කෙට්ටු කාන්තාවන්ට බහුලව වැළදෙන එන්ඩොමෙට්‍රොසියස්

health tips

කෙට්ටු අය මහත් වෙන්න හදන මහත අය කෙට්ටු වෙන්න හදන මේ සමාජයේ බොහෝදෙනා ඒ වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. නමුත් කෙට්ටුවීම මහත්වීම කියන අවස්ථා දෙකම අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා උසට සරිලන බරක් පවත්වා ගැනීමටයි අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් මහත අයට ස්ථුලතාවය නිසා අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදී රෝග ඇතිවෙන්න ඇති අවදානම වැඩි වගේම කෙට්ටු අයටත් විවිධ රෝග ඇතිවීමේ අවදානම වැඩියි. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ කාන්තා ඔබගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව බහුල වශයෙන් ඇතිවන නමුත් බොහෝදෙනා නොදන්නා රෝගී තත්ත්වයක් පිළිබඳව. විශේෂම කාරණය තමයි මේ රෝගී තත්ත්වය වැඩි වශයෙන් කෙට්ටු කාන්තාවන්ට වැළදීම. නමුත් මෙය මහත අයට වැළදෙන්නේ නැහැ කියන වැරදි වැටහීම ඇති කරගන්නට එපා. මොකද කෙට්ටු අයට අවදානම වැඩි වුණත් අනික් කාන්තාවන්ටත් මේ රෝග තත්ත්වය ඇති වෙන්නට පුළුවන්.

එන්ඩොමෙට්‍රොසියස් හැදෙන හැටි 

මේ රෝගය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ එන්ඩොමෙට්‍රොසියස් යන නමින්. ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මේ රෝග තත්ත්වය ගැන කතා කිරීමේදී ගර්භාෂය අතිශයින් වැදගත්. විශේෂයෙන්ම ගර්භාෂය කොටස් තුනකින් සමන්විත වෙනවා. ගර්භාෂය බිත්තිය බාහිරින් කොටසක් සහ මැද මාංශමය කොටස හා සිදුර ආස්තරණය කරමින් පවතින ස්ථරය ආදී වශයෙන්. මේ සිදුර ආස්තරණය කරමින් තියෙන ස්ථරය තමයි එන්ඩොමෙට්‍රියම විදියට හඳුන්වනු ලබන්නේ. ගර්භාෂයේ ඇතුළත බිත්තිය ආස්තරණය කරමින් පමණක් පැවතිය යුතු මේ එන්ඩොමෙට්‍රියම් පටලයේ ලක්ෂණය තමයි සෑම මාසයකම ඔසප්වීමේදී රුධිරය බවට පත්වෙලා පිටවෙලා යාම.මොකද ඒ ස්ථරය නැවත නැවත  අලුත්වීම ප්‍රජනක  ක්‍රියාවලියේදී  දරු ගැබක් කුස තුළ රඳවා ගැනීමේදී ඉතාම වැදගත්. 

මේ එන්ඩොමෙසියස් රෝගයේදී සිදු වෙන්නේ මේ එන්ඩොමෙට්‍රියම් පටලයේ සෛල කොටස් ගැලවී ගිහින් උදර කුහරයේ යම් යම් ස්ථානවල තැන්පත් වීම. මේ එන්ඩ්රොමෙට්‍රියම් පටල කොටස්  ඩිම්බකෝෂය මතුපිට හෝ  ගර්භාෂයේ පිට බිත්තිය මත, පැලෝපීය නාල මත තිබෙන්නට පුළුවන්. ඒ වගේම  ඇතැම් අයගේ මුත්‍රාශය මත වෙන්නට පුළුවන්. ඇතැම් විට නාභියේ පවතින්නට පුළුවන්.මේ එන්ඩොමෙට්‍රියම් හෝර්මෝනවල ක්‍රියාකාරිත්වයට අනුව ක්‍රියාත්මක වෙලා සෑම මාසයකම පිටවෙලා යනවා. 

ඒ නිසා යම් අයෙකුගේ නාභියේ මේ සෛල කොටස් තිබුණොත් ඔසප්වීමේදී නාභියේ රුධිර වහනයක් වෙන්නට පුළුවන්. ශරීරයේ අභ්‍යන්තරයේ වෙනත් ස්ථානවල මේ පටල කොටස් තිබුණොත් එය තරලයක් බවට පත්වෙන්නට පුළුවන්. නමුත් එය ඉතා විශාල ලෙස සිදුවන රුධිර වහනයක් නොවෙයි.නමුත් මේ තරලයට පුළුවන් යම් යම් දේවල් අලවා ගන්නට. ඒ නිසා ඔසප්වීම නතර වෙන්නට පුළුවන්. ඉතින් එන්ඩ්රොමෙට්‍රියම් පටලය වෙනත් ස්ථානවල තැන්පත්වීමෙන් ඇතිවන රෝගී තත්ත්වය තමයි එන්ඩොමෙට්‍රෝසියස් කියන්නේ. නමුත් මල්වර වීම සිදුවූ  මුල් කාලයේදී මේ රෝගය ඇතිවෙනවා බොහොම අඩුයි.

