“අඩු ලුණු අඩු ලෙඩ වැඩි ලුණු වැඩි ලෙඩ” අද නිරන්තරයෙන් අසන ඇසෙන ලුණු සම්බන්ධ මේ කතාව ඇත්ත ද. අද වෛද්‍යවරුන් පවා උපදෙස් ලබාදෙන්නේ ලුණු ඉතා අඩුවෙන් ආහාරයට එකතු කර ගන්නා ලෙසයි. ඒ වගේම සාමාන්‍ය ලුණු පරිභෝජනය කිරීම වෙනුවට අයඩීනකරණය කළ ලුණු පරිභෝජනය කළ යුතු බවටත් උපදෙස් ලබාදෙනවා. ඉතින් සැබෑවටම ලුණු කියන්නේ අපේ ආහාරවලට නැතුවම බැරි දෙයක්.ඒ විතරක් නෙවෙයි ශරීරයටත් ලුණු කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්.
සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය ලබා ගන්නට ගත යුත්තේ ලුණු ග්‍රෑම් 5 ට වඩා අඩු ප්‍රමාණයක්. වැඩෙන දරුවෙකු සඳහා අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 3 ක් ලෙසටයි දක්වා ඇත්තේ.එහි සෝඩියම් ග්‍රෑම් 1.2 ක් අන්තර්ගත වෙනවා.ඒ ප්‍රමාණය ඉක්මවා අධික ලෙස ලුණු පරිභෝජනය ලෙඩ රෝග බොහොමයකට හේතුවන බව ඔබ දන්නා කාරණයක් . නමුත් ඒ ප්‍රමාණයන් රටවල් අනුව, විවිධ ප්‍රදේශ අනුව, වයස් මට්ටම අනුව, රෝගී තත්ත්වයන් අනුව වගේම එකිනෙකාගේ ආහාර වට්ටෝරු අනුවත් වෙනස් වෙනවා.නමුත් බොහෝදෙනා කතා නොකරන ගැටළුව වන්නේ ශරීරයට ලුණු අඩුවෙන් ලැබුණු විට ඇතිවිය හැකි හානිදායක තත්ත්වයන් මොනවාද කියන කාරණාවයි. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ ලුණු වැඩි වශයෙන් ආහාරයට ගැනීම වගේම ලුණු ඉතා අඩුවෙන් ආහාරයට ගැනීම නිසා ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටළු පිළිබඳවයි.
අපි ලබා ගන්නා ලුණුවලින් 40% ක් සෝඩියම් ලෙසත්, 60% ක් ක්ලෝරයිඩ් ලෙසත් අපේ ශරීරයට එකතු වෙනවා. සෝඩියම් වගේම කොලෝරයිඩ් කියන අයනයත් අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කිරීම සඳහා උපකාරී වෙනවා. ඉතින් ශරීරයට ලුණු ප්‍රමාණවත් ලෙස ලැබීම සිරුරේ නීරෝගී පැවැත්මට හේතුවක්.
ලුණු අපේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් සිදු කරන කාර්යබාරයන්

- ආහාරයට සෝඩියම් එකතු කරන ප්‍රධාන මූලාශ්‍රය වන ලුණු ශරීරයේ අයන සමබරතාවය පවත්වාගෙන යන්නට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක්.
- රුධිර පීඩනය පාලනයි කරයි
- ආමාශයේ ආමාශයික යුශයේ සාන්ද්‍රණය පාලනය කරන්නට ලුණු හෝ සෝඩියම් සහ ක්ලෝරීන් උදව් කරයි.
- නිවැරදි හා වේගවත් ස්නායු පණිවුඩ සඳහා වැදගත් වෙයි
- පොටෑසියම් පාලනයට උපකාරී වෙයි
අපේ ශරීරයේ පැවැත්මට අතිශයින්ම වැදගත් තවත් පෝෂක සංඝටකයක් වන්නේ පොටෑසියම්. පොටෑසියම් බහුල වශයෙන් අන්තර්ගත වෙන්නේ කොළ එළවලු හා සලාද මගින්. සාමාන්‍යයෙන් සෝඩියම් වගේ සිව් ගුණයක් පොටෑසියම් අපේ ශරීරයට අවශ්‍ය වෙනවා.පොටෑසියම් හදවතේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි යාමනය කරන්නට උපකාරී වෙනවා.මේ පොටෑසියම් පාලනයට සෝඩියම් උදව් වෙනවා. ඒ නිසා සෝඩියම් අපේ ශරීරයේ පවතින ප්‍රමාණය මත තමයි පොටෑසියම් කොතරම් ප්‍රමාණයක් අපේ ශරීරයේ රැඳෙනවා ද යන්න තීරණය වෙන්නේ. ඒ නිසා අඩුවෙන් ලුණු ආහාරයට ගත්තොත් සිරුරේ තිබෙන ලුණු ටිකත් රැක ගන්නට සිදු වෙනවා පොටෑසියම් මට්ටම පාලනය කරගන්නට. ඒ අවස්ථාවේදී ශරීරය ගන්නා ක්‍රියාකාරිත්වයේ දී නිකුත් කරන හෝර්මෝන මගින් ශරීරයට හානිදායක තත්ත්වයන් නිර්මාණය වෙනවා.
