මිනිසුන් වුණු අපිට කාලයෙන් කාලයට විවිධ වූ රෝගාබාධ ඇති වෙනවා. අපේ ආහාර පුරුදු, චර්යා රටාවේ ගැටළු ආදිය නිසා ඇතිවන රෝගාබාධ වගේම කාලයෙන් කාලයට ඉස්මතු වෙන රෝගාබාධත් පවතිනවා. පණු රෝග කියන්නේ බාල මහලු කාහටත් වැළදෙන එවැනි රෝග තත්ත්වයක්. ඒ වගේම වඩාත් උත්සන්න වීමෙන් බරපතල සෞඛ්‍ය ගැටළු පවා ඇති කරන රෝගයක්. ආයුර්වේදයේ ක්‍රිම් රෝගය විදියට හඳුන්වනු ලබන මේ තත්ත්වය හැමෝටම ඇතිවන ස්වභාවික තත්ත්වයක්. මෙය උත්සන්න වීමකදී තමයි රෝගයක් විදියට හඳුනා ගැනෙන්නේ.
ආයුර්වේදයට අනුව මෙය අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකටත් බෙදී වර්ග කරනු ලබනවා. ඉතින් ලොකු කුඩා හැමෝටම වැළදෙන පණු රෝග අවස්ථාවකදී අද අපි බටහිර ඖෂධ ලබා ගත්තත් එදා අපේ පැරැන්නන් සතුව මේ පණු රෝග සඳහාත් විශේෂ වූ අත් බෙහෙත් තිබුණා. එමගින් ඒ රෝග ඉතා සාර්ථකව පාලනය කරගනිමින් නීරෝගීව ජීවත් වුණා. ඒ අපේ වටපිටාවේ හැදෙන වැඩෙන නොයෙකුත් ඔසු පැලෑටි උපයෝගී කර ගනිමින්.
අපේ රටේ බහුලව දකින්නට හැකි පණු රෝග අතර වට පණු, කොකු පණු, කස පණු හා කිරි පණු ආදී රෝග සුලබයි. මේ පණුවන් අපේ අත් හා පාදවල සම සිදුරු කරගෙන වගේම මුඛයෙන් පවා ඇතුල් වෙන්නට පුළුවන්. අපි ගන්නා ආහාර පාන නිසි පරිදි සෝදා නොගැනීමෙන් , මලපහ හෝ සත්ව මලකුණු මගින්, පාවහන් නොමැතිව එළිමහනේ ඇවිදීමෙන් , සනීපාරක්ෂක වැසිකිලි භාවිතා නොකිරීමෙන් , ආදී විවිධ හේතු මගින් මේ පණු රෝග බහුලවම වැළදෙන්නට පුළුවන්. එවිට ආහාර අරුචිය, උදරය ඉදිරියට නෙරා ඒම, ඔක්කාරය, ගුද මාර්ගය කැසීම, අලසකම, ශරීරය සුදුමැලි වීම ආදී රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී බඩ විරේකයක් කිරීම හැරුණාම මේ අත් බෙහෙතත් ඔබට බෙහෙවින් වැදගත් වේවි. අපි අද ඔබට කියන්නට යන්නේ පණු රෝග සඳහා සාර්ථක අත් බෙහෙතක් පිළිබඳව.
