ශ්වසන රෝග වළකන එනසාල්

health tips

Elettaria Cardamom Maton නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එනසාල් Zingiberaceae පවුලට අයත් තවත් එක් ඖෂධීය ගුණ ඇති කූළුබඩුවකි. එනම් වෙළඳපොළ තුළ වැඩි වටිනාකමක් හිමිකර ගත් එනසාල්  සුවඳකාරයක් රසකාරකයක් ලෙස බහුලව භාවිතා කරයි. ඊට අමතරව නොයෙකුත් රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස බුලත් විට සපනවිට ද එනසාල් භාවිතා කරයි. එමෙන්ම සුවඳ විලවුන්, ආලේපන වර්ග සකස් කිරීමේදී හා යුනානි වෛද්‍ය ක්‍රමය තුළ ද එනසාල් ඖෂධ ලෙස භාවිතා කරයි.

එනසාල් ප්‍රධාන වශයෙන් ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.

  • හී එනසාල්
    මලබාර්
    මයිසෝර්
  • මහ එනසාල්
  • සෝරංග යනුවෙන් එම ප්‍රභේද හඳුනාගත හැකිය.

මේවා අතුරින් හීං එනසාල්,මහ එනසාල් ඖෂධ ලෙස භාවිතා කරනු ලැබේ. ශ්‍රි ලංකාවට අමතරව විදේශීය වශයෙන් එනසාල් ඉන්දුනීසියාව, මැලේසියාව, ටැන්සානියාව, ඉන්දියාව… ආදී රටවල ද වගා කරනු ලැබේ.ඖෂධ සඳහා හොඳින් වියළා ගත් එනසාල් භාවිතා කළ යුතුය. ආයුර්වේදයට අනුව එනසාල් වල අඩංගු ගුණ

  • හීං එනසාල්
  • රසය- මධුර
  • ගුණය- රූක්ෂ, ලඝු
  • වීර්යය-ශීත
  • විපාක- මධුර
  • මහ එනසාල්
  • රසය – කටුක, තිත්ත
  • ගුණය – ලඝු රූක්ෂ
  • වීර්යය-උෂ්ණ
  • විපාක- කටුක

මේ ආදී වශයෙන් ආයුර්වේදය තුළ එනසාල් වල අඩංගු ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වේ.එමෙන්ම වර්තමානයේ කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එනසාල් වල රසායනික සංයෝග රැසක් අඩංගුවන බවයි.එනම් ඒ අතර පොටෑසියම්,ප්‍රතිඔක්සිකාරක, ලිමොනීන්,සිනෝල්,ඇල්ෆා-ටර්පිනයිල් ඇසිටේට්,ලිනූල්,ටර්පීන්ඉයුජෙනෝල් වැනි සක්‍රීය ද්‍රව්‍ය මෙන්ම පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ.මේ නිසා එනසාල් ආහාර පිසීමේදී එක්කර ගැනීමෙන් නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

මල බද්ධය සමනය කරයි.වයස් භේදයකින් තොරව සෑම දෙනාටම පාහේ ඇතිවන මල බද්ධය සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස ආහාර පිසින විට එනසාල් එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් එනසාල් ආහාරයට එකතු කර ගැනීමෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් කර මළ බද්ධය ඇති වීම වළක්වනු ලැබේ. මලපහ පිටකිරීම පහසු කරවනු ලැබේ.

දියවැඩියාව පාලනය කරයි.නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව පාලනය කිරීම සඳහා කුළුබඩුවක් ලෙස එනසාල් භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් එනසාල් වල ඇති ප්‍රතිඔක්සිකාරක සහ හයිපොලිපිඩිමික් ගුණාංග දියවැඩියාව සහ එහි රෝග සංකූලතා සමනය කිරීම සිදුකරයි.

රක්තහීනතාවය සමනය කරයි.වයස් භේදයකින් තොරව ඇතිවන රක්තහීනතාවය හෙවත්  රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීමේ රෝගී තත්ත්වය සමනය කිරීම සඳහා එනසාල් භාවිතය යෝග්‍ය වේ. එනම් එනසාල් වල අඩංගු විටමින් සී, යකඩ රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදු කරයි.

දිලීර ආසාදන ඇතිවීම වලක්වනු ලබයි.එනසාල් ආහාරයට ගැනීම මඟින් කැන්ඩීඩා ඇතුළු බොහෝ දිලීර ආසාදන ඇතිවීම වලක්වා ගත හැකිය. එනම් එනසාල්වල ස්වභාවික දිලීර නාශක හා බැක්ටීරියා නාශක ගුණයක් ඇති අතර එය දිලීර ආසාදන ඇතිවීම වලක්වනු ලබයි.

ආහාර ජීර්ණය පහසු කරයි.අනෙකුත් කුළුබඩු මෙන්ම එනසාල් ආහාර පිසීමේදී භාවිතා කිරීම මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු සමනය කරගත හැකිය එනම් එනසාල් මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර උදරගත ආම්ලිකතාවය, ඔක්කාරය ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයන් ඇති වීම වළක්වනු ලබයි.පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කරයි එදිනෙදා ආහාර පිසින විට එනසාල් එකතු කර ගැනීමෙන් පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගත හැකිය එනම් මින් ශරීර මේදය දහනය වී ශරීරයේ බර පාලනය වීම ද සිදුවේ.

මුඛ දුර්ගන්ධය සමනය කරයි.බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්කරන මුඛ දුර්ගන්ධය ,දුර්ගන්දය සහිත හුස්ම ඇතිවීම වැළැක්වීම සඳහා එනසාල් භාවිතා කිරීම යෝග්‍යවේ.  එනම් එනසාල් භාවිතා කිරීමෙන් දත් කුහර වල ඇති බැක්ටීරියාවන් ද විනාශ කර ගත හැකිය.

ශ්වසන රෝග ඇති වීම වළක්වනු ලබයි.බොහෝ දෙනෙකුට ඇතිවන ශ්වසන රෝග  එනම් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටිස්, ඇදුම වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා එනසාල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මෙමගින් ශ්වසන පද්ධතියේ රුධිර සංසරණය වැඩිදියුණු කර හුස්ම ගැනීමේ අපහසුතා සමනය කිරීම සිදු කරයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා එනසාල් භාවිතය යෝග්‍යවේ. එනම් එනසාල් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණයන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා ඇතිවන රෝග පීඩාවන්ගෙන් ද ආරක්ෂාව සපයනු ලැබේ.මීට අමතරව

  • සුවබර නින්දක් ලබාගැනීම සඳහා
  • සමේ නිරෝගිභාවය සඳහා
  • හිසකෙස් වල නිරෝගිභාවය සඳහා
  • පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා
    එනම් බඩවැල්වල සහ සමෙහි ඇතිවන පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා

මේ ආදී වශයෙන් නොයෙක් රෝග සමනය කර ගැනීම සඳහා එනසාල් භාවිතය යෝග්‍ය වේ. නමුත් එනසාල් වුවද මාත්‍රාව ඉක්මවා භාවිතා නොකළ යුතුය. එනම් ඉන් සංවේදී පුද්ගලයන්ට  හුස්ම ගැනීමේ අපහසුතා ඉදිමුම් පපුවේ තද ගතිය වැනි අසාත්මිකතාවයන් ඇතිවිය හැකිය. එමෙන්ම දියවැඩියා  පවතින රෝගීන් වෛද්‍ය උපදෙස් මත මෙම ඖෂධ බාවිතා කරන්නේ නම් එය වඩාත් සුදුසු වේ.