ලුණු අඩුවෙන් භාවිතා කිරීම හේතුවෙන් ඇතිවන හානිදායක තත්ත්වයන්

ලුණු දිගින් දිගටම අඩුවෙන් පරිභෝජනය නිසා ශරීරයට හානිදායක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
- පොටෑසියම් මට්ටම ඉහළ යාම රුධිරයේ සෝඩියම් මට්ටම අඩුවීම නිසා එයට ප්‍රතිවිරුද්ධව රුධිරයේ පොටෑසියම් මට්ටම ඉහළ යනවා. මේ සෝඩියම් සහ පොටෑසියම් මට්ටම පාලනය කරන්නට අධි වෘක්ක ග්‍රන්ථියෙන් නිෂ්පාදනය කරනවා ඇල්ඩොස්ටෙරෝන් (Aldosterone )කියන හෝර්මෝනය. මේ හෝර්මෝනය දිගින් දිගටම රුධිරයේ රැඳී තිබීම නිසා ඉතාමත් අහිතකර තත්ත්වයන් ඇති වන්නට පුළුවන්.
- වකුගඩු අක්‍රීයතාවයන් (chronic kidney problems )
- ශරීරයේ අවයවවල ඉදිමුම සහ දැවිල්ල (Inflammation )
- ඔක්සිජන් සමඟ එකතු වී පටක දිරායාම (Oxidative damage )
- රුධිරවාහිනී ඝනවීම හා රුධිරය ගලායාමට බාධා පැමිණවීම (chronic vascular problems )
- හෘදයේ ඇති රුධිර කපාටවල මාංශපේශීවල ඝනවීම් ඇති කර ඒ කපාටවල ක්‍රියාකාරිත්වයට බාධා පැමිණවීම
- සෛලවලට ග්ලූකෝස් යාමනය සඳහා ඇති ඉඩකඩ අහුරාලීම
ඉතින් ඇල්ඩොස්ටෙරෝන් හෝර්මෝනය නිසා අපේ ශරීරයේ යම් යම් කාර්යයන් සඳහා බාධා පැමිණවීම නිසා ඇතිවන මේ තත්ත්වයන් වළක්වා ගන්නට නම් ලුණු පරිභෝජනයේ ප්‍රමාණයන් නිසි පරිදි අවබෝධ කරගෙන සිටිය යුතුයි. ඒ සඳහා පුද්ගලයා වාසය කරන්නේ සීත හෝ උෂ්ණ සහිත දේශගුණයක් සහිත රටක ද යන්න වගේම ඒ පුද්ගලයා සිදු කරන රැකියාවේ ස්වභාවයත් ලුණුවලට ඇති රුචිකත්වයත් ඒ සඳහා බලපානවා. විශේෂයෙන්ම සීනි නැත්නම් පැණි රස අපේ ශරීරයට නිතර ගන්නා විට අපේ ශරීරය නැවත නැවත පැණි රස ඉල්ලා සිටිනවා .ඒ නිසා ඇතිවිය හැකි තත්ත්වය වඩාත් බැරෑරුම්. නමුත් ලුණු ශරීරයට ප්‍රමාණවත් නම් නැවත එය ආහාරයට ගන්නා ලෙස පෙළඹවීමක් සිදු කරන්නේ නැහැ.
කොහොමවුණත් ලුණු ආහාරයට ගැනීම අවශ්‍ය දෙයක්. ඒ නිසා ඕනවටත් වඩා ලුණු ආහාරයට ගැනීම අවම කිරීම මගින් නැති ලෙඩ බොහොමයක් ළඟාකර ගන්නවාට වඩා ප්‍රමාණවත් ලෙස ලුණු පරිභෝජනය කිරීමයි වැදගත් වෙන්නේ. ලුණු පරිභෝජනය බොහෝසෙයින් අඩු කළත් රුධිර පීඩනයේ සැලකිය යුතු අඩු වීමක් නොමැතිවීමත් නිසා සුදුසුම දේ වන්නේ අඩුත් නැතිව වැඩිත් නැතිව ලුණු ආහාරයට එකතු කර ගැනීමයි.