මේ අත් බෙහෙත දරුවන්ට වගේම වැඩිහියිටියන්ටත් එකසේ භාවිතා කරන්නට හැකියාව තියෙනවා. ක්‍රිම් රෝග හැරුණාම කුඩා දරුවන්ට මලපහ සමඟ කුරුමිණීයන් පිටවීම කියන කුරුමිණි මාන්දම සඳහාත් මේ අත් බෙහෙත් ඉතා සුදුසුයි. මේ සඳහා අවශ්‍ය වෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයක් නිසා එය සාදා ගැනීම එතරම් අපහසු නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය

- දෙහි
- උණු ජලය ස්වල්පයක්
- බටකිරිල්ල ලපටි දළු
බොහෝසෙයින් අතු බෙදෙමින් පඳුරක් ලෙස ගෙන වැඩෙන බටකිරිල්ල ශාකයේ පොත්ත ලා දුඹුරු පැහැයෙන් යුක්තයි. කුඩා ශාකයක් වන මේ බටකිරිල්ල ශාකය මීටර 5 ක පමණ උසකින් සමන්විතයි. අතු ඉතා සිනිඳු අතර මෙහි පත්‍ර සෙන්ටිමීටර් 3.5- සෙන්ටිමීටර 9 දක්වා දිගින් යුක්තයි.මේ ශාකයේ පත්‍ර ඉලිප්සාකාර හැඩයක් ගන්නා අතර මෙහි හට ගන්නා මල් සුදු පැහැයෙන් යුක්තයි. කොළ පැහැ ඵලය ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයෙන් සමන්විතයි. මේ ශාකයේ ඉදුණු ඵලය ආහාරයට ගන්නටත් පුළුවන්.
ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ මේ ශාකය වැඩි වශයෙන් භාවිතා කෙරුණේ දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ පණු රෝග එහෙම නැත්නම් ක්‍රිමි රෝග සඳහා. මේ බටකිරිල්ල ශාකය පණු රෝග සඳහා ආකාර කිහිපයකටම අනාදිමත් කාලයක සිට භාවිතා වුණා.
1. බටකිරිල්ල ශාකයේ ලපටි දලු පවනේ වියළා වියළි හාල් බත් සමඟ පොල් පැණි මිශ්‍ර කර අග්ගලා සාදා දරුවන්ට කෑමට ලබාදෙනවා. ඒ වගේම් බටකිරිල්ල කොළ, බැදගත් වළගසාල් සහ ඉඟුරු චූර්ණ කර බැදිහාල් කුඩු දමා පොල් පැණි දමා අනා අග්ගලා සාදා දෙනවා. මේ අග්ගලා වළගසාල්, අසමෝදගම්, වී පොරි, බටකිරිල්ල කොළ වියලි ඉඟුරු එක පමණ ගෙන හොඳින් කුඩුකර ඒ පිටි එක තරමට ගෙන පොල් පැණි මිශ්‍ර කරමින් ද සාදනු ලබනවා. මේ කුමන ආකාරයට සකසා ගත්තත් මේ අග්ගලා දරුවන්ට උදෑසනට ලබා දෙන්නේ පණුවන් වැටීම සඳහා .
2. බටකිරිල්ල කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ පානයට ලබාදීම
3. බටකිරිල්ල කොළ පොල් හකුරු හෝ කිතුල් හකුරු සමඟ අනා නෙල්ලි ගෙඩියක ප්‍රමාණ ගුලියක් උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම.
අත්බෙහෙත සාදා ගන්නා ආකාරය

සෝදා ගත් බටකිරිල්ල දළු වංගෙඩියක් භාවිතයෙන් හොඳින් කොට ගන්න. කුඩාවට කොටාගත් බටකිරිල්ල කොළවලට උණු ජලය ස්වල්පයක් එකතු කර ටික වේලාවක් වසා තබන්න. ඉන්පසුව පිරිසිදු කපු රෙදි කඩක් භාවිතයෙන් යුෂ පෙරා ගන්න.මේ සඳහා යුෂ මේස හැදි 2 -3 ක් තිබීම ප්‍රමාණවත්. පානයට පෙර මේ යුෂවලට දෙහි ගෙඩියක යුෂ එකතු කරන්න.
මේ පානය පණු රෝගය උත්සන්න ඕනෑම අවස්ථාවකදී පානය කරන්නට පුළුවන්.මේ අත් බෙහෙත කිසිම බයක් නැතුව ලොකු කුඩා හැමෝටම භාවිතා කරන්නට හැකියාව තියෙනවා. ස්වභාවික අත් බෙහෙතක් වගේම අනාදිමත් කාලයක් අපේ මුතුන් මිත්තන් භාවිතා කළ සාර්ථක අත් බෙහෙතක් නිසා එය ඔබටත් බය නැතුව භාවිතා කරන්නට හැකියාව තියෙනවා.