වකුගඩුවල ගැටලු ඇති කරන ඇඟ ඇතුළේ වතුර පිරෙන්න බලපාන හේතු 12ක්

health tips

අපිව  විවිධ අවස්ථාවල විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඇතැම් ඒවා එතරම් බරපතළ නොවුණත් ඇතැම් රෝග වඩාත් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට තරම් හේතු වෙනවා.  නොයෙක් අවස්ථාවල ශරීරයට දැනෙන අපහසුතා බොහෝ දුරට අපි නොසලකා හරින්නේ දෛනික වැඩ කටයුතුත් එක්ක ඇතිවන සාමාන්‍ය අපහසුතාවයන් විදියට සලකලා. නමුත් ඒවායින් ඇතැම් ඒවා රෝග තත්ත්වයන් නිසා ඇතිවන දේවල් නිසා ඒ ගැන අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා.

 පාද, වළලුකර, බාහු අත් ආදියේ ඉදිමීමත් අන්න ඒ වගේ බොහෝ දෙනෙක් නොසලකා හරින තත්ත්වයක්. වැඩි වේලාවක් සිටගෙන සිටීම, ඇවිදීම කියන තත්ත්වයන් නිසා පාදවලට දැනෙන වෙහෙස නිසා මේ වගේ අපහසුතා දකින්න ලැබුණත්  ඇඟ ඇතුලෙ වතුර පිරෙන  Edema කියන රෝග තත්ත්වය නිසාත් මේ වගේ ලක්ෂණ අපිට දකින්නට පුළුවන්. 

මෙහිදී සිද්ධ වෙන්නෙ ශරීරයේ ඇති පටකවල අනවශ්‍ය විදිහට ජලය එකතුවීම නිසා  අත් සහ පාද ඉදිමෙන්නට පටන් ගැනීම.  මේ තත්ත්වයට බලපාන එකම  හේතුව මෙය නොවෙයි. වෙනත් සෞඛ්‍ය ගැටලු නිසාත්  මේ වගේ ලක්ෂණයක් අත්දකින්නට පුළුවන් බව මතකයේ තියාගන්න. මෙය බොහෝසෙයින් බරපතල සෞඛ්‍ය ගැටලුවක්  නොවුණත් ඇතැම් අවස්ථාවලදී මේ තත්ත්වය  නිසාම හදවත් ගැටලු සහ වකුගඩු ආශ්‍රිත ගැටළුවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ ලක්ෂණ තියෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්නට යොමු වෙන්නට ඕන .

 Edema තත්ත්වය  ඇතිවෙන්නට මූලික වශයෙන් හේතු වෙන්නේ ගර්භනී බව, එකතැන වාඩිවී සිටීම සහ සිටගෙන සිටීම, ශරීරය නිසි ප්‍රමාණවත් තරම් ක්‍රියාශීලී නොවීම, ඔසප් ගැටලු  සහ ව්‍යායාම් නොකිරීම සහ ඇතැම් ඖෂධ භාවිතය  යන තත්ත්වයන් .

Edema  හෙවත්  සිරුරේ වතුර පිරෙන්නට බලපාන හේතු 

මැග්නීසියම් ඌණ්තාවය -නිතරම දැනෙන තෙහෙට්ටුව, ඇස් යට ප්‍රදේශය නලියන හෝ පේශීන් නටන ස්වභාවයක් ගැනීම, නින්ද නොයාම, මස්පිඩු පෙරළීඬු පෙරළීම, මලබද්ධය වගේ අපහසුතා නිරන්තරයෙන් අත්විදින්නට සිද්ධ වෙනවා නම් එය බොහෝ විට මැග්නීසියම් ඌණතාවය ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ.

මැග්නීසියම් ඌණතාවයක් පවතින විට ශරීරයේ ජලය එකතු වෙන්න පුළුවන්. මොකද මේ ඛනිජ වර්ගය ශරීරයේ විවිධ ජෛව ක්‍රියාවලින් සඳහා අවශ්‍ය ඛනිජයක්. එය ප්‍රමාණවත් තරම් දේහයේ  නැතිනම් ශරීරය තුල ජලය රඳවා ගැනීම ඇතුළු ක්‍රියාකාරිත්වයන් බොහොමයක් අඩපණ වෙනවා. 

ඉතින් මේ සෞඛ්‍ය ගැටලුවෙන් පීඩා විඳිනවා නම් ඔබ මැග්නීසියම් බහුල ආහාර පරිභෝජනයට යොමු විය යුතුයි.  ඒ වගේම වෛද්‍යවරයෙකු හමු වෙලා නිසි උපදෙස් පිළිපැදීමත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. මැග්නීසියම් බහුල ආහාර විදිහට වියළි පලතුරු, නිවිති ඇතුළු තද කොළ පැහැති එළවළු, අඳුරු පැහැ චොකලට්, ආමන්ඩ්, රටකජු ඇතුළු ඇට වර්ග, අලිගැටපේර, දුඹුරු සහල්  ඇතුළු ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගන්න.

සිරුරේ සෝඩියම් ප්‍රතිශතය අධික වීම– අපේ ශරීරයට සෝඩියම් ලැබෙන ප්‍රධානම ආකාරය තමයි අපි ආහාරයට ගන්නා ලුණු. ඒ හැරුනහම සෝඩියම් අඩංගු  වෙන වෙනත් ආහාර විදිහට ටින් කරන ලද එළවළු වර්ග, විවිධ රසකාරක කුඩු වර්ග, සකස් කරන මස්, ඇතුළු වෙනත් ආහාර, සුප් කැට, චීස් ආදී ආහාර මගින් අපේ ශරීරයට දෛනිකව අවශ්‍ය ප්‍රමාණයට වඩා සෝඩියම් ලැබෙනවා. වැඩි කලුණු රසය සහිත ආහාර පිළියෙල කරගන්නා කෙනෙක් නම් මේ තත්ත්වය තවදුරටත් ගැටලුකාරී වෙනවා.

