හැකිය.
- සම මත සෘජුව විලවුන් හා ඩියොඩ්‍රන්ට් භාවිත නොකරන්න.
- ප්‍රතිකාර ලැබුවත් සතියකටත් වඩා කල් සමේ ප්‍රදාහය පවතියි නම්,සම තුලින් සුදු හෝ කහ සැරව වැනි ස්‍රාවයක් ගලයි නම්,ඖෂධ ගත්තද කැසිල්ල හා ඉදිමුම අඩු නොවෙයි නම්, දද ආශ්‍රිතව කුඩා වේදනාකාරි බිබිලි මතුවී ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.