එන්ඩොමෙට්‍රෝසියස් රෝගයේදී ලැපරොස්කොපි පරීක්ෂණය මගින් මේ පටල තැන්පත්ව ඇති ස්ථානය පිළිබඳව වෛද්‍යවරුන් හඳුනා ගනු ලබනවා. 

රෝගය ඇතිවෙන්නට බලපාන හේතු 

  • ගර්භාෂයේ වෙනස්වීම් නිසා ඔසප් රුධිරය පැලෝපීය නාල ඔස්සේ ඉහළට ගමන් කිරීමෙන් උදර කුහරයට ගමන් කිරීම.  
  • සිසේරියන් සැත්කම්වලදී 
  • දරුවා සාමාන්‍ය පරිදි බිහි නොවෙන විට සිදු කරනු ලබන සිසේරියන් සැත්කම්වලදී ඒ උපකරන මගින් හෝ ඒ පටල වෙනත් ස්ථානවල තැන්පත් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම නාභියේ.
  • දරුවන් නොමැති කාන්තාවන්ට තාක්ෂණික වශයෙන් සිදු කරන තැන්පත් කිරීම්වලදී.   
  • IUI තාක්ෂණය භාවිතයෙන් ඇති කරන පීඩනය නිසා සෛල ගර්භාෂයෙන් පිටතට ගමන් කරන්නට පුළුවන්.

රෝග ලක්ෂණ 

  • උදරයේ ඇතිවන අධික වේදනාව මේ රෝගයේ මූලිකම ලක්ෂණය වන මේ උදරයේ වේදනාව මාසික ඔසප්වීම සමඟ ඇතිවෙනවා. එහිදී ඔසප් වීමේ පළමු දිනයේ ඇතිවන උදර වේදනාවට වඩා වැඩි ආකාරයෙන් දෙවන දිනයේදී ඇතිවෙන්නට පුළුවන්. සාමාන්‍ය ඔසප් වීමකදී ඇතිවන වේදනාවට වඩා ඉතා අධික මේ වේදනාව ඔසප්වීම නතරවීමෙන් පසුවත් ඇතැම් අයට ඇතිවෙන්නට පුළුවන්. තවත් අයට ඔසප් චක්‍රයන් දෙකක් අතර කාලයේදී ඇති වෙන්නත් පුළුවන්.
  • කැටි වශයෙන් රුධිරය පිටවීම 

ප්‍රතිකාර සාමාන්‍ය ඔසප්වීමකදී ඇතිවන වේදනාවන්ට වඩා වැඩි වේදනාවක් එන්ඩොමෙට්‍රෝසියස් රෝගයේදී ඇතිවෙනවා. ඒ නිසා මේ තත්ත්වය සාමාන්‍ය ඔසප්වීමකදී ඇතිවන අපහසුතා මෙන් විවාහයෙන් පසුව හෝ දරුවන් ලැබීමෙන් පසුව හෝ සුවවෙයි කියන මතයේ සිටින්නට බැහැ. නමුත් කලාතුරකින් විවාහයෙන් පසුව දරුවෙක් දෙන්නෙක් ලැබුණු පසුව එන්ඩොමෙට්‍රෝසියස් රෝගයේ රෝග ලක්ෂණ අඩු වෙලා අපහසුතා නැතිව යන්නට පුළුවන්. එවැනි අවස්ථාවක රෝගය පාලනය වෙලා කියලා නීර්නය කරගනු ලබනවා.

ඒ නිසා එන්ඩොමෙට්‍රෝසීයස් රෝගයේදී වැඩි වශයෙන් පවතින හෝමෝන ප්‍රතිකාර  වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබනවා. එහිදී උපත් පාලන පෙති ලබාදීමෙන් ඔසප්වීම පාලනයකින් යුක්තව සිදු වෙනවා. ඒ වගේම වේදනා නාශක ලබාදෙනවා. 

නමුත් ආයුර්වේදය තුළ මේ සඳහා යම් සාර්ථක ප්‍රතිකාර පවතිනවා. ඒ නිසා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හෝ ආයුර්වේදයෙන් මේ රෝගයට ප්‍රතිකාර කළ යුතු වෙනවා.නැතහොත් දරුඵල ප්‍රමාදවීම හෝ දරු ඵල අහිමි වීම ආදී අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නට පුළුවන්.