 සෝඩියම් බහුල ආහාර රටාවක් අපි අනුගමනය කරනවා නම් අඩුවෙන් ජලය පානය කරනවා නම් ශරීරය විසින්ම යම් අවශ්‍යතා සඳහා තැන්පත් කර ඇති ජලය භාවිතයට ගන්නවා. එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට ශරීරය තමන්ගේ පැවැත්ම සඳහා ජලය තැන්පත් කර ගන්නවා . එනිසා ලුණු භාවිතය අඩු කිරීමත් සෝඩියම් බහුල ආහාරවලින් තරමක් ඈත් වීමත් මේ ගැටලුවෙන් මිදෙන්නට ඔබට උදව්වක් වේවි.

පොටෑසියම් ඌණතාවය  පොටෑසියම් ඌණතාවය නිසා Edema   තත්ත්වය විතරක් නෙවෙයි  ශරීරයේ බර වැඩිවීම, මාංශ පේශී ඉරීයාම වගේ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. මොකද පොටෑසියම් මගින් ශරීරයේ සෝඩියම් මට්ටම් පහත හෙළනවා. එනිසාම ඉතාම පහසුවෙන් Edema තත්ත්වයට ඔබව ගොදුරු වෙන්න පුළුවන්. පොටෑසියම් ඌනතාවය ඇති වෙන්නේ පොටෑසියම්වලින් බහුල ආහාර ලබා නොගැනීම වගේම ලුණු අධික ආහාර ලබා ගැනීම.

 පොටෑසියම් අපේ ශරීරයේ සෛල, පටක,  අවයවවල නිසි ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන්නට කටයුතු කරමින් ශරීරයේ සාමාන්‍ය ජල මට්ටම පාලනය කරනවා. ඒ නිසා කොමඩු, පැණිකොමඩු, කෙසෙල් ආදී පොටෑසියම් බහුල ආහාර ඔබේ ආහාරයට එකතුක කර ගැනීමෙන් මෙයින් මිදෙන්න පුළුවන්.

ජලය ප්‍රමාණවත් ලෙස නොගැනීම අපේ  ශරීරයේ කෘත්‍යයන් සඳහා අවශ්‍ය කරන තරම් ජලය ප්‍රමාණවත් තරම් ලැබුණේ නැත්නම් අපේ ශරීරය විජලනයට පත් වෙනවා. මේ විජලනයේ දී ශරීරය විසින් පැවැත්ම තහවුරු කරගන්නට අවශ්‍ය කරන ජලය තැන්පත් කර ගන්නවා. ඒ නිසා අත් සහ පාද ඇතුළුව ශරීරය විවිධ ස්ථානවල ඉදිමීම් දකින්නට ලැබෙනවා. මේ තත්ත්වය පාලනය කර ගන්නට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, පොටෑසියම් බහුල යුෂ වර්ග පානය කිරීම වැදගත්.

විටමින් b ඌණතාවය අපේ ශරීරයේ ජල සමතුලිතතාවය නිසි පරිදි පවත්වාගෙන යන්නට මේ විටමින් බී වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා. මේ විටමින්  ජලයේ දියවන නිසා  ක්‍රියාකාරීත්වය නියමාකාරයෙන් පවත්වාගන්නට එයට තවත් සාධකත් අවශ්‍ය වෙනවා. කොහොම වුණත් මේ නිසාම Edema   තත්ත්වයෙන් පීඩා විඳින රෝගීන් සඳහා දිනපතාම විටමින් බී 6  ලබා ගැනීම කළ යුතු බව සඳහන් .

 විටමින් b6 ලෙල්ල සමඟ අර්තාපල්, කුකුල් මස්, හරක් මස්, බල මාලු, වියළි පලතුරු, කෙසෙල්, සූරියකාන්ත ඇට ආදි ආහාර මඟින් ඉතා පහසුවෙන් අපිට ලබාගන්න පුළුවන් .

සකසන ලද ආහාර අධිකව පරිභෝජනය නිතරම සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් අපේ ශරීරයට අධිකව සෝඩියම් ලැබීම සහ සීනි එකතු වීම නිසා මේ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. සෝඩියම් ඇතුළු තවත් අහිතකර රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට එකතු වෙන්නට මේ සකස් කරන ලද ආහාර හේතුවක්.  දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදිය  යහපත්ව  තියා ගන්නටත් මේ සකස් කරන ලද ආහාර සීමා කරන එක හරිම වැදගත්. 

 ඔබ Edema  තත්ත්වයෙන් පීඩා විඳිනවා නම් එයින් සහනයක් සලසා ගන්නට එපක්සෑම් ලුණු භාවිතයට ගන්නට පුළුවන්. එප්සම් ලුණු කෝප්ප භාගයක් උණුසුම් වතුර බේසමකට දමා  විනාඩි විස්සක් පමණ පාද එහි ගිල්වා තබා ගැනීමෙන් සැහැල්ලුවක්  සහනයක් ඔබට ලබාගන්න පුළුවන්.

ඒ වගේම මෙවැනි තත්ත්වයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් ඔබ මතක තියාගන්න.